වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




TOP TEN CHART FROM HOLLYWOOD

TOP TEN CHART FROM HOLLYWOOD

The Hunger Games: Catching Fire මෙවරත් මුල් තැනට

අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ මෙම සතියේ පෙරමුණේ සිටින්නේ, The Hunger Games චිත්‍රපට මාලාවේ දෙවැන්න වන The Hunger Games:
Catching Fire චිත්‍රපටය යි. ෆ‍්‍රැන්සිස් ලෝරන්ස් අධ්‍යක්ෂණය කළ මෙය අමෙරිකාවේ තිරගත කෙරෙන දෙවැනි සතිය අන්තයේදි වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 74.2ක්. විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි ජෙනිෆර් ලෝරන්ස්, ජෝන් හචර්සන්, ලියම් හෙම්ස්වෝර්ත් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන Frozen මෙම දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්ව ඇති චිත්‍රපටය යි. හාස්‍යමය කතා පුවතක් රැගත් එය සති අන්තයේදි වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 67.4ක්. ක්‍රිස් බුක් සහ ජෙනිෆර් ලී අධ්‍යක්ෂණය කළ මෙහි හඬ දායකත්වය ලබා දෙන්නේ ක්‍රිස්ටීන් බෙල්, ජෝග් ගාඩ්, ඉන්ඩියානා ටෙන්සෙල් ඇතුළු පිරිසක් විසිනි. තෙවැනි ස්ථානය හිමිවී ඇත්තේ Thor: The Dark World චිත්‍රපටයට යි. පසුගිය සති අන්තයේදී එය ඩොලර් මිලියන 11.1ක ආදායමක් වාර්තා කළේය.

මැල්කොම් ඩී. ලී අධ්‍යක්ෂණය කළ The Best Man Holiday චිත්‍රපටය සිව්වැනි ස්ථානය හිමිකර ගෙන ඇති චිත්‍රපටය යි. හාස්‍යමය කතා පුවතක් රැගෙන එන එය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 8.17ක ආදායමක් වාර්තා කර තිබුණි. පසුගිය නොවැම්බර් 27 වැනිදා අමෙරිකාවේ තිරගතවීම ආරම්භ කළ Homefront චිත්‍රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර පස්වැනි ස්ථානයට පැමිණ තිබේ. ත්‍රාසජනක, ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි අධ්‍යක්ෂණය ග්‍රේ ෆ්ලෙඩර් විසිනි. ජේසන් ස්ටැතම්, ජේම්ස් ෆ්‍රැන්කෝ, වියෝනා රයිඩර් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර අමෙරිකාවේ තිරගත කළ පළමු සති අන්තයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 6.92ක්. පසුගිය සතියේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටි Delivery Man චිත්‍රපටයට මෙවර හිමිවී ඇත්තේ හයවැනි ස්ථානය යි. කේන් ස්කොට් අධ්‍යක්ෂණය කළ එය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 6.84ක ආදායමක් වාර්තා කළේය.

පසුගිය නොවැම්බර් 27 වැනිදා සිට අමෙරිකාවේ තිරගතවීම ආරම්භ කළ The Book Thief චිත්‍රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර හත්වැනි ස්ථානයේ සිටින චිත්‍රපටය යි. යුධමය කතාපුවතක් රැගත් මෙහි සොපී නෙලිස්, ජියොෆ්රි රෂ්, එමිලි වොට්සන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. බ්‍රයන් පර්සිවෙල් අධ්‍යක්ෂණය කළ The Book Thief පසුගිය සතිය අන්තයේදී ඩොලර් මිලියන 4.86ක් වාර්තා කළේය. ස්ටෙෆන් ෆෙ‍්‍රයාර්ස් අධ්‍යක්ෂණය කළ Philomena අටවැනි ස්ථානයේ රැඳී සිටින චිත්‍රපටය යි. ජුඩි, ස්ටීව් කෝගන්, සොපී කෙන්ඩ් ක්ලාර්ක් මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරති.

කේසි ලෙමාන්ස් අධ්‍යක්ෂණය කළ Black Nativity චිත්‍රපටය මෙවර දර්ශකයේ නවවැනි ස්ථානයට පැමිණි චිත්‍රපටය යි. සංගීතමය චිත්‍රපටයක් වන මෙය පසුගිය නොවැම්බර් 27 වැනිදා සිට අමෙරිකාවේ තිරගත වීම සිදුකරන ලදී. ජෝන් ටටෙල්ටර්බ් අධ්‍යක්ෂණය කළ Last Vegas අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතර දසවැනි ස්ථානයට පත්වනවිටදී Free Birds, Bad Grandpa, 12 Years a Slave, සහ Dallas Buyers Club චිත්‍රපට දර්ශකයෙන් ඉවතට ගොස් තිබේ.