අම්මයි දුවයි එකට උපාධිය ලබලා

නිල්මිණි කෝට්ටෙගොඩ ගැන අලුත් ආරංචියක්

වෙනදා දකින කළු කොණ්ඩය සුදු පැහැ ගන්වලා. බුලත් විට කෑ නිසාදෝ කට රතු වෙලා. හද්දා පිටිසර ගමක ජීවත් වෙන ගැමිලියක්. රූප පෙට්ටිය නරඹන්නන්ගේ දෑසෙන් රූරා වැටෙන කඳුළු දෙකොපුල් ඔස්සේ ගලා යද්දී. ඒ ගැමිලිය සොය අප පැපිලියානට ගියා.

‘නිල්මිණි කෝට්ටෙගොඩ’

ඈ ඉහළ මාලයෙන් එබී පාර බලන්නේ අප දුටු විගස අත වනමින්.

‘ඒ ගැමිලිය ගෘහණියක් වෙලා’

අප කිව්වේ ඇගේ භූමිකාවේ වෙනස පදනම් කරගෙන. ඒ කියමනට නම් නිල්මිණිට හොඳටම හිනා. ඒ හිනාවේ කතා ගොඩක් හිර වෙලා.

‘මේ දවස්වල ඔය කියන ගැමි ලියගේ භූමිකාවට ලැබෙනා ප්‍රතිචාර මට සතුටක්. මහේන්ද්‍ර පෙරේරාගේ ‘ස්ටාර් ශ්‍රී ලංකා’ ටෙලි නාට්‍යයේ චරිතය මගේ රංගන ජීවිතය වෙනසකට ලක් කළා. කොමඩි චරිතවලට හිර වෙලා හිටිය මගේ රංගනය වෙනස් මඟකට රැගෙන ගියා. මේ ටෙලි නාට්‍යයේ රූප පෙට්ටිය බලලා අඬන දර්ශනයක් ගැන අධ්‍යක්ෂවරයාගෙන් මට පුංචි අභියෝගයක් ලැබුණා’.’

‘නියම රංගන ශිල්පිනියක් නම් නිල්මිණි මේ සීන් එකේදී ඇත්තටම අඬන්න ඕන.’ අභියෝගය භාර ගෙන මම ඇත්තටම ඇඬුවා. ඒ වෙලාවේ මහේන්ද්‍රට තිබුණේ පුදුම සතුටක්’.

නිල්මිණි කතාවට මුල පුරන අතර මගේ දෙනෙත දිව්වේ නිවෙස පුරාම.

වැහි බින්දු එක දෙක සාලයට වැටෙනවා.

‘ඔන්න අම්මේ ටෙන්ටෙක දමමු’

නිල්මිණිගේ එකම දූ බිනෝලි දිව්වේ වැස්සක් කඩා වැටෙන්න තතනන අහස බලාගෙන. කඩිමුඩියේ නිල්මිණිත් දුවට එකතු වුණා. ඒ සැනින්ම ආපසු ආවා.

‘කාලයක පටන් තිබුණු අදහසක්. ඒත් මුදල් ප්‍රශ්නය තමයි හරහට හිටියේ. මම නියැලිලා ඉන්න කටයුතුවලට ලැබුණු මුදල්වල එකතුවෙන් ගේ හදන්න ආරම්භ කළා. මේ නිසා රංගනයට අමතරව කැදැල්ලේ ගෘහණිය විදියට වැඩ කටයුතු රාශියක් මා මත්තේ පැටවිලා. මේ හැම දේකටම මගේ සැමියා වගේම දුවත්, පුතත් මට ගොඩක් උදව් කරනවා. මේ උදා වූ නව වසරේ ඉක්මනට ගේ හදලා ගෙට ගෙවදින්න මා හීන මවනවා.’

‘අම්මගේ තවත් හීනයක් පසුගිය දවස්වල හැබෑ වුණා.’ බිනෝලි එහෙම කියාගෙන නිල්මිණිගේ මූණ බැලුවේ එහෙම කිව්වට කමක් නැද්ද කියලා අහන්න වගේ.

‘අපි දෙන්නාම ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන පාඨමාලාව හැදෑරුවා. මේ පසුගිය මාසයකදී ඒ පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත් වුණා. අපි දෙන්නම එකම ප්‍රතිඵලයක් අරගෙන එකම වේදිකාවේ උපාධිය ලබා ගත්තා. පාඨමාලාව කරන කාලයේ මට තිබුණු හීනයක් තමයි ඒ.’

හීන හැබෑ කර ගන්නා අතරම ඉඩ ලැබෙන අවස්ථාවේ හැටියට නිල්මිණි ගෘහණියකගේ කාර්යභාරයත් ඉටු කරන්න අමතක කරන්නේ නෑ.

‘මා නියැළෙන වැඩ කටයුතුත් සමඟ ගෘහණියගේ කාර්යභාරය නියම ආකාරයෙන්ම ඉටු වෙනවාය කියන සහතිකය මට දෙන්න බැහැ. මේ තත්ත්වයන් සමබර නොවෙන අවස්ථා මගේ ජීවිතයේ නම් බොහොමයි. එහෙම වෙනවා කියලා ලකුණු දා ගන්න මම කැමැති නැහැ. ඒ නිසා මට ලැබෙන විදියට නිවෙසේ ඉවුම් – පිහුම් කටයුතු කරන්න, අස් පස් කරන්න මම මැලි වෙන්නේ නැහැ. නිවෙසේ ගත කරනා කාලයේදී ඒ කටයුතුවලට මගේ කාලය වෙන් වෙලා. මේ අතර රඟපෑමේ කටයුතු තිබුණොත් මගේ උදව්වට දුව ඉන්නවා. ඒ වගේ වෙලාවට නිවෙසේ කටයුතු සොයලා බලලා කරන්න පුළුවන් දුවක් ඉන්නවා කියන එකත් මට ආඩම්බරයක්. සමහර දවසට දුව එයාගේ පංතියට ගියොත් මේ සියලු කටයුතු වෙනස් වෙනවා. ගමේ කෑමවලට තමයි අපේ පවුලේ අය මුල් තැන දෙන්නේ. රාබු, කරවිල නම් මට පේන්න බැහැ. ඒත් කරවිල සම්බෝල හදලා කන්න මම කැමැතියි.

‘අම්මේ . . . මේ බලන්නකෝ . . .’

ඒ කතා කළේ නිල්මිණිගේ එකම පුතා මිලිඳු ජයමාල්. ඔහු දුවලා ඇවිත් ඉඳ ගත්තේ අම්මගේ ඔඩොක්කුවේ. ඉයර් ෆෝන් එක අම්මගේ කනේ රැෙඳව්වා අලුත්ම ඉංග්‍රීසි ගීතය අහන්න. ‘මොන වැඩ තිබුණත් මිලිඳු කියන දේත් මට අහන්න වෙනවා. නැත්නම් ඉතිං ගෝරි ගොඩයි.’ඔඩොක්කුවෙන් නැඟිටලා ගිය මිලිඳු පුතා දෙසම බලාගෙන නිල්මිණි කියන්නේ සැබෑම ආදරයෙන්.

‘මගේ ජීවිතේ හැම කාරණයකටම මූලික වෙලා තිබෙන්නේ මගේ ළමයි දෙන්නා. ඔවුන් වෙනුවෙන් තමයි මම මේ හැම දේම කරන්නේ. මගේ මහත්තයාත් එහෙමයි. ඔහු තලංගම ඩිපෝවේ ඩිපෝ පරීක්ෂකවරයෙක්. නිවෙසේ හැමෝටම ඔහුගෙන් ලැබෙන සහයෝගයත් බොහොමයි.

‘දරුවන් ගැන ලොකු බලාපොරොත්තු මගේ නැහැ. හොඳින් ඉගෙන ගත්තට පස්සේ ඔවුන්ගේ දස්කම් අනුව තමා මොකක්ද කළ යුත්තේ කියලා ඔවුන්ම තීරණයකට ඒවි. දුව නම් දැනටමත් වේදිකා නාට්‍ය කිහිපයක, චිත්‍රපටයකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේම හඬ කැවීම් කරනවා. පුතා නම් තවම පොඩි ළමයෙක් නිසා මොනවා කරාවිද කියලා කියන්න බෑ. මේ දවස්වල ගේ හදන නිසා මට ගොඩක් උදව් කළ දමයන්ති, නිලූකා, ජානකී, ලක්ෂ්මී ඇතුළු ඒ සියලුම පවුල්වල අයව මම මතක් කරන්නේ ආදරයෙන්. ඒ වගේම අපේ තාත්තත් මට ගොඩක් උදව් කරනවා. අම්මා අද අප අතර නැති වුණත් මේ තත්ත්වයට එන්න උදව් කළ ඈව විශේෂයෙන්ම මතකයට නැඟිය යුතුයි. ක්ෂේත්‍රයේ මේතාක් දුර එන්න උදව් කළ හැමෝම සිහිපත් කරන්නේ ආදරයෙන්.’

සාලයට වැටුණු වැහි පොද එක දෙක නැවතිලා. නිල්මිණිගේ කැදැල්ලෙන් සමු ගත යුතුයි. ඒ ඔවුන්ට උදා වෙන හෙට දවස සුන්දර වේවා කියන ප්‍රාර්ථනයත් සමඟින්ම.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව