මම ණයත් නෑ බයත් නෑ

 ‘සිකුරු වසන්තේ’ තැනූ සුදත්ත තිලක්සිරි එක්ක කතාබහක්

මම සාමාන්‍යයෙන් වැරැද්දක් , අසාධාරණයක් දුටු තැන සද්ද නැතුව ඉන්න කෙනෙක් නම් නෙවෙයි. මම රංගන ශිල්පියෙක් ලෙස නිර්මාණවලට අඩුවෙන් දායක වීමටත් එය එක හේතුවක්. මම නළුවෙක් වුණේ මම නිසාමයි.

ඒ නිසා මට අඩුවෙන් කලා නිර්මාණයන් සඳහා රංගනයෙන් දායක වුණා කියන දේ කිසිම ප්‍රශ්නයක් නෑ.

මෙලෙස වේගවත් ලෙස හඬ අවදි කළ ඔහු සුදත්ත තිලක්සිරි.

ඇයි කේන්තියෙන් කතා කරන්නේ?

අනේ නෑ. ඒ මගේ කතා ශෛලිය. මම කොහොමත් හිතේ එකක් තියාගෙන තව එකක් කියන කෙනෙක් නෙමෙයි.

වතෙහි රැඳුණු සිනහවත් හඬේ තිබූ රිද්මයත් පසක් කළේ සුදත්ත කියූ කතාවේ සත්‍යයයි. පළමුව හෙතෙම ඔබේ හදට ඇමතුවේ ගීයෙන්. පසුකාලීනව සුදත්ත තිලක්සිරි ප්‍රේක්ෂක සිත් තුළ ලැගුම් ගන්නේ රංගන ශිල්පියෙකු ලෙසයි.

ඉන් නොනැවතුණු සුදත්ත ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය නම් වූ භාරධූර වගකීමට යොමු වුණේ වගකීමක් නිසි පරිදි ඉටු කළ හැකි මිනිසෙකු ලෙසිනි. මේ දිනවල ඔහු ඔබ හමුවට පැමිණෙන්නේ ‘සිකුරු වසන්තේ’ත් රැගෙනයි.

‘සිකුරු වසන්තේ’ මගේ අධ්‍යක්ෂණයක්. ඒක මෙගා ටෙලි නාට්‍යයක් නෙවෙයි. දීර්ඝ ටෙලි නිර්මාණයක්. පවත්නා ටෙලි නාට්‍යය ශෛලියට වඩා යම් වෙනසක් ‘සිකුරු වසන්තේ’ තිබෙන බව මම විශ්වාස කරනවා.

රූගත කිරීම සියයට පනහක්ම දැන් අවසන්. මම ‘තිබ්බා ගැහුවා’ ටෙලි නාට්‍යය සංස්කෘතියේ කෙනෙක් නෙවෙයි. මේ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙන්නේ තමන්ගේ චරිතයට සාධාරණයක් කිරීමේ හැකියාව තිබෙන රංගන ශිල්පීන්. ටෙලි නාට්‍යයක් කියන්නේ කලා නිර්මාණයක්.

අද බොහෝ දෙනෙක්ට එය අමතක වෙලා. කලා නිර්මාණයක් ආනන්දයෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් අවසන් විය යුතුයි. ඒ නිසා ටෙලි නිර්මාණයක රූප රාමු, කතාව, නළු නිළි රංගනය ඇතුළු සියල්ලම ගුණාත්මක විය යුතුයි. කලාව දෙවෙනි වෙන්නේ දෙවියන්ට විතරයි.

වර්තමානයේ චරිතාංග නළුවන් ඉන්නේ ඉතාමත් අල්ප ප්‍රමාණයක්. වැඩි හරියක් ඉන්නේ ගිරා පෝතකයෝ. අපි දෙවියන්ට දෙවෙනි කොට සලකන්නේ ගිරා පෝතකයින්වද? කලාකරුවා කියන්නේ සමාජයේ ඉහළ මට්ටමක සිටින කෙනෙක්. කලාකරුවෙකුට නිවැරැදි පුළුල් දැක්මක්, හැදියාවක් හා සංස්කෘතියක් තිබිය යුතුයි. මම කතරගම යන්නේ දැනගෙන.

දැනගෙන කතරගම යන සුදත්තගේ ‘සිකුරු වසන්තේ’ ටෙලි නාට්‍යය කලාවට වසන්තය රැගෙන ඒවිද?

මම හැම මොහොතකම උපරිමයෙන් කැප වුණේ වසන්තය රැගෙන එන්න. නමුත් ඒ උත්සාහයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කළ යුත්තේ ප්‍රේක්ෂකයින්. ‘සිකුරු වසන්තේ’ කියන්නේ හුදෙක් යොවුන් ආදර අන්දරයක් නෙවෙයි. ‘සිකුරු වසන්තේ’ ටෙලි නිර්මාණයෙන් ආදරයේ නොයෙකුත් පැතිකඩයන් ස්පර්ෂ කරනවා.

‘සිකුරු වසන්තේ’ හි අධ්‍යක්ෂවරයාත් ඔබමයි. ඒ වගේම ඔබ එහි රංගනයේත් යෙදෙනවා. එහිදී සුදත්ත තිලක්සිරි කියන රංගන ශිල්පියාගේ අධ්‍යක්ෂවරයා කවුද?

මගේ අධ්‍යක්ෂවරයා මමමයි. මම උඩින් පාත් වුණු කෙනෙක් නෙවෙයි. මම රංගන ශිල්පියෙක්. ඒ වගේම මේ මගේ ප්‍රථම අධ්‍යක්ෂණයත් නෙවෙයි. මට මාව විශ්වාසයි.

ඔතරම්ම විශ්වාස සුදත්ත තිලක්සිරි අධ්‍යක්ෂවරයා මොන වගේ චරිතයක්ද?

මම සොඳුරු ආඥාදායකයෙක්. ණයත් නැති බයත් නැති මනුස්සයෙක්. මම රංගන ශිල්පිියෙක් නිසා රංගන ශිල්පීන්ගේ රංගන හැකියාව උපරිම මට්ටමකින් මට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න යමක් තියෙනවා. ඒ තමයි මගේ ‘සිකුරු වසන්තේ’ ටෙලි නිර්මාණය සඳහා දායක වෙලා ඉන්නේ සොඳුරු පිරිසක්. මේ ටෙලි නාට්‍යයට මුහුරත් නෑ. ගිවිසුම් නෑ. අපි හැමෝටම තියෙන්නේ කරන දේ හරියටම කිරීමේ අරමුණ සහ විශ්වාසයේ බැඳීම.

ස්වාධීන ගමනක හිමිකරුවීමේ සතුට භුක්ති විඳින සුදත්ත මෙරට කලාවේ අභිවෘද්ධිය උදෙසා තවත් පරපුරක් නිර්මාණය කරන්න සූදානම්. රංගන හැකියාව, හෝ තිර පිටපත් රචනයේ හැකියාවක් ඔබට ඇත්නම් එයට අවස්ථාවක් ලබා දෙන්න සුදත්ත සූදානම්.

සුදත්ත තිලක්සිරි ගේ ලිපිනය:
278/ බී, එස්. එස්. ඩයස් මාවත, දිවුල්පිටිය, බොරලැස්ගමුව.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව