ජෝතිපාල අනස්ට් වඩුගේට පහර දීමට සැළසුමක

සිනමා සයුරින් මුතු දෝතක්

තිස් වසරකට පසු අර්නස්ට් වඩුගේ ‘සරසවියට’ සපයන විශේෂාංගයකි

‘ඇත්තෙන්ම අද වගේ නොවේ ඒ කාලේ අපේ සිනමා ලොව හරිම සුන්දරයි.’

මෙලෙස බොහොමයක් පවසන්නේ වී නමුදු, වත්මන් සිනමා ලොව අසුන්දර යැයි මම නොකියමි. එදා හෝ වේවා මෙදා හෝ වේවා කාල වකවානු අනුව නොව, ක්ෂේත්‍රයේ ස්වභාවය අනුව සුන්දර හෝ අසුන්දර බව රඳා පවතින්නේ යැයි මම විශ්වාස කරමි.

අද අතිශයින්ම ආර්ථිකය පදනම් කරගෙන බොහෝ දේ සිදුවන බැවින්, සුන්දරත්වය ඒ තුළින් ගිලිහී ගොස් විය යුතුය. මා කවදත් බොහෝ දේ කෙරෙහි සුබවාදීව, එනම් ධනාත්මක චින්තනයෙහි ලා සිතමින් කටයුතු කරන්නේ වී නමුදු, ඒ කාලේ අපේ සිනමා ලොව හරිම සුන්දරයි යන මතයට මට ද එකඟවීමට සිදු වන්නේය.

එවන් සුන්දර අත්දැකීම් මගේ දීර්ඝකාලීන මාධ්‍ය දිවිය පුරාම පිරී ඉතිරී පවතින්නේය. මගේ මතකය වඩාත් අලුත් වූයේ පසුගියදා මගේ ‘යුග දිවිය’ ග්‍රන්ථය දොරට වැඩීමේ උළෙලේ දී අපේ අති විශිෂ්ටතම කලා ශිල්පියකු වන, මා මිත්‍ර රවීන්ද්‍ර රන්දෙණිය කළ ඉතාම හෘදයාංගම දේශනයට සවන් යොමා සිටියදීය. එදා අප ගත කළ ‘සරසවිය’ සමයේදී එකල සිනමා ක්ෂේත්‍රයේ පැවති අපූරු ලෙන්ගතු සැබැඳියාව හා සුන්දරත්වය රවී එහිදී අපූරුවට විග්‍රහ කළේය.

මට මෙහිදී අපේ විශිෂ්ටතම නිර්මාණ ශිල්පියකු මෙන්ම සම්මානනීය නළුවකු වන ටෝනි රණසිංහ සිහිපත් වන්නේය.

අනේ ඇත්තටම ටෝනි ඉන්න තැන පාළුවක් නැහැ. හැබැයි හරිම ලණු කැප්ටන්. හරිම සීරියස්. පිට කාට හරි ලණුවක් දීලා හිමිජ්ජ වගේ ඔහේ අහිංසකව ඉන්න පුළුවන් ටෝනිට.

එකල අතිශය ජනකාන්ත නිළියක වූ ජීවරාණි කුරුකුලසූරිය ටෝනි ගැන එසේ පැවසූ අදහසක් මම ‘සරසවිය’ විශේෂාංගයට ද ඇතුළත් කළෙමි. මගේ ජීවිතයට බොහෝමයක් සිනමා ශිල්පීන් සමීප වූයේ හුදෙක් මාධ්‍යවේදියකු ලෙස පමණක් නෙවේ. සමහරු අසල්වැසියෝ වූහ. මා කලක් මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ පදිංචිව සිටියේ නළු නිළියන් කැලක් පිරිවරාගෙනය.

නිවසේ දොර ජනෙල් විවෘත කළ විට එක්කෝ දක්නට ලැබුණේ විජය නන්දසිරි සහ දේවිකා මිහිරාණිගේ නිවසය. තවත් පැත්තකින් එච්. ආර්. ජෝතිපාලගේ නිවසය. අල්ලපු ගෙදර පී. එල්. ඒ. සෝමපාල සංගීතවේදියා හා ඔහුගේ බිරිඳ ජනකාන්ත ගායිකා චිත්‍රා සෝමපාලගේ ගෙදරය. ඉදිරිපස නිවෙස්වල ටී. ඇම් සංඝදාස, ලතා වල්පොල, ධම්මිකා වල්පොල, මහින්ද බණ්ඩාර, තලතා ගුණසේකර, ක්‍රිස්ටෝපර් පෝල්, සුනිල් සිරිවර්ධන, මර්සි එදිරිසිංහ, කුමාරි පෙරේරා ආදීන්ය. එකල මධුමාධව කොල්ලො කුරුට්ටෝ වට කරගෙන අපේ ගෙදර ඉදිරිපස මහ පාරේ ක්‍රිකට් ගැසූ හැටි මට මතකය.

මල්ලි . . . මල්ලි . . . වඩු මල්ලි . . . කෝ තාම නිදි ද . . .

පිටුපස නිවසින් හිමිදිරියේ ක්‍රිස්ට් ලෙනාඩ් පෙරේරා උස් හඬින් අමතනු ඇසේ. නන්දා මාලිනී, ඔස්ටින් මුණසිංහගේ නිවසට විත් ගීත පුහුණු වනු තවත් විටෙක ඇසෙයි.

පී. එම්. ස්ටැන්ලි පෙරේරා, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, එම්. ඇස්. ප්‍රනාන්දු, මොරිස් දහනායක, හයිසින්ත් විජේරත්න, ධර්මසිරි ගමගේ, කුමාර කරුණාරත්න, චන්ද්‍රිකා සිරිවර්ධන, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සුනිල් හෙට්ටිආරච්චි, ප්‍රැන්සිස් වන්නිආරච්චි, සිරි කේ. විතාරණ, අයිරින් ද අල්විස් සහ හේම ශ්‍රී ද අල්විස්, බී. කේ. ආරියරත්න, ෂෙල්ටන් පෙරේරා, ශෂී පෙරේරා සමඟ සතිස් පෙරේරා සහ අනුරාධ පෙරේරා දරු දෙදෙනා, හැරී උභයසේන, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ජීවනී ජයසිංහ ඇතුළු කලා ශිල්පීන් ශිල්පිනියන් පිරිවරා ගෙන ජීවත් වූ සමය ඇත්තෙන්ම මොන තරම් සුන්දර වූවා ද. අද මින් සමහරක් ජීවතුන් අතර පවා නැතත් එදා සමය සිහිනෙන් ගෑ සුවඳක් මෙන් මේ මොහොතේ මගේ මතකයේ පවතී.

‘මට හම්බ වෙච්චාවෙකො වඩුගේ කියන එකා. මගේ අම්මපා ඌට හොඳ පාඩමක් උගන්වනවා’

පසු කලෙක තමාගේ ජීවිත කතාව ලියනා තරමට මට අතිශය සමීපතම මිත්‍රයකු වූ එච්. ආර්. ජෝතිපාල අර්නස්ට් වඩුගේ දුටු තැන පහර දීමට සැරසී සිටි සමයක සුන්දර මතකයක් ද මට තාමත් ඇත.

ඒ ජෝති ගායකයකු ලෙස අතිශය ජනප්‍රිය වෙමින් සිටි යුගයයි. සිය මධුර මනෝහර ළයාන්විත හඬින් රටක් කුල්මත් කරමින් වසඟයට ගෙන සිටි ජෝති එයින් පමණක් සෑහීමකට පත් වූයේ නැත.

‘ඇත්තමයි බං මට හරිම ආසයි ඇට් කරන්න. ජනප්‍රිය ගායකයකු ලෙස වගේම ජනප්‍රිය නළුවෙක් වෙන්නත් මට ඇත්නම්’

ජෝති එකල සිය මිතුරන් සමඟ නිතර නිතර පවසා ඇත. ඔහුට එම අවස්ථාව ලැබෙමින් පවතින යුගයයි. ඒ ගායකයකු වෙන්න අප්‍රමාණ වූ ‘කට්ට’ කෑවද, නළුවකු වෙන්නට ජෝතිට එතරම් අසීරු නොවීය. මන්ද ගායකයකු ලෙස ඔහු නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු සමීපව ඇසුරු කළ නිසාවෙනි.

මෙම සමයේ මා ‘සරසවිය’ ට රසික පැන ප්‍රශ්න පිළිතුරු විශේෂාංගයක් ආරම්භ කළෙමි. මෙහිදී උපහාස රසය ඉස්මතු වන අන්දමේ ප්‍රශ්නයක් පිළිතුරක් දෙකක් ද එයට ඇතුළත් කිරීමට උත්සාහ ගත්තෙමි.

එවන් අපූරු ප්‍රශ්නයක් හා පිළිතුරක් මට දැනුත් සිහිපත් වන්නේය.

ප්‍රශ්නය – ජනකාන්ත රූමත් නිළියක් පදවන මෝටර් රථයක ඔබ ගමන යන්න කැමති මොන අසුනේ වාඩි වෙලාද?

මා දුන් පිළිතුර සැර වැඩි යැයි අද සිතේ.

‘මං ආස රියදුරු අසුනේ වාඩි වෙලා යන්න’

මගේ පිළිතුර එය විය. එනම් නිළියගේ උකුල උඩ වාඩි වී යන්න කැමතිය යන්න පැවසීමකි ඒ.

‘රසික පැන’ තීරයට මා සැපයූ පිළිතුර දෙබරයකට ගල් ගැසීමක් මෙන් විය.

ජෝතිපාලට රඟපෑමේ ‘උණ’ තදින්ම පැවති සමයේ එය උපහාසයට ලක් කරමින් මා දුන් පිළිතුරෙන් ඔහු මහත් සේ කිපෙනු ඇතැයි මා සිතුවේ නැත. එහෙත් ඔහුට මට පහර දීමට තරම් ආවේග සිතක් ඇති වීමට එම පිළිතුර උණුසුම් විය.

ඔහු රඟපෑමට උත්සාහයක් ගෙන ඔහු රඟපෑ චිත්‍රපටයක් දෙකක් තිරගත වී, තවද චිත්‍රපට කිහිපයකට ඔහුට ආරාධනා ලැබී තිබූ සමයකි ඒ.

ප්‍රශ්නය - ජෝතිපාල රඟපාන චිත්‍රපට අතරින් වඩාත්ම ඔබේ සිත්ගත් චිත්‍රපටය කුමක්ද?

‘රසික පැන’ සඳහා යොමු වූ එම පැනයට මා දුන් පිළිතුර මෙසේය.

‘මොනවා! ඇත්තටම ජෝතිපාල රඟපානවද, පුදුමයි . . .

ඇත්තෙන්ම ගායකයකු වශයෙන් ජෝති ඉහළ දස්කම් දක්වමින් දිනෙන් දින ජනප්‍රියත්වය වර්ධනය කර ගනිමින් සිටියේ වී නමුදු, ඔහුගේ රඟපෑම් නම් එතරම් ප්‍රශස්ත මට්ටමක නොවීය. මා එබැවින් එය එකම උපහාසයට ලක් කරමින් එවන් පිළිතුරක් දුන්නෙමි.

‘කවුද බං අර සරසවිය ‘රසික පැන’ වලට උත්තර දෙන්නේ?’

එය දුටු ජෝති මහත්සේ කිපී මිතුරන්ගෙන් අසා තිබුණි.

‘අර අර්නස්ට් වඩුගේ නේ’

‘ඇත්තද අහුවෙද්දෙන්කො ඕකව මට. බලපං මචං මට ෆිල්ම්ස් ගොඩකට ආරාධනා ලැබිලත් තියෙන්නේ. ඔහොම සවුත්තු පිළිතුරක් දෙන්න වටිනවද’

ජෝති මිතුරන්ට පවසා තිබුණි.

එකල මගේ අසල්වැසියකු වූ ටෝනි රණසිංහ ද මෙය දැනගෙන තිබුණි. බොරැල්ලේ සිරිධම්ම මාවතේ සුන්දර දෙමහල් නිවසක උඩු මහලේ රණසිංහ පදිංචිව සිටියේය. ඔහු අසලම පදිංචිව සිටියේ ජනකාන්ත ගීත රචකයකු මෙන්ම අද්විතීය ගුවන් විදුලි මාධ්‍යවේදියකු වූ කරුණාරත්න අබේසේකරයන්ය. මම ටෝනිගේ නිවසට නුදුරුව සිරිධම්ම මාවතේ පිහිටි භික්ෂු මධ්‍යස්ථානයක, මාසයකට රුපියල් දාහක කුලී පදනම මත කාමරයක නවාතැන් ගෙන සිටියෙමි. එහිදී ඉතාම සුන්දර කලාකරුවකු වූ ටෝනි රණසිංහ නිතර නිතර හමුවීමට මම මහත් සේ ප්‍රිය කළෙමි.

‘ලණු කැප්ටන්’ යන සොඳුරු විරුදාවලිය ලැබ සිටි ටෝනි දිනක් කඳානේ ලින්ටන් මන්දිරයේ පැවති උළෙලකදී ‘මාර ලණුවක්’ දියත් කළේය.

පසු කලෙක චිත්‍රපට නිෂ්පාදකයකු වූ බී. මුණිදාස ද එකල සුවිසල් වෙළඳ ආයතනයක් කඳානේ පවත්වාගෙන ගියේය. ‘ලින්ටන්’ නමින් සුපතල වූ එහි මහා උත්සවයක් පැවැත්වුණි. රූප සුන්දරී තරඟයක් සහ මහා සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණි.

ටෝනි රණසිංහ, නීටා ප්‍රනාන්දු, ඩී. ආර්. නානායක්කාර, පියදාස ගුණසේකර, ශ්‍රී නිහාල් ජයසිංහ ඇතුළු ජනප්‍රිය කලා ශිල්පීන් ශිල්පිනියන් කීප දෙනෙක් සමඟ මා ද රූප සුන්දරී තරගයේ විනිශ්චය මණ්ඩලයට ඇතුළත් වී තිබුණි. රූප සුන්දරී තරඟය අවසානයේ මහා සංගීත ප්‍රසංගයයි. එය සඳහා ද අපි සහභාගි වූයෙමු.

නළු නිළි, ගායක ගායිකාවන් සඳහා අවසානයේ අත්‍යාලංකාර ප්‍රිය සාදයක් ද පැවැත්වුණි.

‘බෝම්බය’ පත්තු වෙන්නට අර ඇඳුණේ ප්‍රිය සාදය අතරතුරදීය. බොහොමයක් මධුවිතින් සංතර්පණය වී විනෝද වෙමින් සිටියහ. ජෝතිපාලත්, මාත් ඒ වන විට මුණ ගැසී දැන හඳුනාගෙන සිටියේ නැත.

‘වඩු . . . ඔන්න ඔයාගේ අර ‘රසික පැන’ ප්‍රශ්නය ඇදෙන්නයි යන්නේ. ජෝතිට ආරංචි වෙලා ඔයා මෙහි ඇවිත් ඉන්නවය කියලා. ටිකක් ප්‍රවේශම් වෙන්නකො.’

ටෝනි මට ඉතාම ලෙන්ගතුව මෙන් මගේ කනට ළං වී පැවසුවේය.

‘මචං, ජෝති . . . ඔයාට මතකනේ අර ඔයා හොයන ජර්නලිස්ට්. අර වඩුගේ . . . අර . . . අර බියර් වීදුරුවක් අතේ තියන් අර ඉන්නේ එයා’ ටෝනි හෙිමිහිට ජෝති ළඟට ගොස් මාව පෙන්වමින් පැවසුවේය. ඒ ඇත්තකින් නොව පුංචි විනෝදයක් ලැබීමේ අරමුණින්ය.

ජෝති පානය කරමින් සිටි විස්කි වීදුරුව ද අතැතිව මා ළඟට පැමිණියේය. ජෝතිත් මාත් අතර ප්‍රශ්නය කීප දෙනෙක්ම දැනගෙන සිටියහ. මහා කලබලයක් ඇති වනු ඇතැයි කවුරුත් සිතූහ.

ජෝති මා ළඟට විත් මගේ කර වටා අතක් දැමීය.

‘මොකෝ මේ බියර් බොන්නෙ . . . ජර්නලිස්ට් වුණොත් හොඳට බොන්න එපායැ’

ඔහු ඉතා සැහැල්ලුවෙන් යුතුව පැවසීය.

මට පහර දෙන බවට ප්‍රචාරයක් පැතිර ගිය නමුදු ජෝති මට තම වීදුරුවෙන් විස්කි චුට්ටක් පොවා, ඒ අතරම මගේ වීදුරුවෙන් ඔහු ද බියර් උගුරක් පානය කළේය. ඒ අන්‍යොන්‍ය සුහදත්වය විදහා පෑම සඳහාය.

එදා ඇති වූ මිත්‍රත්වය ජෝතිපාලගේ ජීවිත කතාව (අමරණීය ජෝති) ලියන තරමට ම අතිශය වර්ධනය වූවේය.

ලබන කලාපයේ

විජය කුමාරතුංග පිළිබඳ රස ආවර්ජනයක්

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව