මීයෝ නැතුව බෑ තමයි

ඒත් ඉතින්,

කීර්ති කේ. රත්නායකගේ ‘මීයෝ නැතුව බෑ’ වේදිකා නාට්‍යය මෙම මස 4 වැනිදා පස්වරු 6.30 ට ටවර් රඟහලේ වේදිකා ගතවේ. කාලයක් වේදිකාවේ නිහඬව සිටිමින් නැවතත් වේදිකාවට ගොඩවෙන කීර්ති කේ. රත්නායක තම වේදිකා නාට්‍යය පිළිබඳ දැක්වූ අදහස් පෙළකි මේ.

* ඔබ ‘මීයෝ නැතුව බෑ’ යන නම වේදිකා නාට්‍යයට තැබුවේ මේ යන රැල්ලට ඔබින අයුරින්ද?

‘බූරුවා, බල්ලෝ, බකමූණා වගේ සත්තු අතර මීයා කියන සත්ත්වයාත් ඒ රැල්ලටම නිර්මාණය වුණා කියන මතයක් ඇති විය හැකියි. ඒක සාධාරණ මතයක් වුණත් මම මේ වේදිකා නාට්‍යයේදී මීයා කියන සත්ත්වයාගේ නම යොදා ගත්තේ වෙනස් අදහසකින්.

මින් ඉලක්ක ගත වෙන්නේ ජීවිතය, සමාජය කියවා ගත හැකි, කියවන්නා වූ සමාජ දේශපාලන දැකීමක් ස්පර්ශ කිරීමයි. එහෙම නැතුව මීයන් විදියට මේ නාට්‍යයේ රංගන ශිල්පීන් වෙස් ගැන්වීමක් සිදු කර නැහැ. විශේෂයෙන්ම මට ඕන වුණේ නාට්‍යයකට නමක් තියන්න මිසක් නමකට නාට්‍යයක් නිර්මාණය කරන්නට නෙමෙයි.

* ඔබ ඔය ස්පර්ශ කරන්න තනන සමාජය දේශපාලන දැක්ම මොන වගේ එකක්ද?

ඒ ගැන කියනවාට වඩා වේදිකා නාට්‍යය බැලීමෙන් ඒ දේ අත්දකිනවා නම් මා වඩාත් කැමැතියි. මොකද මම මේ ස්පර්ශ කරන්නා වූ සමාජ දේශපාලන දැක්ම එක් එක් අය විවිධ විදියට දකින්නට පුළුවන් නිසයි. ඒ දැක්ම විවිධ වූ පරාසයන් ස්පර්ශ කරන වග ඔවුන්ටම පෙනේවි.

ඒ නිසා ඒ ගැන කතා කිරීම පසෙක ලා අපි මේ ගැන කතා කරමු. සමහර කෙනෙකුට හිතන්න පුළුවන් මේ තරම් ගැඹුරු දෙයක් වේදිකා නාට්‍යයකින් කියන්න හදන නිසා මේ නාට්‍ය තේරුම් ගන්නට නොහැකි නිර්මාණයක් කියලා.

එහෙම නෑ. මා ස්පර්ශ කරන්නට සූදානම් වන ඒ දැක්ම නිර්මාණයක් විදියට ඉදිරිපත් කිරීමේදී මම ප්‍රවේසම් වුණා. මොකද ඒ දේ මා ඉදිරිපත් කළේ බොහොම සරලවයි. ඒ සඳහා සංගීතය, ගායනය, නර්තනය ආදී අපට පුරුදු විවිධ ප්‍රාසාංගික අංග මෙතැනට ආදේශ වුණා.

මෙහිදී නාට්‍යයේ වේදිකාව උඩ රඟපාන දෙයට වඩා එයින් කියැවෙන යටිපෙළ තේරුම් ගැනීම බොහොම වැදගත් බවයි මගේ හැඟීම වන්නේ. එතැනයි නිර්මාණයේ නියම අරුත සැඟ වී තිබෙන්නේ. ඒ නිසා පෙබරවාරි 04 වැනිදාට ඇවිත් නාට්‍යය බලන්න කියලා හැමෝටම මා ආරාධනා කරනවා.

* වේදිකා නාට්‍යය ගොඩනැඟීමේදී ඔබ විශේෂ වූ උපක්‍රමයන් භාවිත කළාද?

මේ වේදිකා නාට්‍යය සඳහා මා භාවිත කළේ බ්ලැක් කොමඩි යයි. ප්‍රේක්ෂාගාරයේ වාඩි වෙලා නාට්‍යය බලන ප්‍රේක්ෂකයාට නාට්‍යයේ සිදුවන දේ සඳහා ඉබේ සිනහා එනවා. පස්සේ ඒ හිනා වුණේ අපටම නේද කියලා ඔවුන්ට ඇඬෙන්න පටන් ගන්නවා. මෙහි තිබෙන විශේෂත්වය එයයි. ‘මීයෝ නැතුව බෑ’ හරහා මගේ ප්‍රකාශනය සඳහා එම රංග උපක්‍රමය මට වඩාත් වැදගත් වුණා කිව්වොත් නිවැරැදියි. මෙම නාට්‍යය සරලයි, සංකීර්ණයි. ළමා, තරුණ, වැඩිහිටි ඕනෑම කෙනෙකුට රස විඳිය හැකියි.

* කාලයක් ඔබ බොහොම නිහඬ බවකින් හිටියා. ඇයි එහෙම වුණේ?

1999 වසරේ යෞවන සම්මාන උළෙලේ දී මගේ ‘කියතක් තියෙනවා’ කෙටි නාට්‍යයට සම්මාන රාශියක් ලැබුණා. ඉන් පස්සේ කිසිම නිර්මාණයක් කළේ නැති වුණත් මම විවිධ නිර්මාණයන්ට දායක වුණා.

රංගනයෙන් සදිසි තරණය, ගල් පිළිමය සහ බොල් පිළිමය කියන ටෙලි නාට්‍යවලත්, පිටපත් රචනයෙන් ජීවිතේ හොරු අරං, මං මුලා වූ මං කියන නිර්මාණ සඳහාත්, ඉඳින්න හදවතේ අවදියෙන් ඒකාංගික ටෙලි නාට්‍ය සඳහා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණා.

16 වෙනි සුමති සම්මාන උළෙල සඳහා හොඳම සහාය නළුවා විදියට නිර්දේශ නාම අතරට මගේ නමත් තිබුණා. නමුත් මේ කාලයේ වේදිකාවට සම්බන්ධ නොවුණත් කාලයක් බොහෝ දේ හොඳින් හැදෑරුවා. ඒ හැදෑරීමේදී බොහෝ දේ මගේ නිර්මාණ ජීවිතයට එකතු වුණා. ඒ හැදෑරීම් ඔස්සේ බිහිවුණු නිර්මාණය තමයි මේ.

* මෙහි රංගනයෙහි යෙදෙන රංගන ශිල්පීන් මෙන්ම අනෙකුත් ශිල්පීන් කවුරුන්ද?

මෙහි කතා වස්තුව ඇන්ටනී ජයලත් කියන ශූර ශිල්පියාගේ. ඒ කතා වස්තුව කතා වින්‍යාසයක් බවට පත් කළේ මමයි.

මෙහි අර්ථපතීත්වය දරන්නේ ජූඩ් ශ්‍රිමාල්. නාට්‍ය ශිල්පය ඉගෙන ගත්ත කෙනෙක් විදියට ඔහු වැනි පුද්ගලයෙකු මෙහි අර්ථපතීත්වය දැරීම මට සතුටක්. ප්‍රධාන චරිත රඟන මාදනී මල්වත්තගේ වගේම මහේෂ් උමගිලිය පිළිබඳත් යමක් කිව යුතුය.

වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයට මාදනී තෝරා ගත්තේ මගේ බිරිඳ නිසා නොවෙයි. ඈ ඒ චරිතයට වඩාත් හොඳින් සාධාරණය ඉටු කළ නිසයි. මහේෂ් උමගිලිය කියන තරුණ ශිල්පියාගෙන් මාදනී හා සමානවම මේ වේදිකා නාට්‍යයට ඉටුවුණු සාධාරණත්වය වගේම පැති කිහිපයකම දක්ෂතා ඔහු සතුයි.

ඩබ්ලිව්. ජයසිරි, රවීන්ද්‍ර යසස්, වගේම ඉෂාර, දේව් රංජිත්, මලිති, රුවනි, චමරි, කසුන්, චන්දු යන රංගන ශිල්පීන්ගේ රංගනයෙන් ‘මියෝ නැතුව බෑ’ වඩාත් සුන්දර වෙනවා. ප්‍රදීප් මුතුකුඩ ආරච්චිගේ සංගීතය, ස්විනීතා පෙරේරාගේ ඇඳුම් නිර්මාණයත්, සුසංග කහඳවලආරච්චිගේ හා චන්දන නිශාන්තගේ වේදිකා පරිපාලනයත් නාට්‍යයේ සාර්ථකත්වයට වඩාත් වැදගත් වුණා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව