ධනුෂ් බොලිවුඩයට

‘කොලවරි දි’ තාරුණ්‍යයේ හද රැඳි රිද්මය බවට පත් වෙද්දී එහි හිමිකරු, ධනුෂ්ටත් ලබා ඇත්තේ හොඳ කල දසාවකි.

බොලිවුඩයේ තරුවක් වීමට සිහින මැවූ ඔහුට දැන් ඒ අවස්ථාව ලැබී තිබේ. ආනන්ද් එල්. රායි ඔහුට එම අවස්ථාව උදා කළ අධ්‍යක්ෂවරයායි. ‘තනු වෙඩ්ස් මනු’ අධ්‍යක්ෂවරයාත් ඔහුයි.

‘මෙවැනි සිනමාපටයකින්ම මගේ බොලිවුඩ් රංගනය ඇරැඹීම සතුටක්. සාමාන්‍ය සිනමාපටවලට වඩා ආනන්ද්ගේ තිර පිටපත වෙනස්. ඔහු වෙනස් තාලයේ නිර්මාණ කරන කෙනෙක්.’ ආරංචිය ලැබීම සමඟ ධනුෂ් පැවසුවේ ඉහවහා ගිය සතුටිනි.

විසි අට හැවිරිදි ධනුෂ්ට ජාතික සිනමා සම්මානය පිරිනැමුණේ ‘ආඩුකලම්’ හි රංගනයටයි. මේ දකුණු ඉන්දීය තරුවේ නම දොරින් දොර රැන්දුවේ ‘මූන්ඩ්රු - 3’ සිනමාපටයට ගැයූ ‘කොලවරි දි’ ගීතයයි.

රජිනිකාන්ත්ගේ බෑණා වූ ධනුෂ් මේ දිනවල වැඩි කාලයක් ගත කරන්නේ හින්දි බස හැදෑරීමටයි.


දශක දෙකකට පසු අමිතාබ් - රිෂී යළි හමුවෙති

අමිතාබ් බච්චන්, ශෂි කපූර් තරු යුවළගේ රංගනය මෙන්ම අමිතාබ් – රිෂි රංගනයන් ද අමතක කළ නොහැකි අපූරු තරු සංකලනයකි.

ශෂි – බච්චන් යුවළ අපට අවසන් වරට දකින්නට ලැබුණේ මීට විසි එක් වසරකට පෙර තිරගත වූ ‘අජුබා’ සිනමාපටයෙනි. වසර 21 ට පසු යළිත් මේ දෙදෙනා තිරයෙන් මුණ ගස්වන්න සූදානමින් සිටින්නේ සූධීර් මිශ්‍රායි.

ඔහුගේ ‘මෙහ්රුනිසා’ සිනමාපටයෙන් නුදුරු අනාගතයේදීම අප හමුවට එනු ඇත.

ඒ එකම මලකට පෙම් බඳීන වියපත් තනිකඩයන් දෙදෙනකුගේ චරිතයෙනි. පෙම්වතිය හිමි වන්නේ කාටදැයි කියා තවම තිර රචකයා තීරණය කර නැත.

අධ්‍යක්ෂවරයා මේ දෙදෙනාගේ මුහුණුවරට සමාන මුහුණු ඇති තරුණ නළුවන් සොයමින් ගම්දනව් පීරන බවට ආරංචි ලැබී තිබේ.

‘අමර් අක්බර් ඇන්තනී’, ‘කබී කබී’, ‘හසීබ්’, ‘කුලී’ මීට පෙර අමිතාබ් – රිෂි නළු යුග්මය තිරයේ වීරයන් කළ සිනමා පටය.


ප්‍රතීක් ඇමීට උමතු වෙලා

‘ඒක් දීවානා තා’ හි සරල අරුත ‘එක පිස්සු කොල්ලෙක්’ යන්නයි. සැබැවින්ම ‘ඒක් දීවානා තා’ රඟන තරුණයාත් මේ දිනවල පසුවන්නේ උන්මාදයෙනි. ඔහු උමතු වී සිටින්නේ සිනමාපටයේ ප්‍රධාන තාරකාව, ඇමී ජැක්සන්ටයි.

සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට ඇත්තේ 2012 පෙබරවාරි 12 වැනිදායි. එහෙත් සිනමාපටයට වඩා වැඩි දෙනෙක් කතා කරන්නේ ඇමී සහ ප්‍රතීක් බාබර් ගැනයි.

ඇමී බ්‍රිතාන්‍ය මෝස්තර නිරූපිකාවකි. 2008 නව යෞවනියන්ගේ ලෝ රූ රැජන තරගයේ ජයග්‍රාහිකාව වූයේ ඇයයි.

මුලින්ම දමිළ සිනමාවට සම්බන්ධ වූ එමීගේ කුලුඳුල් බොලිවුඩ රංගනය ඇතුළත් වන්නේ ‘ඒක් දීවානා තා’ සිනමාපටයටයි.

ප්‍රතීක් බාබර් විශිෂ්ට නිළියක වු ස්මිතා පටෙල්ගේ සහ රාජ් බාබර්ගේ එකම පුතුයි.

සිනමාපටය රූගත කිරීමේදී විසි හැවිරිදි ඇමී පිළිබඳ සිතක් විසි පස් හැවිරිදි ප්‍රතීක්ට ඇති වී තිබෙන පාටය.

ඇය කියන ඕනෑම දෙයක් කිරීමට තරම් ප්‍රතීක්ගේ සිත දැන් ප්‍රේමාන්විතය. සිනමාපටය ප්‍රවර්ධනය කිරීමට අශ්ව රථයෙන් යාමට මුලදී තීරණය වී තිබුණත් ඇමී ඊට අකැමැති වීම නිසා ප්‍රතීක් ද තීරණය වෙනස් කරගෙන තිබේ.

ඇමී සතුන්ට ඉතා ආදරය කරන්නියකි. එනිසා අශ්ව රථයෙන් යාමට ඇය එකඟ නොවුණාය. ඒ වෙනුවට ප්‍රතීක් සහ ඇමී ආදරණීය බෝට්ටු සවාරියක ගොස් ඇත්තේ සිත්වල ඇති ආදරය ලෙවට රහසක් නොකරයි.


සැබෑ මිස්ට ඉන්ඩියා අමිතාබ්ලු

රහසක් පැරැණි වන තරමට එහි වටිනාකම වැඩිය. මිස්ටර් ඉන්ඩියා තිරගත වූයේ 1987 දීයි. එනම් මීට වසර තිස් පහකට පෙරදීය.

මෙතෙක් කවුරුත් සිතා සිටියේ ‘මිස්ටර් ඉන්ඩියා’ චරිතය අනිල් කපූර් වෙනුවෙන් ලිය වුණක් කියායි. එහෙත් ශේකර් කපූර්ට සැබැවින්ම ‘මිස්ටර් ඉන්ඩියා’ කිරීමට ඕනෑ වී තිබුණේ අමිතාබ් බච්චන්වයි.

බච්චන් ඒ චරිතය ප්‍රතික්ෂේප කිරීම නිසා අනිල් කපූර්ට ඒ වාසනාව උදා වී ඇත. අවසානයේදී එම සිනමාපටය පරණ පිනක් හිසේ කඩා වැටීමක් වැනි විය.

‘මිස්ටර් ඉන්ඩියා’ දැවැන්ත ආදායමක් ඉපයූ සිනමාපටයකි. අමිතාබ් බච්චන් අදිසි චරිත රඟන්නට තිබූ අකැමැත්ත අනිල්ට වාසනාව ගෙන ආවේය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව