වාරණයට එරෙහිව වාරණය

තම ඇඳීවත ගලවා සුද්දන්ට පෙන්වා මහා හපන්කමක් කරන්නට ගිය ඉරාන ජාතික නිළියක පසුගිය සතියේ රටින් පිටුවහල් කරනු ලැබිණ.

මේ වනවිටත් ඉරානය සමඟ නොහොබිනා ආරවුල් රැසකට පැටලී ඇති යුරෝපය සහ අමෙරිකාවට ඉරානයේ මානව අයිතීන් පිළිබඳ කතා කරන්නට මෙය මහඟු අවස්ථාවක් වනු ඇති දැයි කියන්නට මේ ලිපිය ලියන මොහොතේ කල් වැඩි වුවත් එය එසේ නොවෙනු ඇතැයි සිතන්නට මම අපොහොසත් වෙමි.

මේ අලකලංචියට මැදිවූයේ ඉරානයේ ජනප්‍රිය නිළියක වන ගොල්ශිෆ්ටේ ෆර්හානි ය.

ෆර්හානි 1983 වසරේ උපත ලද්දියක වන අතර ඇගේ පියා බේසඩ් ෆර්හානි ද සිනමාකරුවකු ලෙස ප්‍රසිද්ධ ය.

 ගොල්ශිෆ්ටේ ෆර්හානි

ඇයගේ සොයුරිය ශගායේ ද සිනමා නිළියකි. සුප්‍රකට සිනමාකරු දරිශ් මෙහුර්ජි ගේ ද පියර් ට්‍රී චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන විට ඇයගේ වයස අවුරුදු 12 කි. ඉන් අනතුරුව චිත්‍රපට රැසකට ම දායක වූ ඇය ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපට රැසකට ද රංගනයෙන් දායක වී සම්මාන ද දිනුවා ය.

සුප්‍රකට සිනමාකරු රිඩ්ලි ස්කොට් නිර්මාණය කළ බොඩි ඔෆ් ලයිස් චිත්‍රපටයෙන් හොලිවුඩ් සිනමාවට ද අවතීර්ණ වූ ඇය එහි දී ඉරාන නීතිය අනුව පැළඳීය යුතු පර්දාව හෝ නොපැළඳ රඟපෑම නිසා ඇති වූ ආන්දෝලනය යම් ප්‍රමාණයකට සමනය වුව ද මෙවර මහත් කලබැගෑනියට හේතු වූයේ ප්‍රංශයේ සුප්‍රකට සඟරාවක් වූ ‘‘ල’මොන්ඩේ’’ සඟරාවේ කවරය ඇතුළු ඡායාරූප පෙළක් සඳහා ඇය නිරුවතින් පෙනී සිටීමයි.

කලකට ඉහත සෝවියට් දේශය උඩු යටිකුරු කරමින් එවකට සෝවියට් ජනාධිපති මිකයිල් ගොර්බචොෆ් විසින් පෙරස්ත්‍රොයිකා නම් දේශපාලන ප්‍රතිසංස්කරණ හඳූන්වා දුන් අවස්ථාවේ දී සෝවියට් යුවතියක වූ නටාලියා නෙගෝඩා මුල් වරට අමෙරිකානු ප්ලේබෝයි සඟරාවේ නිරුවතින් පෙනී සිට කුප්‍රකට ්වූවාය.

ප්ලේබෝයි සඟරාවේ එම කලාපය උණු කැවුම් මෙන් විකිණී ගියේ එතෙක් ලෝකයට අලුත් වූ සෝවියට් කෙල්ලකගේ නිරුවත දැක ගැන්මට තිබූ මිනිසුන්ගේ ආශාවන්ට පින්සිද්ධ වන්නට ය.

එයින් පසු ලිට්ල් වේරා නම් රුසියානු චිත්‍රපටයේ ද රඟපෑ ඈ පිළිබඳ දැන් වගේ වගක් නැත.

මේ වනවිටත් ප්‍රංශයේ වෙසෙන ෆර්හානි ට එරට රැකවරණ දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එයින් පසු දක්ෂ පියානෝ වාදිකාවක් ද වන ඇය කෙලෙස ජීවත් වනු ඇති දැයි තවමත් වැටහීමක් නැත.

එහෙත් ඉතා මෑතකදී කලකට ඉහත ප්‍රංශ සිනමාවේ ලෝ ප්‍රසිද්ධ නිළියක වූ දැන් 72 හැවිරිදි බ්‍රිජට් බාඩෝ ප්‍රංශය අයිති ප්‍රංශකාරයන්ට මිස විදේශිකයන්ට නොවේ යනුවෙන් ද එරට ඉස්ලාම් බලවේග වැඩි වන්නේ යැයි ද හඬ නඟා උසාවියකින් දඩ කෑමකට ද ලක්වූවා ය.

කිසියම් රටක සදාචාරය, සංස්කෘතිය වැනි කාරණා අභිබවා සිවිල් පුරවැසියන්ට නැඟී සිටීමට ඉඩදෙන සමාජයක් ලෝකයේ නැත. එබැවින් එම සීමාව ඉක්මවා කටයුතු කිරීමේ වරප්‍රසාදය කලාකරුවන් ට ලැබෙනුයේ කෙලෙසද? මෙයින් වසර ගණනාවකට පෙර ප්‍රංශ සිනමාකරු ලුවී මාලේ අමෙරිකාවේ දී පි‍්‍රටි බේබි නමින් චිත්‍රපටයක් නිර්මාණය කළේ ය.

එයට පාදක වූයේ පසුගිය සියවසේ මුල් භාගයේ ගණිකා මඩමක කතාවකි.

ෙමි චිත්‍රපටයේ බෲක් ෂීල්ඩ්ස් නම් සුප්‍රකට සිනමා නිළිය රඟපාන විට ඇයගේ වයස අවුරුදු දහයක් වත් නොවූවා ය. එහි ඇගේ නිරුවත් ජවනිකාවක් අඩංගු විය.

මේ සමඟ අමෙරිකානු රජය මගින් බෲක් ගේ මව වූ නිළියක වන ටෙරී ශීල්ඩ්ස්ට විරුද්ධව නඩු පැවරුවේ ය. එයින් ඈ වැරැදිකාරියක විය.

මේ තත්ත්වය අද ද කිසිදු වෙනසක් නොවේ. අද ද ප්‍රධාන හොලිවුඩ් සමාගම් ළමා ඝාතන හෝ ප්‍රචණ්ඩත්වය සිනමාවට නඟන්නේ නැත. එහිදී ඔවුහු ස්වයං වාරණයක් පනවා ගනිති. කලාකරුවා තම නිර්මාණ ගොඩනඟනුයේ තම ජීවිතය හා එහි ඇති ආනිසංස හරහා බැව් නොරහසකි. එයින් පළා යන්නට ඔවුන්ට නොහැකි වේ.

කලාකරුවකු සමාජ සිදුවීම් කෙරෙහි සංවේදී වීම වෙනත් සාමාන්‍ය මිනිසුන්ට වඩා වැඩි ය.

ඔවුන් අතින් වඩා වැදගත් නිර්මාණ බිහිවනුයේ ද එබැවිනි. එහෙත් ඉහත සිදුවීමි පිළිබඳ යොමු වෙද්දී මට පෙනෙනුයේ මේ බොහොමයක් නිර්මාණ සඳහා කලාකරුවන් වූ මිනිසුන් පෙලඹෙද්දී ඔවුන් නොදැනුවත්ම වෙළෙඳ පොළ තුළ අලෙවි වන්නන් වන බව ය.

මා හිතවත් සිනමාවේදී රංජිත් කුරුප්පු පරිවර්තනය කළ ‘කාන්තාරයේ කුසුම ’ නම් මෙරට අලෙවි වාර්තා බිඳ හෙලූ කෘතිය කියවද්දී එහි එන ලෝ පතල මෝස්තර නිරූපිකාව වාරිස් ඩයරි හා සෝමාලියාවේ ඇතුළු ලොවපුරා එම ඉරණමට භාජනය වන ගැහැනුන් පිළිබඳ කම්පනයට පත්වීම එක් දෙයකි.

එහෙත් එයින් එහා එකී සංස්කෘතිය අශ්ලීල යැයි හෙළා දකින්නට හෝ ඒ පිළිබඳ ප්‍රශ්න කරන්නට තවත් සංස්කෘතියකට ඇති අයිතිය කුමක් ද යන්න ගැටලුවකි.

එහෙත් මා එයින් අදහස් කරනුයේ අනේ ඒ ගැහැනුන්ගේ ඉරණම යැයි සිත සදා ගත යුතු වග නොවේ.

කලාකරුවා සිය නිර්මාණය මෙහෙය වනුයේ සටන් පාඨවලින් තොරව මිනිස් හැඟීම් පුබුදාලීම සඳහා ය. ඔහු ලෝකය දෙස බලන්නට මිනිසුන්ට තුන්වන ඇසක් විවර කර දෙයි. කලකට ඉහත කරුණාසේන ජයලත් ශූරීන් සිය ගැහැනු ළමයි කෘතියේ කුසුම් පිළිබඳ මා සමඟ පැවසූ කරුණක් මට සිහිපත් වේ.

‘සමහරු බලා පොරොත්තු වුණා කුසුම් විප්ලවයක් කරයි කියලා. මා හිතන්නේ කුසුම් වෙනුවෙන් විප්ලවය කළ යුත්තේ අනිත් අය යි.’ වර්තමානයේ කලා කෘති නිර්මාණය වීම කොයි හැටි වෙතත් ඒවා අලෙවි වීම පිටුපස ඇත්තේ දැවැන්ත වෙළෙඳ ව්‍යාපාරයන් ය.

වර්තමානයේ කිසිදු කලාකරුවකුට වෙළඳ ආධිපත්‍යයෙන් බැහැරව නිර්මාණයේ යෙදීමක් පමණක් නොව පැවැත්මක් ද නැත.

එය අද මුළු මහත් ලෝකයම වෙළා ගත්තකි. මේ සමඟ විවිධ රටවල දේශපාලන, සංස්කෘතික සදාචාරය හාරා අවුස්සමින් ඒවා ට ලැබෙන විරෝධාකල්ප ඔස්සේ අලෙවියක් තනා ගැනීම ඉතා පහසු වෙළෙඳ පොළක් නිර්මාණය කර ගැනීමේ ක්‍රමවේදයකි.

එය අනුදත් වෙළෙන්ඳෙ ඉතා සූක්ෂමව විරෝධාකල්ප වෙළෙඳ පොළෙන් ලාබ ලබනුයේ මානව දයාව පෙරදැරි කරගත් සේ වෙස් මුහුණක් පළඳා ගනිමිනි.

එහෙත් වාරණය වර්තමාන ලෝකයේ පහසු ක්‍රියාවලියක් නොවේ. ඕනෑම වාරණයකට එරෙහිව ක්‍රියාත්මක වීමට තරම් තාක්ෂණික මෙවලම් ඇත්තේ ය. චිත්‍රපට නැරැඹීමේ යතුර පේ‍්‍රක්ෂකයා ලබාගත් දිනයේ සිට සිනමා වාරණය විහිළුවක් බව ඇත්තකි.

එහෙත් ඒ අතිශය පෞද්ගලික මට්ටමේ රස වින්දනය සඳහා විනා පොදු පේ‍්‍රක්ෂක බලපෑමක් කිරීමට එය සමත් නොවීය. පසුගිය මාසයේ දකුණු ඉන්දියාවේ තැනුණ එක් චිත්‍රපටයක් මෙරට වීරෝධාර රණවිරුවන් අපහාසයට ලක්කොට ඇත. එපමණක් නොව ඉතා මෑතක සිට දකුණු ඉන්දීය චිත්‍රපටවල දෙබස් මගින් පවා ලංකාව හෑල්ලුවට ලක් කරන බැව් නොරහසකි.

එහෙත් රැඟුම් පාලක මණ්ඩලයේ කතුරට හසුවන මෙබඳූ චිත්‍රපට කිසිදු බාධාවකින් තොරව ගෙදර මැද සාලයට පිවිසෙනුයේ වාරණයකින් තොරව ය.

ඒ ටෙලිවිෂන නාලිකාවන්හි විකාශය වෙද්දී ය. එමෙන්ම මෙබඳූ චිත්‍රපටයක් ඉතා ලාබයට ප්‍රසිද්ධ වෙළෙඳ පොළෙන් මිල දී ගත හැක්කේ ය.

එය වාරණයට ලක් නොවද්දී මුළු මහත් සමාජ ස්ථරයට ම එමගින් බලපෑම් ඇති කරන පහසු ක්‍රම වේදයක් බව අප අමතක කළ යුතු නොවේ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව