අර්ජුන අනූෂා දමිතා නුගේගොඩ පොළේ ඡන්දෙට වැඩ

ක්ලීටස් කකුල නමා ගෙන ඇඳ උඩ

රත්තරං දර්ශන තලයේ ඉස්තරම් අත්දැකීම්

අද නුගේගොඩ පොළ මාවත ජනාකීර්ණය. යුහුසුළුව වෙළඳාම් කරන වෙළෙන්ඳන් සහ ඔවුන් සමඟින් හරි හරියට කේවල් කරන පාරිභීගිකයින් ද බහුලය.

ඒ අතරින් රිංගා මම ඉදිරියට ඇදුනෙමි. මේ පෙදෙසෙහි මිතුරෙකු ඇත. මා දැන් සිටින්නේ ඔහු හමුවීමට යමිනි. මම මංසන්ධියකින් හැරුණා පමණි. නාසා ආයතනයෙන් අභ්‍යවකාශයට මුදා හළ රොකට්ටුවක් බඳු වේගයෙන් මා ගතෙහි ගෑවී නොගෑවී ත්‍රීරෝද රථයක් ඉදිරියට ඇදුනේ ‘මාකස් අයියාට ජයවේවා’ යැයි එහි සිටි උන් කෑගසමිනි.

‘චරාස්’

තිරිංග තද කොට අඩි කිහිපයකට නුදුරින් එය නැවතිණි. ඉන් බැස ආවේ ලංකාවේ සුපතළ තාරකා තුනකි. අර්ජුන කමලනාත්, අනූෂා දමයන්ති, දමිතා අබේරත්න ඒ තුන් කට්ටුවයි. අර්ජුන සහ අනූෂා අංක 21 සනිටුහන් වූ තැඹිලි පැහැ ටී ෂර්ට් හැඳ සිටීම මට මහත් ප්‍රහේළිකාවක් විය. ඒ ප්‍රහේළිකාවේ තවත් හිඩැසක් ඇති කරමින් මේ තිදෙනා ඔවුන් පසු කර යන කොයි කාටත් ඉතාම සුහදශීලීව කුඩා පත්‍රිකාවක් බෙදන්නට පටන් ගත්තෝය.

ඔවුන් පත්‍රිකාවක් ලබා දුන් තැනැත්තෙකු මා පසු කර යද්දී ඔහුට කතා කොට එම පත්‍රිකාවක් ඉල්ලා ගත්තෙමි. මාකස් අයියා දිනවමු, අංක 21 යන වදන් සහ ඡන්ද ලකුණක්ද එහි අඩංගුව තිබිණ. මාකස් යැයි හඳුන්වා දෙන තැනැත්තාගේ රුව දුටු මම විශ්මයට පත් වීමි. ඒ ක්ලීටස් මෙන්ඩිස්ය. මැතිවරණ නිමා වූ කලෙක ක්ලීටස් මාකස් වෙමින් ඡන්දය ඉල්ලන්නේ ඇයි?

අර්ජුන . . . අන්න ත්‍රීවිල් එක පස්සට යනෝ. . . ඉක්මනට නවත්තව ගන්න . . .

දමිතා හදිසියේම බෙරිහන් දෙන්නට පටන් ගත්තාය.
අධ්‍යක්ෂ-නිශාන්ත කැමරා-ත්‍රිෂූල

අර්ජුනට ත්‍රීරෝද රථයේ තිරිංග හරිහැටි පෑගීමට අමතක වී තිබුණි. එතැන තරමක පල්ලමක් තිබූ හෙයින් අර්ජුන, අනූෂා සහ දමිතාව පසු කොට එය පිටිපස්සට ඇදෙයි.

මේ කාලගෝට්ටිය අස්සේ තවත් පිරිසක් මෙතැනට ආවෝය. ඒ අතර සිටි නිශාන්ත ද අල්විස් අසලට මම ගියෙමි. මේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය රත්තරං හෙවත් නගරං ධ්ධ් කැමරාකාචයට නැඟෙන නුගේගොඩ දර්ශන තලයයි. අසල ඇති දරමඩුවක මාකස් අයියා එහෙමත් නැත්නම් ක්ලීටස් මෙන්ඩිස් නිදාගෙන සිටියි.

ක්ලීටස් අයියේ ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. ඡන්දෙ ඉල්ලද්දි දුවලා පැනලා වැඩ කරන්න එපායැ?

දුවන්නේ පනින්නේ කොහොමද? මේ මේකප් එකත් එක්ක?

ඔහු හැඳ සිටි සරම මඳක් ඉහළට එසවිය.

ඔහුගේ පාදයක් මට නොපෙනෙයි. පාදයක් නැති කෙනෙකු විදිහට අංග රචනා ශිල්පී ගාමිණී කොස්තා ඔහු සකසා තිබුණේ හරි අපූරුවටය.

ලද විවේකයෙන් අර්ජුන, ක්ලිටස්, දමිතා, අනූෂා යම් කතාවකට මුල පිරුවේ අවස්ථාව රසවත් කරන්නටය. සියල්ලන්ගේම මාතෘකාව වූයේ අනූෂා පළාතම දෙවනත් කරමින් කොක් හඬලා පාන සිනහව පිළිබඳය.

කොහෙන්ද අනූෂා ඔය හිනාව ඉගෙන ගත්තේ?

ක්ලීටස් අසයි.

මේක මගේ උපන් හිනාව, කොහෙන්වත් ඉගෙන ගත්තේ නැහැ. එන්න එපා ඒවා මේවා කියාගෙන. අනූෂාගේ නෝක්කාඩු බස්ය.

ඒක නෙවේ මෙයා බැඳලා හනිමුන් ගිහිල්ලත් මේ වගේ බක බක ගාලා හිනා වෙයි ද දන්නේ නැහැ.

හරි හරි, පච කියෙව්වා ඇති. ඊළඟ සීන් එක තියෙන්නේ මාලිගාවත්ත සිද්ධාර්ථ වත්තේ යමු අපි එතැනට.

එය තරමක් මුඩුක්කුබද පරිසරයකි. එතැන ඇති කුඩා පාරක නිතර වාහන ගමන් කිරීම රූ ගැන්වීමට බාධාවක් විය. අපි වාහන ටිකක් අඩු වෙනකම් ඉඳිමු සීන් එක ගන්න.

එය අසල්වැසියකුට ඇසිණ.

ඉන්නකෝ සර් මං නියම වැඩක් කරන්න.

ඔහු තවත් පිරිවරක් ද කැටුව එමගෙහි දෙපස තාවකාලිකව වසා දැමීය.

හරි දැන් සර් ෂූට් එක නියමෙට කර ගන්න.

නිශාන්ත සැනසිල්ලේ රූගත කිරීම සිදු කරන ලදී.

එතැන තරමක විශාල පරෙවියන් සිටි කූඩුවකි. අර්ජුන එතැනට ගියේ මෙතෙක් නොදුටු පරෙවියන් දැක බලා ගනු පිණිසය.

ඔහු එතැන සුළු මොහොතක් ගත කරන විට කූඩුවේ අයිතිකරු ආවේය.

අන්න අර පරවියා නම් ලස්සනයි.

අර්ජුන තනි සුදු කළු පැහැයේ වයිරන් වැටුණු පරවියකු පෙන්වීය.

ආ ඒකා පැටික්කි.

මොකක් පැටික්කි?

ඔව්, ඔව්.

ගැහැනු ළමයකුට දාන්න ඕන නමක්නේ ඔයාලා පරවියන්ට දාලා තියෙන්නේ.

අර්ජුන සිනාමුසු මුහුණෙන් යුතුව පැවසීය.

සර් ඕනේ නම් පරෙවියව උඩ ගහන්න. ඉන්නකෝ මං අරන් දෙන්න.

අර්ජුනගේ අතට පරවියා දුන් හිමිකරුවා කීය.

අර්ජුන මුලු වෙර වීරියම යොදා පරෙවියාව උඩ ගැසීය. එම පරෙවියා මේ වන තෙක්ම කූඩුවට ගොස් නැති බවට පසුව අපට ආරංචි විය.

රත්තරං හි සෙසු නළු නිළියන්:

ඩබ්ලිව්. ජයසිරි, ජගත් බෙනරගම, දීපාල් සිල්වා, රොනී ලීච්, අර්ඩ්ලි වෙදමුණි, නීතා සමරනායක, ජගත් ගලප්පත්ති, සුදර්ශි ගැලනිගම, නෙළුම් කලුබෝවිල.

නිෂ්පාදනය - සුසන්ත ඩයස් අභයසිංහ

අංග රචනය – ගාමිණී කොස්තා

නිෂ්පාදන කළමනාකරු - විකුම් නිරෝෂණ ද අල්විස්

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව