Q & A

ග්‍රහ බලපෑම්

ලක්ෂ්මන් විජේසේකරට

මිහිරි කටහඬ පෞරුෂයක් හිමි ගායකයින් අතර ඔබට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. එදා ගංගා හා නිශ්ශංක ටෙලි සිතුවමෙන් මෙන්ම විවිධ වූ රසාලිප්ත ගී අප වෙත තිළිණ කළ ඔබ අද කිසිම මාධ්‍යයක පෙනෙන්නට නැහැ. ඒ කලාව ගැන කලකිරීමෙන්ද, එසේත් නැතිනම් මෙරට මාධ්‍යයන්ට ඔබේ හඬ එපා වෙලාද?

දයා නාඩකන්ද

මොණරාගල, කිරිලිපන.

දයා, මම කිසිම මාධ්‍යයක් ගැනවත්, කිසිදු නිර්මාණකරුවෙක් ගැනවත් කලකිරී නැහැ. එක එක කාලවලට මිනිසුන්ට ඇතිවන මන්දගාමී බව, ග්‍රහ බලපෑම් වෙන්න ඇති. හැමදාම එක ලෙස ජනප්‍රියත්වය රඳවගන්න බැහැනේ. කෙහොම වුණත් ළඟදී හොඳ නිර්මාණයකින් ඔබ හමුවට පැමිණීමටත් මා අදහස් කරනවා.


112 ළඟදීම

නිහාල් නෙල්සන්ට,

තනු නිර්මාණයටත්, ගායනයටත්, පද රචනයටත් එකසේ දක්ෂතාවක් දක්වන ඔබ දිගුකලකින් කැසට් පටයක් එළි දැක් වූයේ නැහැ. ඒ ඇයි?

කමලා සෙනෙවිරත්න

තලවතුගොඩ.

කමලා නංගියේ,

මගේ 112 වැනි ගීත කැසට් පටය ළඟදීම නිකුත් කරනවා. එය ඔබට තිළිණ කිරීමට ප්‍රමාද වූයේ ව්‍යාජ කැසට්පට නිපදවන්නන් නිසා. දැන් ඒ සඳහා දැඩි නීති ඇති නිසා නොබියව නිර්මාණයක් කළ හැකියි.


බිරිඳට සලකන්නේ නැහැ

ප්‍රභාත් වීරසිංහට,

බට්ටි හි සිරි හාමු ලෙස ඔබ එදා කළ රංගනය විශිෂ්ටයි. අද ‘දූවරු’ ටෙලි නාට්‍යයේ ‘අසේල’ ලෙස කරන රංගනය ගැන යමක් කියන්න. ඇයි මේ දිනවල අසේල පාරක් ගානේ පිස්සෙක් වගේ ඇවිදින්නේ?

චන්දන වන්නිආරච්චි දෙහිඅත්තකණ්ඩිය.

චන්දන,

‘දූවරු’ හි අසේල කියන්නේ තම බිරිඳට අසීමිතව වැරැදි ආකාරයට සලකපු කෙනෙක්. ඒ අසාධාරණ සැලකීම නිසා බිරිඳ ඔහු අතහැර යනවා. ඉන් පසු ඔහු උම්මන්තකයකු බවට පත් වෙනවා. අද සමාජයේ බොහෝ පිරිමි අය තම බිරිඳට නිසි අයුරින් සලකන්නේ නැහැ. එම ඛේදවාචකය තමයි අසේල තුළින් රූපණය වෙන්නේ. දිගටම ‘දූවරු’ බලන්නකෝ, එතකොට ඔබට තව බොහෝ දේවල් වටහා ගත හැකියි.


වැඩිය නැතත් ඉන්නව

රෝහණ වීරසිංහට,

ඔබ සංගීතය නිර්මාණය කරන ලද ‘සී/ස. සිංග් ලංකා’ ආයතනය මඟින් නිෂ්පාදනය කර දොරට වැඩි කැසට් පටයට ගී ගැයු දීපිකා ප්‍රියදර්ශනී හැර ගාමිණී ජීවරත්න, වසන්තා තිලකාංගනී, අනුර රාජපක්ෂ, සුජීවා ප්‍රියන්ති, බණ්ඩාර සෙනෙවිරත්න යන ගායක ගායිකාවන් හා සිංග් ලංකා ආයතනයට මොකද වුණේ?

ඩබ්. ලෙනාඩ් ප්‍රනාන්දු - දූනගහ.

සිංග් ලංකා ආයතනය නම් අලුත් ගීත පට නිපද වූයේ නැති වුණාට තාම ක්‍රියාකාරීව තිබෙනවා. බණ්ඩාර සෙනෙවිරත්න, ගාමිණී ජීවරත්න තදින් මාධ්‍යවල පෙනී නොසිටියාට ප්‍රසංගවලට සහභාගී වෙනවා. එමෙන්ම අනුර රාජපක්ෂත්, වසන්තා තිලකාංගනිත් එසේම සක්‍රීයව සංගීත කටයුතුවල නිරත වෙනවා. නමුත් ඉහත දැක් වූ සියලු දෙනාම ප්‍රසිද්ධ මාධ්‍යවල නම් වැඩිය පෙනී සිටින්නේ නැහැ.


මේ දවස්වල රට

නිහාරා පීරිස්ට

ඔබ මේ දිනවල රටින් පිටව සිටිනවා කියා ආරංචියි. එය ඇත්තද?

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය.

ඒ කතාව නම් ඇත්ත. ඇමරිකාව හා කැනඩාව ආශ්‍රිතව රූගතවන නවතම ටෙලි නාට්‍යයක් සඳහා මේ දිනවල මා ඇමරිකාවට පැමිණ සිටිනවා. මේනක රාජපක්ෂ හා මා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මේ දිනවල නම් මෙහෙ අධික සීතල හා හිම වැටීම නිසා රූගත කිරීම් හරිම අමාරුවෙන් සිදු කරනවා. එය ඉවර වූ වහාම නැවත මගේ රටට පැමිනෙවා.


අලුතින් ටෙලි නාට්‍ය දෙකක

කුමුදු නිශාන්තට,

ඔබ ඉතින් අපි කතා කරමු ටෙලි නාට්‍යයේ දොස්තරගේ චරිතය හරි අපූරුවට නිරූපණය කළා. දිය යට ගිනි, පින්න හරි සැරයි ආදී නිිර්මාණයන්හීත් ඔබේ රංගනය හරිම අපූරුයි. ඔබ රඟපෑ චිත්‍රපට මොනවාද? ඔබේ ඉදිරි නිර්මාණ මොනවාද?

ඩඩ්ලි ගෝමස් මොරටුව,

කටුබැද්ද.

ප්‍රථමයෙන් මා ස්තුතිවන්ත වෙනවා මාව මේ විදියට මතක් වීම ගැන. මම වස්දඬුරාවය, සුදු කළු සහ අළු, අභියෝගය ආදී චිත්‍රපටවල රඟපා තිබෙනවා.

ඉදිරියේදී රංජිත් අනුරාධගේ හා ෂර්ලි පී. දෙලංකාවලගේ නාට්‍ය දෙකක රංගනයෙන් එක්වීමට නියමිතයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව