වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඔහු ගැහුවේ මට නෙවෙයි මුළු සංගීත ක්ෂේත්‍රයටමයි

ඔහු ගැහුවේ මට නෙවෙයි මුළු සංගීත ක්ෂේත්‍රයටමයි

ගායක සමන් ද සිල්වා

අපි ජනාධිපතිතුමා දැනුවත් කළා . . .

ජනප්‍රිය ගායක සමන් ද සිල්වාට, දකුණු පළාත් සභා කෘෂිකර්ම අමාත්‍ය බිංදු වීරසිංහ කළ පහරදීමක් සම්බන්ධයෙන් පසුගියදා රටේ මහත් ආන්දෝලනයක් ඇතිව තිබිණ. එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබීම ද විශේෂත්වයකි. මේ පිළිබඳ සමන් ද සිල්වාගෙන් අප කළ විමසුමකදී ඔහු ඊට පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

මම සහ මගේ සංගීත කණ්ඩායම පසුගිය 30 වැනිදා රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගනයේ තිබුණ ප්‍රසංගයකට සහභාගි වුණා. පාපන්දු තරගාවලියක් අවසානයේ බන්ධනාගාර බුද්ධි ආරක්ෂක අංශය තමයි මේ සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබුණේ. එතනදි තමයි ඔය කියන සිද්ධිය වුණේ.

විවිධ මාධ්‍ය මඟින් විවිධ දේවල් ප්‍රකාශ කර තිබුණා. ඇත්තටම මොකක්ද සිද්ධ වුණේ?

ප්‍රසංගය පැවැත්වෙන අතරතුරේ කවුදෝ කෙනෙක් ඇවිත් කිව්වා චන්ද්‍රසිරි ගජධීර අමාත්‍යතුමන් උත්සවයට පැමිණ සිටිනවා කියලා. එතකොට මම කිව්වා ‘ආ . . . මමත් බොහොම ආසයි එතුමා දකින්න’ කියලා. හැබැයි මට පස්සේ දැනගන්න ලැබුණා ඒ වෙන කොට ඇමතිතුමා තෑගි බෙදා දීලා ගිහින් කියලා. ‘අමාත්‍යතුමා මේ ස්ථානයේ හිටියා නම් හොඳයි’ කියලා මම කළ ප්‍රකාශය අල්ලගෙන තමයි ඔවුන් මේ ආරාවුල ඇති කර ගත්තේ.

ඇමැතිතුමාට කළ අපහාසයක් කියා ඔබේ ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්න කිව්වද?

ඔව්. මට පණිවිඩ දෙක තුනක් වේදිකාවට එවලා තිබුණා. ඇත්තටම මම කළ ඒ ප්‍රකාශය අපහාසයක් ද? නැහැනේ. ඒත් මම දෙපාරක් සමාව ඉල්ලුවා ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් එතුමාට සිත් තැවුලක් ඇති වුණා නම්.

එහෙම කරළත් ඔබට පහර දුන්නා?

ඇත්තටම මේක හරිම අවාසනාවන්ත සිදුවීමක්. හිටපු ගමන් වේදිකාවට ආපු දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය බිංදු වීරසිංහ මගේ කම්මුලට පහරවල් දෙකක් ගැසුවා. එතකොටම බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙක් මාව වට කර ගත්තා. ඒ මගේ ආරක්ෂාවට.

ඊට පස්සේ?

බන්ධනාගාර සහකාර පොලිස් අධිකාරී හේමන්ත ප්‍රියංකර මහතා ඒ වෙලාවේ මේ ප්‍රශ්නය සමථයකට පත් කරන්න හිතාගෙන එතනට ආවා. ඒත් තව කවුද කෙනෙක් ඔහුටත් පහර දුන්නා. පස්සේ දැනගන්න ලැබුණා ඒ ගජධීර ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්වරයා කියලා. සිද්ධිය සම්බන්ධව අපි බොරැල්ල පොලීසියට ගිහින් එදා රෑම පැමිණිලි කළා.

දකුණු පළාත් සභා අමාත්‍යවරයාට ඔබ දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කළා කියා ඔහුත් පොලීසියට පැමිණිලි කර තිබෙනවා?

මොන බොරුද? ඒ ඔහුගේ වැරැද්ද වහ ගන්න යොදපු උපායක්. මීට ඉස්සරත් ජිප්සීස් නායක සුනිල් පෙරේරාට මේ වගේ ප්‍රහාරයක් එල්ල වුණා එක්තරා දේශපාලනඥයකුගෙන්. කලාකරුවෝ විදිහට අපි කරන්නේ මිනිස්සු පිනවන එක. නැතිව ගෝරි දාගන්න එක නෙවෙයි. ජාතික පත්තරවල ප්‍රධාන සිරස්තලය වුණේ මේ සිද්ධිය. ඒ සමන් ද සිල්වා රටේ ජනප්‍රිය පුද්ගලයෙක් නිසා. ඔය කියන දේශපාලනඥයා ගැන රටේ මිනිස්සු දැනගත්තේ මේ සිදුවීමෙන් පස්සේ. ඇත්තටම කලාකරුවන්ට මේ වගේ දේවල් කරන්නේ ඔවුන්ට ප්‍රසිද්ධිය ලබා ගන්නදෝ කියන සැකයක් දැන් මතු වෙලා තියෙනවා.

කොහොමද සමාජයෙන්, ඔබේ හිතවතුන්, රසිකයන්ගෙන් මේ සිදුවීමට ලැබුණු ප්‍රතිචාර?

සමන් ද සිල්වාට මේ රටේ මිනිස්සු මේ තරම් ආදරෙයි ද කියලා හිතුණේ ඔය සිද්ධියෙන් පස්සේ. මගේ සහෝදර කලා ශිල්පීන් ශිල්පිනියන් මේ සිදුවීම වුණ වෙලාවේ ඉඳන් මගේ තනියට හිටියා. නොයෙක් උපදෙස් දුන්නා. ඇත්තටම මේක සමන් ද සිල්වා කියන තනි පුද්ගලයාට ගහපු පාරක් නෙවෙයි. සමස්ත සංගීත ක්ෂේත්‍රයටම ගහපු පාරක්. මේ අවාසනාවන්ත, දාමරික සිද්ධිය හෙළා දකින්න කලාකරුවන් එකට අත්වැල් බැඳ ගත්තේ ඒ නිසයි.

මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ සිදුවීම පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න වගකිවයුත්තන්ට උපදෙස් දෙන්න කියලයි.