හොර නෝට්ටු මත් කුඩු දුෂ්ටයා වීරයා සමඟ වට්ටෝරු කොන්ට්‍රබෑන්ඩ්

වීරයා, වීරයාගේ ආදර්ශමත් පවුල, වීරයාගේ සුරූපී බිරිඳ / පෙම්වතිය, ඔවුන්ට අඩන්තේට්ටම් කිරීමට ඉදිරිපත් වන දුෂ්ඨයා, එම දුෂ්ඨයාගේ සගයින්.

මෙය හොලිවුඩ් වට්ටෝරු සිනමාවට හුරු ඔබට මෙන්ම මට ද නරඹා ඉතා හුරුපුරුදු කතා සාරංශයක්. ඇත්තටම කියනවා නම් මට නම් එය දැන් ඇති වෙලයි තියෙන්නේ.

චිත්‍රපටයේ කතාව වන්නේ පැනමා නගරයේ සිට ඇමරිකාවේ නිව් ඔර්ලියන්ස් නගරයට ඇමරිකානු ඩොලර් 100 හොර නෝට්ටු තොගයක් හොරෙන් ප්‍රවාහනය කරීමට ක්‍රිස් ෆැරඩේ (මාක් වෝල්බර්ග්) චිත්‍රපටයේ වීරයාට සිදුවීමයි.

ඔහු මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට අකමැත්තක් දක්වන නමුදු අහෝ! කිලෝ ගණනක කොකේන් තොගයක් ඒ නෝට්ටු තොගය සමඟ මිශ්‍ර වෙනවා.

කොන්ට්‍රබෑන්ඩ් අයිස්ලන්ත චිත්‍රපටයක් වූ REYKJAVIK- ROTTERDAM පාදක කරගෙන නිමවුණු හොලිවුඩ් චිත්‍රපටයක්.

එහි ප්‍රධාන චරිතය රඟපෑ BALTASAR KORMAKUR තමා මෙම හොලිවුඩ් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙත්. සමහර සිනමා තරු තමන්ට අවස්ථාවක් ලැබුණහොත් තමාටම (නරක) චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට හැකි යැයි ඇතිවන සිතුවිල්ල මල්පල ගැන්වුණු එක් ශෝචනීය අවස්ථාවක් තමයි මෙම චිත්‍රපටය.

වීරයා ක්‍රිස් පළපුරුදු හොර බඩු ප්‍රවාහකයෙක්.

ඔහු අපරාධ ජීවිතයෙන් ඈත් වී දර්ශනීය පවුල් ජීවිතයක් ගත කරමින් සතුටුදායක ලෙස දිවි ගෙවන්නේ කුරා කුහුඹුවෙකුටවත් කරදරයක් නොකර.

ඔහුගේ සුරූපී බිරිඳ කේට් (කේට් බෙකිංසේල්) ගේ සහෝදරයා කොකේන් ඩිලිවරි එකක් වරද්දාගෙන අලි අමාරුවක වැටී සිටිනවා.

ඔහුගේ පිහිටට එන්නට සිදු වන්නේ වීරයාටයි.

ඔහු ඒ වෙනුවෙන් හොර නෝට්ටු ප්‍රවාහනය කර දුන්නොත් බිරිඳගේ සහෝදරයාට සමාවක් දීමට දුෂ්ඨයා එකඟ වෙනවා. වීරයා තමාගේ පරණ යාළුවෙකු වූ සෙබස්තියන් (බෙන් ෆොස්ටර්) තම පවුලේ ආරක්ෂාවට තබා පිටත්ව යන්නේ මෙම අන්තරාදායක මෙහෙයුම ක්‍රියාත්මක කිරීමටයි.

කණගාටුවට කරුණක් වන්නේ හොඳ ප්‍රතිභාපූර්ණ නළු නිළියන් කිහිප දෙනෙකුටත් මෙවැනි චිත්‍රපටවලට දායක වන්නට සිදුවීමයි. (තමන්ගේ තරු ජීවිතය පවත්වා ගැනීමට මූල්‍යමය පහසුකම් සලසා ගැනීම සඳහා මෙවැනි නිර්මාණවලටත් දායක වීම ඔවුන්ට අනිවාර්ය වීම නොවැලැක් විය හැකි කරුණක් විය හැකියි).

ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන කොන්ට්‍රබෑන්ඩ් බලා සිටීමට කම්මැලි නැති චිත්‍රපටයක් වුණත් එහි අලුතින් (මෙතෙක් චිත්‍රපට ගණනක නොදුටු) යමක් නරඹන්නට උනන්දු වන ප්‍රේක්ෂකයින්ට නම් බලාපොරොත්තු සුන් කර ගැනීම වළක්වන්නට බැහැ.

පැනමා නගරයේදී හොර නෝට්ටු නැවකට පටවා ගන්නා වීරයාට නිව් ඕර්ලියන්ස් නගරයට නිරුපද්‍රිතව එම නෝට්ටු ගෙන ආ හැකි ද? දුෂ්ඨයා තමාගේ වචනයට පිටුපාවිද?

පැය දෙකක් පුරාවට චිත්‍රපටය දිගු විය යුතු බැවින් මෙම කතාවට තවත් අලුතින් අවදානම් අවස්ථා ගොන්නක් එකතු වේවිද? මේ සියල්ල නරඹා දැනගැනීමට (මෙම චිත්‍රපටය නරඹා රස විඳීමට ඇත්තටම උනන්දු වන සිනමා රසිකයින්ට) ඔබට අගනුවර සිනමා ශාලා දෙකකදීම අවස්ථාව දැන් ලැබී තිබෙනවා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව