FEEDBACK

මහගමසේකර කිවිඳුනි,

කව් ලොව
පහන් ටැඹ ඔබ
කවි රසය කිමදැයි
කියා දුන් කවිමිණ
දිවියම කවියක්ම යැයි
පසක් කළ කවි හද
පර වුණත් කවිවල
සුවඳ කිසිදා
මැකිය හැකි වෙද

කපිල ජයවිලාල් හේරත් - කුලියාපිටිය.


සරසවිය අලුත්

අලුත් නොවන දෙයෙහි දියුණුවක් නැත. සරසවිය පුවත්පත මෙය සනාථ කළේය. අවුරුද්දෙන් අවුරුද්දට, කර්තෘගෙන් කර්තෘට, සංවත්සරයෙන් සංවත්සරයට සරසවිය අලුත් වෙයි. කාලීනවත්, යුගයට ගැළපෙන නවමු විශේෂාංගයන් රැගත් සරසවියේ දියුණුවේත්, පැවැත්මේත් රහස එයයි. දැන් සරසවිය කොතරම් අපූරුද? 2012 ට 49 වැනි සංවත්සරයට කලඑළි බසින අප සරසවියට මම හද පිරි සොම්නසින් සුබපැතුම් පතමි.

මොරටුව, කටුබැද්දේ - ඩඩ්ලි ගෝමස්


කුස පබා අලුත් පිටුවක්

කුස පබා චිත්‍රපටය ලාංකේය සිනමා ඉතිහාසයේ නව පිටුවක් පෙරලන්නකි. සැවින්ම විශිෂ්ටයි. විශේෂයෙන් පූජාගේ සහ ජැක්සන්ගේ රංගනයන් ඉතාම සංවේදීයි. මෙවන් කලා නිර්මාණ තව තවත් බිහිවීමටත්, සාර්ථකව වැඩිම පිරිසක් නැරැඹූ චිත්‍රපටයටත්, වසරේ හොඳම චිත්‍රපටය වීමටත් කුස පබා හට හැකි වේවා.

සංජු - ගම්පහ.


විමෝද සමය රැක ගත්තාට තුති

ජාතික රූපවාහිනිය තුළින් සෑම ඉරිදාවකම පස්වරු 6.45 ට නැවත විකාශය වන ඇනෙස්ලි, බර්ටි, සැමුවෙල් මීට වසර ගණනකට පෙර ඉදිරිපත් කළ ‘විනෝද සමය’ අප නරඹන්නේ ඉතාම ආශාවෙනි. අද චිත්‍රපට හා ටෙලි නාට්‍ය තුළත් ඇත්තේ බාල වර්ගයේ හාස්‍යය උපදවන කතාවන්ය. විශේෂයෙන්ම ඔවුන්ගේ විනෝද සමය නරඹා නැති ප්‍රේක්ෂකයන්ට ද මෙය නරඹා මහත් වින්දනයක් ලබාගත හැක. එම වැඩසටහන එදා සිට මේ දක්වා ආරක්ෂා කළ නිලධාරින්ට මාගේ ප්‍රණාමය.

අජිත් ලක්මාල් - මීගමුව.


දිගු ගමනකට ආසිරි

කිංස්ලි රත්නායක ප්‍රමුඛ කිරුළ එෆ්. එම්. කාර්ය මණ්ඩලයට දිගු ගමනකට ආසිරි. කිංස්ලි රත්නායක නම් ප්‍රිය නිවේදකයාණෙනි, ඔබ අප රටට වාසනාවක්.

මනෝජ් වින්දන

පන්නිපිටිය.


හැට, හැත්තෑවේ චිත්‍රපට ඕනෑ

සිංහල සිනමාව සම්බන්ධයෙන් පෘථුල දැනුමක් යොවුන් පරපුරේ බොහෝ දෙනෙකුට නැත. මේ නිසා ඔවුන් සිනමාව කෙරේ ආකර්ෂණීය වීමේ ප්‍රවණතාවය අඩුය. 60, 70 දශක තුළ මෙරට බිහි වූ විශිෂ්ට ගනයේ සිනමා නිර්මාණ නැරැඹීමේ වාසනාව තරුණ පරම්පරාවේ බොහෝ දෙනෙකුට ලැබී නැත. මේ නිසා දිවයිනේ පිහිටි සියලුම නගරවල සිනමා ශාලාවල සතියක කාලයක් වෙන් කොට නිධානය, පරසතු මල්, ගම්පෙරළිය, විරාගය, තුංමං හන්දිය වැනි චිත්‍රපට යොවුන් පරපුරට නැරැඹීමට අවස්ථාව ලබාදීම තුළින් ප්‍රේක්ෂක දැනුම වර්ධනයට මෙන්ම සිනමා කර්මාන්තයේ දියුණුවට ද මහගු ඵල ලබාගත හැකි බව මගේ අදහසයි.

මාතලේ - ධර්මා ඒකනායක


මාතා සාක්ෂියක්

මවුබිම හිමිකම් පතා තේමාව පසුබිම් කර ගනිමින් වානිජ සිනමා රැල්ල අතරට එක් වූ ‘මාතා’ අති විශිෂ්ට සිනමා නිර්මාණයකි. එය සාර්ථක වන්නේ කැපවීම කම්කටොළු විඳ දරා ගනිමින් ඉදිරියට පියවර තැබූ ඔහුටයි. එය විශ්වනාත් බුද්ධික කීර්තිසේන මාතා චිත්‍රපටය තුළින් මනා සාක්ෂියක් ලෙස පෙන්වා ඇති බැවින් අපි සැම නිරතුරු ඔබගේ නිර්මාණ පසුපස ප්‍රේක්ෂකයන් ලෙස සිටින්නෙමු.

හැඳල, අල්විස් ටවුම පාරේ - පාලක සමන් පෙරේරා


සඳ රඟමඬල වාසනාවකි

ජාතික රූපවාහිනිය සිකුරාදා දිනවල ප්‍රචාරය කරන ‘සඳ රඟමඬල’ සංගීතමය වැඩසටහන ඉතා රසවත්. එවැනි වැඩසටහන් සතියකට වරක්වත් දැකගන්න, රස විඳින්න ලැබීමත් සතුටකි.

කඩවත - සුජාතා ගුණවර්ධන


ඇඩ් මැද අමා

සතියේ දිනවල රාත්‍රී 7.30 ට පවුලේ නාලිකාවහි (අයි. ටී. එන්) විකාශය වන ‘අමා’ පැය භාගයෙන් වැඩි කාලයක් බලන්න තියෙන්නේ වෙළෙඳ දැන්වීම්නේ.

එල්. ආර්. එස්. පෙරේරා ඇල්පිටිය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව