ජනප්‍රිය සිනමාවේ දිදුලන තරුව

ජීවන් කුමාරතුංග

ජීවන් කුමාරතුංග සිංහල සිනමාවේ දක්ෂ චරිතාංග නළුවකු ලෙස හඳුන්වා දෙනවාට වඩා ජනප්‍රිය සිනමාවේ දිදුලන තරුවක ලෙස හඳුන්වා දීම වඩාත් නිවැරදි යැයි මම සිතමි.

එසේ වන්නේ සනත් ගුණතිලක වැනි ඔහුගේ සමකාලීන නළුවකු හා සාපේක්ෂව ගෙන බලද්දී ජීවන්ට කලාත්මක - සම්භව්‍ය යැයි සැලකෙන සිනමා ධාරාව තුළ රඟපාන්නට ලැබුණු චිත්‍රපට ප්‍රමාණය අල්ප වීමත් ඒ අල්ප චරිත වෙතින් පවා ඔහුට ප්‍රමාණවත් රංගනයක් ඉදිරිපත් කරන්ට අවස්ථාව නොලැබීමත් යන කරුණු හේතු කොට ගෙනය. ජීවන්ගේ අති විශිෂ්ට චරිතාංග නිරූපණයක් දක්නා ලැබුණේ චිත්‍රපටවල නොව ටෙලි නාට්‍යයකය. ඒ බර්ට්‍රම් නිහාල්ගේ ‘අමරපුරය’ ටෙලි නාට්‍යයේය.ඉන් සාක්ෂාත් වන්නේ ඔහුගේ රංග ප්‍රතිභාවට නිසි අවස්ථාවක් සිනමාවෙන් නොලැබුණු බවය.

1958 දී සීදූවේ උපන් ජීවන්ගේ සම්පූර්ණ නම කෝවිලගේ ජීවාන් කුමාරතුංගය. ඔහු සිංහල සිනමාව තුළ ජනාදරය දිනා ගත්තේ ජ්‍යෙෂ්ඨ සිනමා නළු විජය කුමාරතුංගගේ ඥාති පුතකු ලෙසිනි. ජීවන්ගේ පියා හෙවත් විජයගේ සොහොයුරා වූ සිඩ්නි කුමාරතුංග ද චිත්‍රපට නළුවකු වූ අතර ඔහු ‘රන් ඔන්චිල්ලා’ චිත්‍රපටයේ කැපී පෙනෙන චරිතයක් රඟපෑවේය.

ජීවන් මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ කේරි විද්‍යාලයේය. චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ බර්මින් ලයිලි ප්‍රනාන්දු ඔහුගේ පාසල් ගුරුවරයෙක් වූයේය.

ජීවන් සිනමාවට අවතීර්ණ වන්ට පෙර වේදිකා නාට්‍ය කීපයක ද රඟපෑවේය. ඒවා බොහෝමයක්ම සුදර්ශියෙන් බිහි වූ නාට්‍යයය.

ජීවන් වරක් මා සමඟ මෙසේ කියා සිටියේය.

‘මීට අවුරුදු 25 කට විතර කලින් මම බස් එකේ කොළඹ එනකොට සාක්කුවේ තිබුණේ රුපියල් 20 යි. මම හැම දෙයක්ම පටන් ගත්තේ බිංදුවෙන්. බාප්පා විජය කුමාරතුංග කියලා මම කාගෙන්වත් වරප්‍රසාද ඉල්ලන්න ගියේ නෑ. මම කලාව පටන් ගත්තේ සුදර්ශියේ අඹ ගහ යටින්’ (සරසවිය 2002 මැයි 9). විජය වරක් ජීවන්ට මාහැඟි උපදේශයක් දුන්නේය.

‘ජීවන් මට ඔයා ඇදගෙන යන්න බැහැ. ඔයා මේ ගමන යන්න ඕනෑ ඔයාගේම නිර්මාණ ශක්තියෙන්.’

ජීවන් නළුවකු වීමේ අදිටනින් ‘හඳයා’ චිත්‍රපටයේත් ‘සිටු කුමරියෝ’ චිත්‍රපටයේත් නළු නිළි සම්මුඛ පරීක්ෂණයට ගියේය. ‘හඳයා’ චිත්‍රපටයට ඔහු තෝරා නොගැනුණේ ඔහු ඒ වන විටත් වයසින් මුහුකුරා ගොස් තිබූ නිසාය. ‘සිටු කුමරියෝ’ චිත්‍රපටයේ ඔහුගේ අවස්ථාව සනත් ගුණතිලකට හිමි වූයේය.

‘තනි තරුව’ ජීවන් රඟපෑ මුල්ම චිත්‍රපටය විය. එසේ වුවත් ඔහු රඟපෑ චිත්‍රපටයක් වශයෙන් මුලින්ම තිරගත වූයේ ‘ගඟ අද්දර’ ය. සනත් එහි ප්‍රධාන චරිතය රඟපාන විට සුළු චරිතයක් (ලියන මහත්තයා) රඟපෑවේය.

මුල් අවදියේ ජීවන්ට චිත්‍රපටවල ලැබුණේ දුෂ්ට චරිතය. ‘ඔබට දිවුරා කියන්නම්’, ‘ප්‍රාර්ථනා’, ‘ජය සිකුරුයි’, ‘රූමතියයි – නීතියයි’ ඔහු දුෂ්ට චරිත රඟපෑ චිත්‍රපටවලට නිදසුන්ය. එහෙත් ජීවන්ට අවශ්‍ය වූයේ පෙම්වතා, වීරයා ලෙස රඟපාමින් තම හැකියාව ප්‍රකට කිරීමටය. ජීවන්ට ඒ අවස්ථාව මුලින්ම ලබා දුන්නේ රෝයි ද සිල්වාය. ඒ ‘හිත හොඳ කොල්ලෙක්’ චිත්‍රපටයෙනි. ඉන් පසු ජීවන්ට දිගටම චිත්‍රපටවල වීරයාගේ චරිතය ලැබෙන්ට පටන් ගත්තේය.

සනත් - සබීතා යුගය මෙන් ජීවන් – අනෝජා යුගයක් ද ඉනික්බිතිව සිංහල සිනමාවේ බිහි වූයේය. ‘නැවත අපි එක් වෙමු’, ‘මමයි රජා’, ‘ඔබට රහසක් කියන්නම්’, ’සිනාසෙන්න රත්තරන්”, රන්දෙණිගල සිංහයා’, ‘යුක්තියට වැඩ’, වීර උදාර’, ‘ඇසළ සඳ’ ඊට උදාහරණය. එහෙත් ඉතා ඉක්මනින්ම ජීවන් – අමෝජා යුගය අහෝසි වී ගියේය. ඒ ඔවුන්ගේ වරදින් නොව එකී චිත්‍රපටවල පැවති ඒකාකාරිත්වය නිසාය. (ඒවා බොහොමයක්ම හින්දි වීඩියෝ අනුකරණ වූයේය). එකම වට්ටෝරු කතාව, එකම නළු නිළි පිරිස, එකම ශෛලියේ නැටුම් ඊට බලපෑවේය. ජීවන් – අනෝජා යුගය දැනට සිංහල සිනමාවේ පහළ වූ අවසාන නළු නිළි යුගය බව මගේ අදහසයි. ඉනික්බිතිව අදටත් එවන් යුගයක් බිහි කිරීමට සිංහල සිනමාව සමත්ව නැත. ඉන් පිළිබිඹු වන්නේ මෙරට වාණිජ සිනමාවේ බරපතළ කඩා වැටීම නොවේද?

සනත්ගෙන් පසු සිංහල සිනමාවේ ජනප්‍රිය නළු කිරුළ දිනා ගත්තේ ජීවන්ය. 1990 දී ඔහු ජනප්‍රිය නළුවා ලෙස ‘සරසවිය’ සම්මානය ලැබුවේය.

වාණිජ චිත්‍රපටවලදී (විශේෂයෙන් ක්‍රියාදාම රැගත් චිත්‍රපටවලදී) ජීවන් සෙසු සමකාලීන නළුවන්ට වඩා කැපී පෙනුණේය. ඒ ඇතැම් ත්‍රාසජනක ජවනිකා අතිරේක නළුවකු (ස්ටන්ට්) යොදා නොගෙන තමාම රඟපෑමෙනි. මෙහිදී චිත්‍රපට දෙකක අවස්ථා දෙකක් මා සිහියට එයි. එකක් ‘හිත හොඳ චණ්ඩියා’ චිත්‍රපටයේදී ඔහු මරදාන මගී පාලම උඩ සිට මෝටර් සයිකලයක් පදවාගෙන ඒමයි. අනික් අවස්ථාව වන්නේ ‘හිට්ලර් අයියා’ චිත්‍රපටයේදී ඔහු දුම්රියක සිට කැලණි පාලමෙන් ගඟට පැනීමයි.

වාණිජ මට්ටටමේ චිත්‍රපට අතරින් ‘සුරනිමල’ (සුරනිමල), ‘සීතල ගිනි කඳු’ (පුවක් අරඹේ සනී මහත්තයා) යන චිත්‍රපට දෙකේ ජීවන් කළ රඟපෑම් වඩාත් සුවිශේෂී යැයි සිතමි.

කලින් දැක් වූ පරිදි ජීවන්ට සම්භාව්‍ය යැයි සැලකුණු සිනමාපටවල රඟපාන්න අවස්ථා ඒ තරම්ම නොලැබිණි. ලැබුණු එකම අවස්ථාව වූයේ ‘කෙළිමඬල’ ය. ඔහු එහි උපේන්ද්‍රගේ චරිතය උපරිමව නොවූවත් සාර්ථකව රඟපෑවේය. ඔහු තරමක්වත් සාර්ථකව රඟපෑ ‘සයනයේ සිහිනය’ හා ‘තුන්වැනි ඇහැ’ යනු කලාත්මකවත් නොවූ වාණිිජමයවත් නොවූ (එහෙටත් නැති මෙහෙටත් නැති) චිත්‍රපට දෙකකි. මේ චිත්‍රපටවල ඔහුගේ රංගනයේ ප්‍රධාන දුර්වලතා දෙකක් වූයේ ආයාසයෙන් යුක්තව රඟපාන ආකාරයක් පෙනී යෑම සහ වේශ නිරූපණය ඒ ඒ චරිතවලට නුසුදුසු වීමයි. ‘තුන්වැනි ඇහැ’ චිත්‍රපටයේ ජීවන්ගේ රඟපෑම් ගැන එක් විචාරකයකු කියා සිටියේ මේ චිත්‍රපටයෙන් ජීවන්ට සාධාරණයක් ඉටු වුවත් ජීවන්ගෙන් එකී චරිතයට සාධාරණයක් ඉටු නොවූ බවය.

ජීවන් නළුවකු වශයෙන් පමණක් නොව නිෂ්පාදකවරයකු හා සිනමා ශාලා හිමියකු වශයෙන් ද සිනමා කර්මාන්තයට සම්බන්ධව සිටියේය. ‘හිත හොද චණ්ඩියා’, ‘ඇසළ සඳ’, ‘රන්දෙණිගල සිංහයා’, ‘මා ඔබේ හිතවතා’, ’මුවන් පැලැස්සේ කදිරා’, ‘වැලි සුළඟ’ ඔහු නිපද වූ චිත්‍රපට අතර වෙයි.

ජීවන් ටෙලි නාට්‍යවල ද රඟපෑවේය. ‘රන් කහවනු’, ‘සුදු පරෙවියෝ’, ‘හිඟන කොල්ලා’, ‘අමරපුරය’ ඔහු රඟපෑ ටෙලි නාට්‍ය කීපයකි. එයින් ‘අමරපුරය’ යනු එතෙක් මෙතෙක් ජීවන්ගේ විශිෂ්ටතම රඟපෑම් ඇතුළත් වූ ටෙලි නාට්‍යය ලෙස විචාරක සැලකිල්ල ලබයි.දේශපාලනයේදී අතිශය කාර්ය බහුලවීමත් සම්භාව්‍ය චිත්‍රපටවල සංකීර්ණ චරිත රඟපෑම සඳහා උනන්දු නොවීමත් ජීවන්ට චරිතාංග නළුවකු ලෙස බොහෝ දුරක් යෑමට තිබූ අවස්ථාව වැළැක් වූ බව මගේ පිළිගැනීමයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව