රළ පැදීම ආත්මය කර ගත් බෙතනි SOUL SURFER

සිනමා කෘතින් සදහා පාදක වූ සත්‍ය කතා පිළිබඳ විවරණය කෙරෙන ලිපි මාලාව - 44

ඇය තනි අතින් රළ පැද්දේ අන්‍යයන්ගේ යහපත වෙනුවෙනි

SOUL SURFER යන යෙදුම 1960 දශකයේදී භාවිත වූයේ තරග සඳහා නොව තෘප්තිය පිණිස රළ පදින්නන් හඳුන්වන්නටය. ඔවුන් සමහර අවස්ථාවල තරග සඳහා සහභාගි වූවත් ජයග්‍රහණය ඔවුන්ගේ අරමුණ වූයේ නැත.

බෙතනි වමත නැතිව දිය පැදීමේ යෙදෙද්දී

බෙතනි හැමිල්ටන් විසූයේ හවායි හිය. දහතුන් හැවිරිදි ඇගේ පියා ටොම්, මව චෙරී දෙසොහොයුරෝ වූ නෝහ් හා ටිමී මෙන්ම ඇයගේ හොඳම මිතුරිය වූ අලානා බ්ලැන්චාර්ඩ් ද රළ මත පාවීමේ නැතහොත් රළ පැදීමේ ක්‍රීඩාවේ යෙදුණ අය වූහ. ඔවුන් ද එයින් තෘප්තියක් ලැබුවා මිස තරග වැදී ජයග්‍රහණය කිරීම ඔවුන්ගේ අරමුණ වූයේ නැත.

2003 වසරේ එක් දිනෙක බෙතනි සහ අලානා තවත් මිතුරු මිතුරියන්පිරිසක් සමඟ සයුරට බැස ගත්තේ රළ පදිනු පිණිසය. ඒ සඳහා උපයෝගි කර ගන්නා ලෑල්ල මත වැතිර දෑත් සයුරට දමාගෙන බෙතනි මහත් සැහැල්ලුවෙන් රළ මත පාවෙමින් මහත් තෘප්තියක් ලබමින් සිටියාය.

යොවුන් වියේ පසු වූ තමාට දෛවය එතරම් අකාරුණික ආකාරයට සලකනු ඇතැයි බෙතනි සිහිනෙන් හෝ නොසිතන්නට ඇත. සයුරේ කොතැනකින් හෝ මතු වූ මෝරෙක් බෙතනි සිටින දිසාවට පිහිනා එනු ඇය හෝ ඇගේ මිතුරු මිතුරියන් දුටුවේ නැත.

මුව අයා ගත් මෝරා ඊළඟ මොහොතේ මුව වැසුවේ ඇගේ උරහිස ළඟින්ම වම් අත ඩැහැගෙනය. ඇය විලාප දුන්නාය. ඊළඟ මොහොතේ සිහිසුන්ව ප්ලාස්ටික් ලෑල්ල මත වැතිර ගත්තාය. ඇගේ මිතුරු මිතුරියෝ එක්ව වහා ඇය සයුරෙන් ගොඩට ගෙන ගිලන් රථයක් ගෙන්වා ඇය රෝහලට ගෙන ගියහ.

බෙතනිට වම් අත අහිමිව තිබූ අතර ඇගේ ශරීරයේ වූ රුධිර ප්‍රමාණයෙන් 60% ක්ම පිටතට ගලා ගොස් තිබිණි. වහාම ශල්‍යාගාරයට බෙතනි ඇතුළු කර ගත් වෛද්‍යවරු ඇයට ප්‍රතිකාර කළහ. එහෙත් වෛද්‍යවරුන් ඇගේ මවුපියන්ට හා මිතුරු මිතුරියන්ට පැවසුවේ ඇගේ ජීවිතය බේරුණොත් එය ආශ්චර්යයක් බවය.

‘පමණට වඩා රුධිරය වහනය වෙලා. අපි රුධිරය ලබා දුන්නා තමයි. ඒත් ඇගේ ජීවිතය බේරුණොත් ඒක ආශ්චර්යයක්. මෙලොව අපට කළ හැකි උපරිමය අප කර හමාරයි. දැන් අපි ඇගේ ජීවිතය බාර කර තියෙන්නේ දෙවියන් වහන්සේටයි.’

ඇයට ප්‍රතිකාර කළ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී වෛද්‍ය රොවෙන්ස්කි බෙතනිගේ මවට පැවසුවේය.

එය හඬා වැළපෙන්නට අවස්ථාව නොවේ. බෙතනිගේ මව පියා හා දෙසොහොයුරෝ ද, මිතුරු මිතුරියෝ ද එක්ව දෙවියන්ට යාඥා කළහ. ඇගේ සුවය පතා දේව මෙහෙයන් පැවැත් වූහ.

1990 පෙබරවාරි 8 දා උපන් බෙතනි ප්‍රදේශයේ කාගෙත් සිත් දිනා ගත් දැරිවියක වූවාය. බී-හැම්, බෙත් හා බෙතී යන සුරතල් නාමයන් බොහෝ අය ඇය වෙනුවෙන් භාවිත කළහ. ඇගේ සුවය පතා පැවැත්වුණ දේව මෙහෙයන්ට ප්‍රදේශයේ වැඩි දෙනා සහභාගි වූහ. ඒ අය මුළු හදවතින්ම බෙතනිට සුවය පැතූහ.

ආශ්චර්යය සිදු වූයේය. දින ගණනාවකට පසු වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ බෙතනිගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු තබා ගන්නට පුළුවන් කියාය.

සුවය ලැබූ බෙතනි යළි මිතුරු මිතුරියන් අතරට පැමිණියාය. ඔවුන් සමඟ යළි මුහුදු වෙරළට ගියාය. හවායි මුහුදු වෙරළේ කහ පැහැය, සයුරේ නිල් පැහැය ඇගේ සිතට දැන වූයේ ඉමහත් සුවයකි. මිතුරු මිතුරියන් පෙර පරිදිම රළ මත පාවී සතුටු වෙද්දී ආබාධිත එකියක මෙන් වෙරළට වී සිටින්නට බෙතනි අකමැති වූවාය.

ඇය සර්ෆිං ලෑල්ල මත නැඟී යළි දියඹට ගියාය. වම් අත රහිතව ලෑල්ල මත සමතුලිතභාවය රඳවා ගනිමින් රළ පැදීම ඇයට අසීරු විය. එහෙත් මිතුරු මිතුරියන්ගේ උපකාර ඇතිව ඇය තනි අතින් සමතුලිතභාවය රැක ගනිමින් රළ පැදීම ඉක්මනින් උගත්තාය.

සයුරේ තවත් කුරිරු මෝරුන් සිටිය හැකි යැයි කිසිවකු ඇයට පවසන්නට ඇත. එහෙත් ඇය මෝරුන් ගැන නොසිතුවාය.

තනි අතින් සයුරේ රළ මත සමතුලිතභාවය රැක ගෙන රළ පදින යුවතිය ගැන මාධ්‍යවලට ආරංචි විය. ඔවුහු ඇය සොයා ආහ. ඇගේ ධෛර්යය ගැන පුවත්පත්වලින් කියැවෙන විට රූපවාහිනී සේවා සම්මුඛ සාකච්ඡා සහ විවිධ වැඩ සටහන් සඳහා ඇය කැඳවීය.

2004 වසරේ සුනාමියෙන් ආසියාවේ රටවල් කිහිපයකම වෙරළ තීර විනාශ වී යන අයුරු බෙතනි රූපවාහිනී තිරයෙන් බලා සිටියාය.

සුනාමියෙන් විපතට පත් තායිලන්ත ජනතාවට සරණ වන්නට ඇය තීරණය කළාය.

ඒ සමඟම විවිධ අරමුදල් රැස් කිරීම් පිණිස පැවැත්වුණ රළ පැදීමේ තරගවලට සහභාගි වීමද ඇය ඇරඹුවාය. එම තරගවල ජය ඇගේ අරමුණ නොවීය. තායිලන්තයේ ඇගේ සහභාගිත්වය සහිතව පැවැති රළ පැදීමේ තරගයට ඉතා විශිෂ්ට ප්‍රතිචාර ලැබිණි.

සුනාමියෙන් විපතට පත් වූවන් සඳහා වූ අරමුදලට ද විශිෂ්ට ප්‍රතිචාර ලැබිණි. එතැන් පටන් බෙතනි හැමිල්ටන් රළ පැදීම කළේ තම තෘප්තියත් අන්‍යයන්ගේ යහපතත් වෙනුවෙනි.

බෙතනිගේ එම දිරිය කතාව අළලා ෂෝන් මැක්නමාරා නිර්මාණය කළ SOUL SURFER 2011 අප්‍රේල් 8 දා සිට ලොව පුරා තිරගත විය.

ඇනා සොෆියා රොබ් බෙතනි ලෙස රඟපෑ එයට ඩෙනිස් ක්වාඩ්, හෙලන් හන්ට්, ගැරී අන්ඩර් වුඩ්, රොස් තෝමස් වැනි නළු නිළියෝ ද රංගන දායකත්වය ලබා දුන්හ.

ඩොලර් ලක්ෂ 106 ක වියදමින් තැනූ එම චිත්‍රපටය මුල් මාසය ඇතුළත ඉපැයූ ආදායම ඩොලර් ලක්ෂ 443 ක් වූයේය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව