සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටය නිධානයට 40 යි

ගාමිණී - මාලිනී අග්‍රගණ්‍ය රංගනවේදය

මුලින්ම තිරගත වූයේ 1972 පෙබරවාරි 03 වැනිදා

සිංහල සිනමාවේ විශිෂ්ටතම චරිතාංග නිරූපණය රැගත් චිත්‍රපටය කුමක්ද? විශිෂ්ටතම තිර රචනය, විශිෂ්ටතම කැමරාකරණය, විශිෂ්ටතම සංස්කරණය, විශිෂ්ටතම සංගීතය, විශිෂ්ටතම කලා අධ්‍යක්ෂණය, විශිෂ්ටතම වේශ නිරූපණය මෙන්ම මේ සියල්ල එක් කළ විට විශිෂ්ටතම අධ්‍යක්ෂණය රැගත් චිත්‍රපටය කුමක් ද? පිළිතුර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘නිධානය’ යන්නයි.

1997 දී සිංහල සිනමාවට අවුරුදු 50 පිරෙද්දී ජාතික චිත්‍රපට සංස්ථාව එදා මෙදාතුර බිහි වූ හොඳම සිංහල චිත්‍රපට 10 තේරුවේය. ඒ සඳහා සිනමා ලේඛකයන්, විචාරකයන් විසි අට දෙනකු ඊට සම්බන්ධ කර ගත්තේය.

‘සරසවිය’ ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්න මෙන්ම මේ මාත් එම තිස් දෙනාට ඇතුළත්ව සිටි බව මෙහිලා කිව යුතුය. එහිදී අප කවුරුත් හොඳම චිත්‍රපටය ලෙස අංක එකට ඒකමතිකව තේරුවේ ‘නිධානය’යි.

මෙහිදී සුවිශේෂ කාරණය වන්නේ එදා ( ‘නිධානය’ තිරගත වූ අවදියේ) ‘නිධානය’ නිර්දය ලෙස විවේචනය කළ පියල් සෝමරත්න වැනි විචාරකයකු පවා මෙදා එය සිංහල සිනමාවේ හොඳම චිත්‍රපටය ලෙස තේරීමය.

1980 දී ජාතික කතෝලික සිනමා පර්ෂය (OCIC) හැත්තෑව දශකයේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස තෝරා ගත්තේ මහගමසේකර ගේ ‘තුංමංහන්දිය’ චිත්‍රපටයයි. මේ තෝරා ගැනීමට එරෙහි වූයේ දෙදෙනකු පමණි.

ඉන් එක් අයෙක් වූ නීල්. අයි. පෙරේරා එම තේරීම සිදු කළ විනිශ්චය මණ්ඩලයේම සාමාජිකත්වය දැරූවකු වීම සුවිශේෂත්වයක් විය.

ඔහු පසුව ‘ඩේලි නිවුස්’ පුවත්පතට ලිපියක් ලියමින් කියා සිටියේ හැත්තෑව දශකයේ විශිෂ්ටතම චිත්‍රපටය ‘නිධානය’ බවය. (1980 මාර්තු 11)

අනිත් තැනැත්තා වූයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හා විද්වත් කලා විචාරකයකු වන බන්දුල පද්මකුමාරය.

ඔහු ‘සිත්සර’ පුවත්පතට ලිපියක් ලියමින් කියා සිටියේ ‘නිධානය’ හැත්තෑව දශකයේ විශිෂ්ටතම චිත්‍රපටය බවය. ඊට ර්‍ණඛ්ධ්ඛ් විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකුව සිටි එච්. ඒ. සෙනෙවිරත්න පිළිතුරු ලිපියක් ද ලිව්වා අපට මතකය.

කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් සාක්ෂාත් වන්නේ නීල්. අයි. පෙරේරාගේත්, බන්දුල පද්මකුමාරගේත් මතවාදය ඉතාම නිවැරදිය යන්නයි.

1994 දී ජාතික රූපවාහිනි සංස්ථාව ලෙස්ටර් - සුමිත්‍රා චිත්‍රපට උළෙලක් සංවිධානය කළහ. ඒ යටතේ ‘නිධානය’ තිරගත කළ දිනයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රූපවාහිනී සාකච්ඡාවක කියා සිටියේ තම චිත්‍රපට අතරින් තමා පෞද්ගලිකව කැමැති චිත්‍රපටය ‘නිධානය’ බවයි.

‘නිධානය’ යනු ජී. බී. සේනානායකගේ එනමින් යුතු කෙටි කතාවකි. ඒ ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අදහස ආචාර්ය පීරිස්ට දෙනු ලැබුවේ ප්‍රකට පුවත්පත් කලාවේදියකු හා විචාරකයකු වූ බෙනඩික්ට් දොඩම්පෙගම විසිනි. ඔහු ඊට ඉහත ‘සංදේශය’ චිත්‍රපටයට සම තිර රචකයකු ලෙස සම්බන්ධව සිටියේය.

‘නිධානය’ කෙටි කතාව චිත්‍රපටයට නැඟීමට තමා සිතා ගත්තේ අපූරු ආකෘතියක් ඇති ඒ කෙටි කතාවේ ගැඹුරු තේමාවත්, එහි ගැබ්ව ඇති පරිසරයත් නිසා බව ආචාර්ය පීරිස් කියා ඇත. (‘සරසවිය 1972 ජනවාරි 14).

කෙටි කතාවේ එන කේන්ද්‍රීය චරිතය වන විලී අබේනායක ආචාර්ය පීරිස් ගේ සිත් පැහැර ගත් බවක් අපට පෙනී යයි. එය මනෝ සංකීර්ණතාවයෙන් පෙළෙන අතිශය ගුඪ චරිතයකි.

‘දෙලොවක් අතරේ’ නිශ්ශංඛ, ‘ගොළු හදවතේ’ සුගත්, ‘අහසින් පොළොවට’ හි දොස්තර සරත්, ‘බැද්දේගමේ’ සිළිඳු කිසියම් ආකාරයක මනෝ සංකීර්ණතාවයන්ගෙන් පෙළෙන චරිත ලෙස අපට හඳුනා ගත නොහැකි ද?

ආචාර්ය පීරිස් තම ප්‍රථම චිත්‍රපටයෙන්ම (රේඛාව) දැනුවත්ව හෝ නොදැනුවත්ව මිථ්‍යාව ප්‍රශ්න කළේය. එහි තවත් වර්ධනීය අවස්ථාවක් ලෙස ‘නිධානය’ හැඳින් විය හැකිය. අයිරින් මරා දැමුවද ඔහුට ‘නිධානය’ නොලැබෙයි. ඇත්තටම නිධානය යනු අයිරින්ම නොවන්නේ ද?

‘නිධානය’ තිර නාටකය ආචාර්ය තිස්ස අබේසේකර ගෙනි. ‘ගම්පෙරළියේ’ අතිරේක දෙබස් රචකයකු ලෙස ආචාර්ය පීරිස්ගේ චිත්‍රපටවලට සම්බන්ධ වූ තිස්ස ඊට පසු ‘දෙලොවක් අතරේ’ දෙබස් රචකයා ලෙසත්, ‘අක්කර පහේ’ තිර රචකයා ලෙසත් කටයුතු කළේය.

‘නිධානය’ පිටු කීපයකින් සමන්විත වූ කෙටි කතාවකි. එවන් කෙටි කතාවකින් පැය එකහමාරක ධාවන කාලයකින් යුතු චිත්‍රපටයකට තිර කතාවක් ලිවීම ඕනෑම තිරකතා රචකයකුට අභියෝගාත්මක ක්‍රියාවකි. තිස්ස ඒ අභියෝගය සාර්ථකව ජය ගත්තෙකි.

චිත්‍රපටයේ ආකෘතිය ලෙස ඔහු භාවිත කළේ මෙහි ප්‍රධාන කතා නායකයා වූ විලී අබේනායකගේ ස්වයං කථනයයි. එය ආරම්භයේ සිට අවසානය තෙක් මුළු චිත්‍රපටය පුරාම විහිදී යයි. කෙටි කතාවේ නොමැති ඇතැම් චරිත හා සිද්ධි ඔහු ෙඖචිත්‍ය පූර්වකව තිර කතාවට එකතු කරගෙන ඇත.

ජුවානිස් නමැති මෙහෙකරුවා, විලීගේ නෑනා වන ඩල්සි, ජුලියස්, දොස්තර වැනි චරිත, විලී මීමැස්මොර රෝගයට ගොදුරු වීම, වලව්වේ කූඩුවක සිටින මොනරා, පිහිය නැති වීම, අයිරින් තනිවම නිවෙස බලා යෑම යන දර්ශන අලුතින් ප්‍රතිනිර්මාණය කරගෙන ඇත.

මොනරා, කුකුළා සහ පිහිය දර්ශන තලයෙන් (රාජගිරිය ඔබේසේකර වලව්ව) උපුටා ගත් බවක් පෙනී යයි. කෙසේ වෙතත් ඒවා චිත්‍රපටයට අපූරු සංකේතාත්මක ගැඹුරක් එක් කරයි.

‘නිධානයේ’ විලී අබේනායක ලෙස ගාමිණී ෆොන්සේකා කරන්නා වූ රංගනය අති විශිෂ්ට වූවකි. එය ඔහුගේ හොඳම චරිතාංග නිරූපණය ලෙස අප සැලකිල්ල ලබයි.

මෙහි සුවිශේෂත්වයක් වන්නේ ඔහු මෙහි රඟපෑවේ ‘නිධානය’ කෙටි කතාව නොකියවා වීමයි. රඟපෑමට පෙර කෙටි කතාව කියවා තිබුණේ නම් එය සාර්ථක චරිත නිරූපණයකට බාධාවක් වීමට ඉඩකඩ තිබුණු බව ගාමිණී කියා ඇත. ( ‘නිධානය’ සමරු කලාපය).

චිත්‍රපටයේ අවස්ථා කීපයකම ගාමිණී මීමැස්මොර රෝගියකු සේ රඟපායි. ඒ අවස්ථා වඩාත් තාත්වික අයුරින් රඟපෑමට මීමැස්මොර රෝගියකු සොයා ඔහු හැසිරෙන ආකාරය, එහිදී ඔහු පළ කරන ඉරියව් නිරීක්ෂණය කරන ලෙස ආචාර්ය පීරිස් ගාමිණීට උපදෙස් දුන්නත් ගාමිණී එවැන්නක් ;නාකළේය. ඔහු එහි රඟපෑවේ හුදෙක්ම ස්වකීය පරිකල්පනය මෙහෙයවීමෙනි.

චිත්‍රපටයේ අයිරින් ලෙස රඟපෑවේ මාලිනී ෆොන්සේකාය. ඇගේ රංගනය ද අතිශයින්ම සාර්ථකය.

සාමාන්‍යයෙන් ආචාර්ය පීරිස්ගේ සිනමාපටවල කැමරා ශිල්පියා වන්නේ විලී බ්ලේක්ය. සංස්කරණ ශිල්පිනිය වන්නේ සුමිත්‍රාය.

එහෙත් ‘නිධානය’ ලංකා චිත්‍රාගාරයේ නිපැයුමක් වූ බැවින්දෝ ඔහුට තෝරා ගැනීමට සිදුවූයේ එම්. එස්. ආනන්දන්ය. (ආනන්දන් ඊට ඉහත ‘ගොළු හදවත’ චිත්‍රපටයේ ඉතා හොඳින් කැමරාව මෙහෙයවා තිබිණි).

අඳුර හා ආලෝකය ඉතාම නිර්මාණාත්මක අයුරින් යොදා ගත් ඡායාරූපකරණයක් ‘නිධානයේ’ දැක්ක හැකිය. සුමිත්‍රා ‘නිධානය’ට එක් නොවූයේ ඒ වනවිට ඇය සිනමාකරණය හැදෑරීම සඳහා විදෙස්ගතව සිටි බැවිනි. ‘නිධානයේ’ සංස්කරණය ආචාර්ය පීරිස්ගේමය. ග්ලැඩ්වින් ප්‍රනාන්දු හා එඩ්වින් ලීටින් එහිදි ඔහුට එක්වූහ. .

‘නිධානයේ’ සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගෙනි. එය සිංහල චිත්‍රපටයක අපට අසන්ට ලැබුණු විශිෂ්ටතම සංගීත රචනාවලිය වන්නේය.

ජේ. ඒ. වින්සන්ට්ගේ කලා අධ්‍යක්ෂණයත් රෙජී ද සිල්වාගේ වේශ නිරූපණයත් ඉතාම ප්‍රශසතතරය.

‘නිධානය’ අළලා පළ වූ විචාර සැලකිල්ලට ගැනීමේදී එක් පාර්ශවයක් එය අගය කළ බවත් තවත් පාර්ශවයක් එය නිර්දය ලෙස හෙළා දුටු බවත් පෙනී යයි.

මාක්ස්වාදී විචාරකයකු වූ සයිමන් නවගත්තේගම කියා සිටියේ ‘නිධානය’ මේ යුගයේ ලාංකිකයකු අතින් බිහිවුණු විශිෂ්ටතම දෘෂ්ටිගෝචර ශෝකන්තය වන බවය. (ඉරිදා ඇත්ත 1972 පෙබරවාරි).

තවත් මාක්ස්වාදී විචාරකයකු වූ පියල් සෝමරත්න එය ව්‍යාජ චිත්‍රපටයක් ලෙස හඳුන්වා දුන්නේය. (සමසමාජය 1972 මාර්තු 24). එහෙත් උත්ප්‍රාසයට තුඩුදෙන කාරණාව වන්නේ පියල් පසු කලෙක ‘නිධානය’ 50 වසරක හොඳම චිත්‍රපටය ලෙස තේරිමය.

එපමණක් ද නොවේ. ‘නිධානය’ නැවත කියවීමක්’ නමින් ලිපියක් ලියූ පියල් ඒ අවස්ථාවේ කියා සිටියේ මෙය ලෙස්ටර්ගේ උත්කෘෂ්ටතම සිනමා කෘතිය බවය. (සරසවිය1197 ජනවාරී 16).

කෙසේ වෙතත් විදේශීය සිනමා විචාරකයෝ ‘නිධානයේ’ අගය එකවර වටහා ගත් බවක් පෙනී යයි. ප්‍රංශයේ POSITIF නම් වූ වාමවාදී සඟරාවට ‘නිධානය’ විචාරය කළ මිචෙල් සිමෙන්ට් මෙම චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්නේ ගරා වැටෙන රදල ධනවාදී ආර්ථිකය බව කියා ඇත.

‘නිධානය’ අන්තර් ජාතික සම්මානයට ද පාත්‍ර වූ සිනමා පටයකි. ඉතාලියේ වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී මෙයට රජත සිංහ සම්මානය (SILVER LION OF ST. MARK) ලැබුණේය.

ප්‍රංශයේ ‘සිනේමතෙක්’ ආයතනය විසින් ලෝක සිනමාවට සිය වසරක් පිරීම නිමිති කරගෙන 1995 දී ලෝක සිනමාවේ හොඳම චිත්‍රපට 100 හි නම් ප්‍රකාශනයට පත් කරන ලදී.

ඒ නම් 100 අතරට ‘නිධානය’ ද ඇතුළත් වූ බව කිව යුතුය.

එසේම 1999 දී කොරියාවේ 4 වැනි පූසාන් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ 20 වැනි සියවසේ ආසියාවේ නිර්මාණය වූ හොඳම චිත්‍රපට 13 න් එකක් ලෙස ද ‘නිධානය’ නම් කළේය.

‘නිධානය’චිත්‍රපටයට අවුරුදු 40 ක් පිරෙද්දී සිංහල සිනමාවට අවුරුදු 65 සපිරෙද්දී මෙම චිත්‍රපටයේ නෙගටිව් පටය පුළුස්සා දමා තිබීම අතිශය ඛේදජනක කාරණාවකි.

එය පුළුස්සා දැමූ අවස්ථාවේ ‘ඩේලි නිවුස්’ පුවත්පත  ‘NIDHANAYA’S TRAGIC FATE’ (‘නිධානයේ’ දුක්ඛදායක ඉරණම) යන මාතෘකාවෙන් කතුවැකියක් ලියමින් කියා සිටියේ වටිනා නිර්මාණයක් ලෙස ලෝක සිනමාවට එක් වූ ‘නිධානය’ චිත්‍රපටය මින් පසු අපටවත් අපෙන් පසු පරම්පරාවටවත් දැක ගැනීමට නොහැකි බවයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව