එඩ්වඩ් ගේ රස කතා

ඒ මම නෙමෙයි

අද අපේ කතානායකයා වන රාජා අගනුවර ප්‍රධාන පළාත් පාලන ආයතනයක ජ්‍යෙෂ්ඨ ලිපිකරුවෙක්. අලුත් නාට්‍යයක මංගල දර්ශනයකදී ඒ වගේම චිත්‍රපටවල මංගල දර්ශනවලදී ඔහු නොවරදවාම දකින්නට ලැබුණා.

රාජාට කාර්යාලයේ නියමිත විෂයයන් අතරේ එක් සුවිශේෂ රාජකාරියක් තිබුණා. ඒ තමයි වේදිකා නාට්‍ය සහ සිනමා පට සඳහා විනෝද බදු අය කිරීමේ විෂයය. රාජා ඒ සඳහා තම කාර්යාලයට පැමිණෙන කලාකරුවන් රස්තියාදු නොකොට කඩිසරව දුව පැන ඇවිද, කඩිනමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර දීමට පුරුදු වී සිටියා. එහි පැමිණෙන කලාකරුවන් රාජාගේ මේ යහ ගුණයට ප්‍රතිචාර දැක්වූයේ තම නිර්මාණවල මුල් දර්ශන නැරැඹීම සඳහා ඔහුට ආරාධනා පතක් පිරිනැමීමෙන්.

රාජා පසු කලෙක අපේ නාට්‍යකරුවන් කීප දෙනෙකුගේම නිර්මාණවල අර්ථපතීත්වය ද දැරුවා. වත්මනෙහි ප්‍රධාන සිනමා පුවත්පතක කර්තෘත්වය දරණ, ඒ දිනවල එම පුවත්පතේම කර්තෘ මාණ්ඩලිකයකු වූ මාධ්‍යවේදියකු මේ කාලයේ රාජාව දැන හඳුනාගෙන සිටියා.

දවසක්දා අපේ මේ පුවත්පත් කලාවේදියා මරදානේ ඩීන්ස් පාර දිගේ ඇවිද ගෙන යද්දී එහි වූ ප්‍රසිද්ධ අවමංගල්‍ය ශාලාවක් ඉදිරිපස තිබූ බැනරයක් දැක සසල වුණා.

‘රාජාට නිවන් සැප ලැබේවා!’ යනුවෙන් සඳහන් බැනරය දෙතුන් වරක් කියවලා ලොකු චකිතයකින් ඔහු මල් ශාලාවට ඇතුලු වුණා. එහි මෘත දේහයක් තබා තිබුණා. ඒ වටා පුටුවල කීප දෙනකු වාඩි වී සිටියා. අපේ පුවත්පත් කලාවේදියා මහත් කලබලයෙන් මෘත දේහය දෙස තියුණුු බැල්මක් හෙලුවා. ඔහුට ඉබේම සැනසුම් සුසුමක් හෙලුනා. ඒ රාජා නෙමෙයි. වෙන කවුදෝ නන්නාඳුනන පුද්ගලයෙක්. ඔහු තමන් යන්නට ආ ගමන ගියේ තනිවම සිනාසෙමින්.

ඊට මාසයකට විතර පස්සේ පැවති සිනමා මංගල දැක්මකදී ඔහුට තම මිතුරු රාජා හදිසියේම මුණ ගැසුණා. ඔහු කට පුරා සිනා සෙමින් රාජා ඇමතුවා.

‘ඒයි රාජා ගිය මාසෙ දිහා අර ඩීන්ස් රෝඩ් එකේ තිබුණේ උඹේ මිනිය නෙමෙයි නේද?’ ඔහු සෝපාහාසයෙන් ඇසුවා.

රාජා බැරෑරුම් ස්වරූපයක් මවාගෙන මෙහෙම පිළිතුරු දුන්නා.

‘ඔව් මචං, මටත් ඕක ආරංචි වෙලා මමත් තකහනියෙන් ඩීන්ස් රෝඩ් එකට ගිහින් බැලුවා. බැලින් නං ඒ මම නෙමෙයි.’

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව