වෙස් මුහුණේ භාව ඉතිහාසය

සංස්කෘතික රස සිද්ධාන්තවල ඇති ‘භාව’ පිළිබඳ අප මේ ලිපි මාලාව ආරම්භ කළ වකවානුවේ ද කතා කොට ඇත. කලා නිර්මාණයක තිබිය යුත්තේ ‘භාව නොව ‘රස’ යැයි රස සිද්ධාන්තකයන්ගේ අදහස වූ බව අපි එහිදී සාකච්ඡා කෙරුවෙමු.

භාරතීය රස සිද්ධාන්තය වනාහි ඉන්දීය මහා කලා සම්ප්‍රදාය මත පදනම් වූ ශාස්ත්‍රීය සිද්ධාන්තවලියකි. ලොව පහළව ඇති සෑම මහා කලා සම්ප්‍රදායකටම සිද්ධාන්ත ශාස්ත්‍රයක් ඇත. එහෙත් චූල සම්ප්‍රදාය සඳහා ශාස්ත්‍රීය සිද්ධාන්ත නැත. චූල සම්ප්‍රදාය හෙවත් ජන සම්ප්‍රදාය ක්‍රියාත්මක වන න්‍යාය පද්ධතිය පසුකාලීනව ශාස්ත්‍රීය විග්‍රහයන්ට ගනු ලැබූව ද මේ න්‍යාය ක්‍රියාත්මක වන්නේ ශාස්ත්‍රීය සම්මතය පරිදි නොව ජන සම්මතය පරිදිය. එහෙයින් ‘ජන කලාකරුවා’ ශාස්ත්‍රීය හෙවත් ‘සිද්ධාන්ත කලාකරුවාට’ වඩා නිදහස්ය.

පහතරට නර්තන කලාව වනාහි දියුණුවට පත් කර ගනු ලැබූ ජන කලා විශේෂයක් යැයි මට සිතේ. දියුණුවට පත් නොවූ ජන කලාවන් කවරේදැයි සොයා බැලුවහොත් අපේ රටින් අපට හමු වන්නේකිරි කොරහා නැටුම වැනි ගෝත්‍රික යාතුකර්මයයි. ප්‍රාග් මානව යුගයේ සිට මම ලොව පැවති ගෝත්‍රික නැටුම් සම්ප්‍රදායයන් එබඳු දියුණුුවට පත් නොවූ ජන රංග කලාවන්ය.

වැඩවසම් යුගයේදී ජන කලාංග සිවිල් අධ්‍යාත්ම වර්ධනයට පත් විය. ගන ගෝත්‍රය ගම්මානය බවට පත්වීමත් සමඟ ම ශිල්ප ශ්‍රේණි ඇති වන්නට විය. ආසියාතික නිෂ්පාදන රටාවේ බිහි වූ ශිල්ප ශ්‍රේණි අතර නැටුම් ශ්‍රේණිය ද ප්‍රබල සමාජ අංගයක් බවට පත් වූවේය. ශිල්ප ශ්‍රේණිය කුලයක් ලෙස ද හඳුනා ගත හැකිය. ශිල්ප ශ්‍රේණි ක්‍රමය හෙවත් කුල ක්‍රමය වනාහි වැඩවසම් සමාජයේ ඇති වූ ශ්‍රම විභජනයයි. ශ්‍රම විභජනය යනු සමාජයේ අත්‍යවශ්‍ය ශ්‍රම බලකාය විවිධාංගිකරණය කොට බෙදී වෙන්වීමයි. ශ්‍රමය බෙදී යාමෙන් ඔවුන් තම ශිල්පය පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් හෙවත් විශේෂිකරණ ප්‍රගුණතාවක් ලබා ගනී. ලංකාවේ වැඩවසම් ගැමි කලාව ද ශ්‍රම විභජනයේ විශේෂ ප්‍රාගුණ්‍යය ලබා ඉතා ඉහළින් දියුණු විය.

ලංකාවේ රාජකීය නර්තන සම්ප්‍රදාය වන්නේ අද අප උඩරට නැටුම සේ හඳුනා ගන්නා කොහොඹා යක් කංකාරී නැටුම් සම්ප්‍රදායයි. වැඩවසම් ගැමි කලාවන් විශේෂ ප්‍රාගුණ්‍යය ලබමින් නිදහසේ දියුණු වූ අතර රාජ සභා ආශ්‍රිත නාගරික නැටුම් සම්ප්‍රදාය දියුණු වුණේ සීමාන්තිකවය. එහෙයින් වර්තමානයේ අපට දැකිය හැකි ‘උඩරට’ නර්තන සම්ප්‍රදායට වඩා ‘පහත රට’ නර්තන සම්ප්‍රදාය වර්ණාධිකය. භාවාධිකය. විවිධාංගිකරණයෙන් යුක්තය.

ගැමි කලාවන් භාව නිරූපණය සඳහා සාත්වික අභිනය හෙවත් මුහුණෙන් ඉංගිත නිරූපණය කිරීමට යොමු වුණේ පසුකාලීනවය. එහෙයින් ගැමි කලාවන් භාව නිරූපණය කිරීම සඳහා යොදු ගනු ලැබුවේ විවිධාංගිකරණය වූ වෙස් මුහුණය. රාජ සභා කලාව භාව නිරූපණය කළේ සීමාන්තිකව නිසා ඒවාට වෙස් මුහුණු අනවශ්‍ය විය. උදාහරණ ලෙස උඩරට නැටුම් කලාවේ වෙස් මූහුණු නැත.

ලංකාවේ පමණක් නොව ඉපැරැණි ග්‍රීසියේ පවා මුල්කාලීන ට්‍රැජඩි, කොමඩි, සැටායර් ආදී නාට්‍යවල ප්‍රධාන භූමිකා වෙස් මූණු පලඳා ඇත. ඒවා දැවයෙන්, මැටියෙන් පමණක් නොව රන් ආදී ලෝහයෙන් ද නිමවා තිබූ බවට සාක්ෂි තිබේ. වැඩවසම් යුගයේදී වෙස් මුණ බවට පත් වූවේ ඈත ගෝත්‍රික යුගයේදී බහුල ලෙස භාවිත කළ මූණු පාට කිරීමේ කලාවයි. ලංකාවේ ප්‍රාග් ගෝත්‍ර යුගයේ ආදී මානවයා (බලංගොඩ මානවයා) පවා යම් යම් අභිචාර විධි සඳහා මූණ වර්ණ ආලේප කරගෙන සිටින්නට ඇතැයි සැක සිතන පුරාවස්තුª අද පුරා විද්‍යාඥයන් සොයා ගෙන තිබේ. බටහිරින් රතු ඉන්දියානුවන්ගේ සිට නැගෙනහිරින් පැසිෆික් දූපත්වාසී මවුරි ගෝත්‍රිකයන් දක්වාම ලොව සෑම ගෝත්‍රික සමාජයකම වාගේ ලංකාවේ ආදිවාසී ගෝත්‍රිකයන්ගේ මූණ වර්ණ ගැන්වීමේ අභිචාර විධි පැවතී ඇතැයි අද සොයා ගෙන ඇත.

ආදී ගෝත්‍රිකයන්ගේ වර්ණ භාවිතය ඉබාගාතේ සිදු වූවක් නොවේ. ඒ වර්ණවලට තේරුම් තිබී ඇත. පුදුමය නම්, කිසිදු අන්තර් සන්නිවේදනයක් නොපැවතිය ද මුළු ලොව පුරාම සිටි සියලුම ගෝත්‍රිකයන් මූලික වර්ණ හඳුනාගෙන ඇත්තේ සමාන තේරුමකින් යුතුවයි. සුදු වර්ණයෙන් සාමය සමාදානය සහ තැන්පත් බවත්, රතුª වර්ණයෙන් රාගය සහ විනාශයත්, කළු වර්ණයෙන් මරණය සහ අමනුෂ්‍ය බවත් ඔවුන් සංකේතවත් කොට ගෙන ඇත්තේ කාගෙන් අසා දැනගෙනදැයි අපට ප්‍රශ්නයකි.

මීට වසර 40,000 කට පමණ පෙර ලංකාව ඇතුළු මුළු ලොව පුරා විසිරී සිටි සියලුම ප්‍රාග් මානවයන් ගල් ආයුධ තනාගෙන ඇත්තේ එකම හැඩයකටය. ඔවුන් ඒ වකවානුවේ බෙල්ලන් කා කටු වීසි කර තිබුණි. ඒවා දැන් කැනීම්වලින් ගොඩ ගනිමින් තිබේ. ලෝකයේ හැම රටකම ප්‍රාග් මානවයන් බෙල්ලන් කා ඇත්තේ එකම විදියකට කටුව හිල් කරගෙනය. හැම රටකම ගෝත්‍රිකයන් තම ඥාතීන් මිය ගිය විට වළ දමා ඇත්තේ එකම පිළිවෙළකටය. ඔවුන් මෘත ශරීරය හකුලා වළ දමා ඇත. දරුවකු මව් කුසයේ සිටින සේ මෘත ශරීරය වකුටු කර වළ දමා ඇත්තේ මේ ගෝත්‍රිකයන් නැවත ඉපදීමක් විශ්වාස කළ නිසාදැයි වර්තමාන මානව විද්‍යාඥයෝ තර්ක කරති.

ලෝකයේ බොහෝ රටවලින් අද වන විට සොයා ගනු ලබන ප්‍රාග් මානව පොසිල සියල්ලක්ම එකම තොරතුර සන්නිවේදනය කරයි. එනිසා ඔවුන් වර්ණ සහ එයින් නිරූපණය කරන භාව පිළිබඳ දරා ඇති සමාන සිතුවිල්ල පිළිබඳ පමණක් අපට පුදුම විය නොහැක. අවිධිමත් සායම් තැවරීම් විධිමත් වර්ණ ගැන්වීමක් බවට පත්වන්නට ශත වර්ෂ ගණනාවක් ගත වන්නට ඇත. එය වෙස් මුහුණක් ලෙස නිර්මාණය වන්නට ද තවත් ශත වර්ෂාධික කාලයක් ගත වන්නට ඇත.

වර්තමානයේ අප පහතරට නැටුම් සම්ප්‍රදාය හරහා දැක ගන්නා අපූරු වර්ණ සහිත භාව වෙස් මූණුවල ඉතිහාස කතාව ද එයම විය යුතුය. ලංකාවේ වැඩවසම් ගම වනාහි ඉතා ම දියුණු අධ්‍යාත්ම සංස්කෘතියකට උරුමකම් කියන ජන සමූහයක නිජ භූමියකි. අපේ ගම්මානවල අධ්‍යාත්මය නිර්මාණය වූවේ බුදු දහමේ විධි න්‍යායන්ට එකඟවය. එහෙයින් වෙනත් ‘වැඩවසම්’ සමාජයන්ට වඩා අපේ ගැමි සමාජය අධ්‍යාත්ම වෙනස්කම් භජනය කළේය. වී. අයි. ලෙනින් පවා අග්නිදිග ආසියාතික රටවල් ‘ආසියාතික නිෂ්පාදන රටාව’ කියා වෙන් කර පැහැදිලි කර ඇත්තේ ඒ රටවල බෞද්ධ චින්තනයෙන් යුතුව ස්වකීය සමාජ සම්බන්ධතා ගොඩ නගාගෙන තිබූ නිසාය.

පහතරට වෙස් මුහුණක ඇති අධ්‍යාත්ම ප්‍රකාශනය ප්‍රධාන විග්‍රහධාර තුනක් යටතේ පැහැදිලි කළ හැක.

1. ගෝත්‍රික සදාචාරය

2. බෞද්ධ අධ්‍යාත්මික මුහුණුවර

3. ශිල්ප ශ්‍රේණිගත විශේෂ ප්‍රාගුණ්‍යය

උසස් පෙළ ශිෂ්‍යයකුට මේ පැහැදිලි කිරීම් මග තරමක් සංකීර්ණ යැයි කෙනකු සිතිය හැක. එනිසා අප හැකිතාක් සරලව අපේ භාව විග්‍රහයට එළඹිය යුතුය. කෝලම් මූණක, රාක්ෂ මූණක, පාලි මූණක සහ සන්නි මූණක ඇති භාව සුන්දරත්වය අත් විඳින්නට නම් අප මේ මග අනුගමනය කළ යුතුම වන්නේ යැයි මම විශ්වාස කරමි.

එහෙයින් එන්න,

වෙස් මූණක භාව රස විඳින්නට මේ අපූරු උස් බිමයි

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව