සරසවිය මතු කළ කවිකාරයා වියට්නාමයට

 සෙ ල්ලමට හිත ඇදෙන වයසේ සිටි මහින්ද දවසේ වැඩි හරියක්ම ගත කළේ වෙල්එළි බඩවැටිවල. සිහිල් සුළං රැල්ලේ පහස විඳිමින් මස්ඉඹුල ගමේ දුව පැන ඇවිද්ද මහින්ද පරිසරයට පෙම් බඳිමින් ජීවිත පාඩම ඉගෙන ගත්තේ අම්මාගෙන්. සිනමාවට ළැදි මහින්ද ගේ පියා සැම බ්‍රහස්පතින්දා ම කඩමණ්ඩියට යන්නේ පුවත්පතක් ගෙන එන්නට.

ඉතින් ඊට පස්සෙ මොකද වුණේ?

ඒ කතාව අපි මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගෙන්ම දැනගමු. මස්ඉඹුල ගමේ උපන් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල අද රටම දන්නා කවියෙක්.

මම පොඩි කාලේ අපේ තාත්තා හැම සතියකම සරසවිය පත්තරේ ගේනවා. ඉතින් තාත්තා ගේන පත්තරේ තාත්තා ගෙදර නැති වෙලාවට මම කියවනවා.

ගමේ හිටපු මම සිනමා ලෝකය දැක්කේ සරසවිය පත්තරෙන්. කාලයත් සමඟ මම දිනෙන් දින සිනමාවට ආදරය කරන්න පටන් අරගෙන, මටත් සිනමාවට එන්න අවශ්‍ය වුණා. කොළඹයි කලාවයි දෙකම මට දුරයි.

නමුත් කිසිම විටෙක මගේ උත්සාහය අත්හැරියේ නෑ. කලාව මට දුරයි කිව්වෙ මට ඒ කාලේ දැනුන විදිහ අනුව. දැන් නම් මට හිතෙනවා ඒ කාලේ මට කොළඹ දුර වුණාට කලාව නම් මං ළඟමයි තිබිලා තියෙන්නේ කියලා.

කුඩා කල සරසවිය ඔස්්සේ සිනමාව සොයා ගෙන යන කාලෙදිමයි මම කවි ලිව්වේ. මගේ කවි පුවත්පත්වලත් පළ වුණා.

අද සම්මානනීය කවියෙක් වන ඔබ කොළඹ එද්දී කවදා හරි කවියෙක් වේවි කියලා හිතුවාද?

මම කොළඹට එන්නෙ සිනමාවට පිවිසෙන්නට තිබුණු ආසාව නිසාමයි. කලා ක්ෂේත්‍රය තුළ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ගමන ඇරැඹූ මම අද සහය අධ්‍යක්ෂවරයෙක්.

සුදත් රෝහණගේ ගිරි කුළ ටෙලි නිර්මාණයේ සහය අධ්‍යක්ෂක ලෙසත් කටයුතු කරනවා. ඊට අමතරව තිර පිටපත් ලියනවා. මේ හැමදේම අතරේ මට කවදාවත්ම ‘කවිය’ අමතක වෙන්නේ නෑ.

තම ප්‍රථම කාව්‍ය කෘතිය වූ හිරුත් හිම පියල්ලක කෘතියෙන් ඔහු අප සමඟ බෙදා හදා ගත්තේ හිතේ උපන් හැගුමන්. 2011 වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ලෙස ‘හිරුත් හිම පියල්ලක’ රාජ්‍ය සම්මානයට පාත්‍ර වුණත් ‘හිරුත් හිම පියල්ලක’ ආ මග දුෂ්කරයි.

මම මගේ කවිත් අරගෙන ප්‍රසිද්ධ ආයතන දෙක තුනකටම ගියා. ඒත් ඒ අයගෙන් මට ලැබුණේ සෘණාත්මක පිළිතුරුම විතරයි. කවි පොත් විකිණෙන්නේ නෑ කියලා කිව්වා.

එක ආයතනයක් නම් කිව්වා මුලින් පොත් 200 – 300 ක් වගේ කරලා බලමු කියලා. නමුත් අවසානයේදී මම තීරණය කළා කවි රස විඳින පාඨකයින්ට ‘හිරුත් හිම පියල්ලක’ කර්තෘ ප්‍රකාශනයක් ලෙසින්ම තිළිණ කරන්න.

2011 වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය

කවියක් රස විඳින්න ඕනෑම අයෙකුට හැකිද?

මෙහෙමයි, මට හිතෙන විදිහට නම් කවියක් රස විඳින්න නම් ඒ සඳහා පුහුණු කළ රසිකත්වයක් අවශ්‍යයි.

හොඳ රසික පරම්පරාවක් බිහි වෙන්න උසස් රස වින්දනයක් ලද හැකි කාව්‍ය නිර්මාණයන් බිහි විය යුතුයි නේද?

ඇත්තෙන්ම ඔව්. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පරපුරෙන් පසුව කවියේ යම් පසුබෑමක් ඇති වුණා. නමුත් දැන් නැවතත් කවියේ යම් පිබිදීමක් තියෙනවා.

කොළපත් රිය, කෙසෙල් කොට ඔරු, උණ බට තුවක්කු, පොල්පිති හරක් සමඟ යාළු වූ ජීවිතයේ ළපටි තැනිතලාවෙන් මිදී නොයක බර කර තබාගෙන යෞවනේ ගිරි ශිඛර තරණය කරන්නට සදුටු තැන්වලදී හමු වූ ළා තණපත්, උඳුපියලිය පලස් සේම, ගල් මුල්, එරමිණියා, කබොරොස්සා, වේ , කහඹිලියා ගල් අතර ද කවි මඟට යන නාම පුවරු සවි කර තිබෙනු දුටුවෙමි.

එසේ දුටු වස්තු විෂයන් ඇසුරින් බිහිවුණු ‘හිරුත් හිම පියල්ලක’ සමඟ ප්‍රසාද් මෙවර වියට්නාමයේ පැවැත්වෙන ප්‍රථම ‘ආසියා පැසිපික් කවි සමුළුව’ නියෝජනය කරන්න සූදානම්. ලොව පුරා වෙසෙන විශිෂ්ට කවීන් 80 වකගේ සහභාගිත්වයෙන් 2012 පෙබරවාරි මස පළමු වැනිදා සිට දින හතක් පුරා පැවැත්වෙන මෙම සමුළුව නියෝජනය කරන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සනිටුහන් කරන්නේ දීප්තිමත් කවි පරපුරක ඇරැඹුමයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව