වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




මා ගීත රචකයකු වූයේ රජරට සේවය නිසයි

මා ගීත රචකයකු වූයේ රජරට සේවය නිසයි

මහින්ද චන්ද්‍රසේකර

පුරා හතළිස් වසක් මෙරට ගී පද රචනා ක්ෂේත්‍රයට නිර්මාණ දායක කරමින් කරන ලද්දා වූ මහඟු මෙහෙවර අගය කරනු පිණිස 'මහින්ද චන්ද්‍රසේකර හතළිස් වසරක ගී පද අසිරිය' උලෙළ මෙම මස 23 වැනි දින සවස 3.00 ට කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ. එම උලෙළේ දී ගේය පද රචක මහින්ද චන්ද්‍රසේකර වෙනුවෙන් වෙබ් අඩවියක් විවෘත කිරිම, ඔහුගේ ගීත ඇතුළත් සංගත තැටියක් නිකුත් වීම සහ 'හතළිස් වසරක ගීපද අසිරිය' හා 'පැන මඩ කඩිති' ගීත රචනය හා මගේ අත්දැකීම්' කෘතීන් ද්විත්වය එළි දැක්වීම සිදු වේ. ප්‍රවීණ ගීත රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ පිවිසුම් දෙසුමින් හා ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ හා මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ඇගයුම් දෙසුමින් සමන්විත උලෙළේ දී ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේ, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ජානක වික්‍රමසිංහ, ප්‍රදීපා ධර්මදාස, නවරත්න ගමගේ, ක්‍රිශාන්ත එරන්දක, සේනානායක වේරලියද්ද, මිත්‍ර කපුගේ, උද්දික ප්‍රේමරත්න ගීත ගායනයෙන් එක්වේ. සමන්ත පෙරේරාගේ සංගීත මෙහෙයවීමෙන් සමන් අතාවුදහෙට්ටි සභාව මෙහෙයවනු ලබයි.

'මාතොටින් එන උතුරු සුළඟේ

ගිනි සිඹින මඩු පල්ලියේ

දෑස් අග මුතු අකුරු හංගන

රෝජා මගේ දෝනියේ

වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි

මක් කරන්නද පැංචියේ

ගුරුතුමී මා සිසුවියයි නුඹ

ඒත් අපි එක පංතියේ . . .'

(දීපිකා ප්‍රියදර්ශනී)

මහින්ද චන්ද්‍රසේකරගේ සුභාවිත ගීත කලාවට මුතු ඇටවන් මෙවන් ගීත රාශියක් දායාද කළෙකි. ගෙවුණු දශක හතරකට එහා ගිය කාල වකවානුව පුරා ඔහු අතින් ලියවුණු ගීත ප්‍රමාණය ප්‍රමාණාත්මක වශයෙන් අල්ප වුව ද ඒ සියල්ලම මෙරට ගීත කලාවේ පෝෂණය උදෙසාම නිම වූවන්ය. නුවර කලාවියේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැද්දාකන්ද කඳුවැටිය මායිමේ පිහිටි 'මුව ඇටගම' ග්‍රාමයේ ගැමි පවුලක උපන් මහින්ද චන්ද්‍රසේකරයන් කුඩා අවදියේ සිටම කලාවට ලැදි දරුවෙකු වූයේය. දරුවන් නව දෙනෙකුගෙන් යුතු පවුලක මහින්ද පස්වැන්නා විය. ගැමි ගැහැනියක වූ සිය මවගෙන් උගත් අප්‍රමාණ ජනකවි, ජන කතා, උපහැරණ කුඩා මහින්දගේ සිතට ආශ්වාදයක් ගෙන දුන්නේය. මේ ආශ්වාදය විඳිමින්ම ඔහු අ/කිරිගල්වැව මහා විද්‍යාලයට ඇතුළත් වන්නේය.

'අපේ පාසලට රත්නපුර ප්‍රදේශයෙන් මුල් ගුරුවරයෙක් පත්ව ආවා. එතුමා රණසිංහ සංඝදාස මැතිතුමා. ඔහු කොළඹ යුගය නියෝජනය කළ කවියෙක්. ඒ වගේම හොඳ චිත්‍ර ශිල්පියෙක්. ඒ කාලේ ප්‍රකාශයට පත් වුණ 'දේදුන්න', 'මී වදය' වැනි කවි සඟරා එතුමාට තැපෑලෙන් ලැබුණා. ඒවා අපිටත් කියවන්න ලැබුණා. ඉස්කෝලෙදී දෙසතියකට වරක් හැම සිකුරාදාවකම සාහිත්‍ය සමිතියක් පැවැත්වූවා. මට මතකයි මම පළමු කවිය ලිව්වේ පහේ පංතියේ ඉන්න කොට. සිළුමිණ, මිහිර, බුදුසරණ වගේ පත්තරවල කවි පිටුවල මගේ කවි පළවෙන කොට මට අවුරුදු 13 යි.'

චන්ද්‍රසේකරයන් සිය මතකය අවදි කළේය. පාසලෙන් අධ්‍යාපනය හමාර කළ ඔහු 1975 වර්ෂයේදී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේය. විශ්ව විද්‍යාලය ද ඔහුගේ කවි සිත ආලෝකවත් කරන්නට අත්වැලක් වූයේය. එතෙක් ඔහු විසින් රචනා කළ කාව්‍ය රචනාවන් පද්‍ය එකතුවක් ලෙස 'කමට පන් අමතකය' නමින් ප්‍ර‍්‍රකාශයට පත් කරන්නේ මේ අවදියේදීය. ඔහු මෙම කාව්‍ය එකතුව ප්‍රකාශයට පත් කරනුයේ පූජ්‍ය මුවඇටගම ආනන්ද හිමියන් සමඟ එක්වෙමිනි.

'මේ කාලයේම මගේ හිත නාට්‍යකරණය පැත්තටත් ලොකු ඇල්මක් ඇති වුණා. මම 1976 දී ධම්ම ජාගොඩ සූරින්ගේ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය හා රඟපෑම ඉගෙන ගත්තා. ලීලාරත්න පරණගම ලියා ජයසිරි මොරායස් අධ්‍යක්ෂණය කළ 'ඇතැන්ස් පුරයේ සිට' නාට්‍යයේ චරිත දෙකක් රඟපාමින් මම වේදිකාවට ආවේ එහි ප්‍රතිපඵලයක් ලෙසියි.'

1976 වනවිට කොළඹ විශ්ව විද්‍යාලයේ කලා උපාධි පාඨමාලා සදහා සිංහල විෂය හැදෑරීමට අවස්ථාවක් නොවීය. නමුත් කලා සංගම් මෙන්ම සංගීත සංගම් ද එහි බිහිව තිබුණා. අසෝක සේරසිංහ සභාපතිත්වය දැරූ කලා සංගමය හා පෙරදිග සංගීත සංගමය ද බෙහෙවින් ක්‍රියාකාරිව පැවතිණ. ජයන්ත අරවින්ද, බී. වික්ටර් පෙරේරා, ඩී. ආර්. පීරිස් වැනි සංගීතඥයන් පැමිණ සිසුන්ගේ සංගීත ඥානය වැඩිදියුණු කිරීමට උදව් කළේය. එසේම ආචාර්ය පණ්ඩිත් අමරදේව, විශාර නන්දා මාලිනී, විශාරද ගුණදාස කපුගේ වැන්මෝ පැමිණ ගායන කුසලතා වර්ධනයට උදව් කළෝය. එකල ගුණදාස කපුගේ ගේ දායකත්වයෙන් එළි දුටු 'ප්‍රාර්ථනා' ගී ප්‍රසංගයේ ආධුනික ගීපද රචකයන්ට විවෘත ආරාධනයක් කරමින් එවකට ගුවන් විදුලියේ ඔහු විසින් නිෂ්පාදනය කළ 'නව පදමාලා' වැඩ සටහනට ගීපද රචනා ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය. එවකට කවි ලියමින් සිටි මහින්දට ද මේ ආරාධනය සුවිශේෂ ආරංචියක් විය. මේ යුගය වන විට මහින්ද ඇක්වයිනස් නේවාසිකාගාරයේ සිසුවෙකු වූ අතර ඔහුත් සමඟම ගී පද රචකයෙකු ලෙස නමක් දිනා සිටි වසන්ත කුමාර කොබවක ද වූයේය. ගී පද රචනා කරන්නට මහින්ද ඔහුගෙන් උපදෙස් පැතීය. ඔහු ගීත ලියන්නට දැන සිටියාට ලියන හැටි කියා දෙන්නට දැන සිටියේ නැත. එහෙයින් මහින්ද තම හිතූ මනාපයට පද රචනා හතරක් ලියා ගුණදාස කපුගේට යැවු නමුත් ඒ එකක්වත් ඔහු විසින් ගායනා නොකළේ ගීපද රචනා ගණයට ඒවා ගිණිය නොහැකි තත්ත්වයක තිබූ නිසා වන්නට ඇත.

'ඇත්තටම මට ගීත රචකයෙකු වන්නට මූලික අඩිතාලම වැටුණේ රජරට සේවය හරහායි. 1979 අප්‍රේල් 12 වැනිදා රජරට සේවය ආරම්භ වුණා. එහි ප්‍රථම අධ්‍යක්ෂවරයා වුණේ විශිෂ්ට සන්නිවේදකයෙකු වූ සිරිල් රාජපක්ෂයි. ඔහුත් සමඟ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, විජයානන්ද ජයවීර, ප්‍රේමකීර්ති ද අල්විස්, සේන ගුණසේකර, නිව්ටන් ගුණසේකර, කුලසේන ෆොන්සේකා වැනි විශිෂ්ටයින් රැසක් රජරටට පැමිණෙනවා. ඒ කාලයේ ගුවන් විදුලියේ රිද්මය වෙනස් කරමින් කමතේ, පැලේ, පිලේ, කඩ මණ්ඩියේ සිට වැඩ සටහන් මෙහෙය වන්නට පෙළඹෙනවා. ඒ කාලේ කරපු පිබිදෙන ගායක පරපුර, නවරැල්ල, සංහිඳ, පිලේ පැදුර, නිර්මාණී, රජරට මී බිඳු වැනි වැඩසටහන් අතිශයින්ම ජනප්‍රිය වුණා. ඒ වගේම ඒ වැඩසටහන් අලුත් නිර්මාණකරුවන්ට හොඳ තෝතැන්නක් වුණා. මම ඉස්සෙල්ලාම සම්බන්ධ වුණේ 'සංහිඳ' වැඩ සටහනට. ඒක නිෂ්පාදනය කළේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර. ඔහු තමයි එදා රජරට නවක ගී පද රචකයන්ගේ ගුරුවරයා වුණේ. මා ඇතුළුව පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි, මහින්ද දිසානායක, රෝහණ දන්දෙනිය, කරුණාරත්න ජයතිලක, පොඩිරත්න අඟමලේ, සීතා රංජනී, රංජිත් රූපසිංහ, කේ. එම්. අයි. ස්වර්ණසිංහ ආදීන් ඔහුගේ ශිෂ්‍ය පිරිසට අයත් වෙනවා.'

මහින්ද විසින් රචනා කරන ලද මුල්ම ගීතය වනුයේ 'කුසුමලතා'. ඩී. එම්. රාජරත්න ගැයූ එම ගීතයේ ස්වර රචනය උපාලි ජයලත්ගේ විය. 1981 වර්ෂයේදී දඬුවම් මාරුවක් ලබා විශාරද ගුණදාස කපුගේ ද රජරට ගුවන් විදුලියට පැමිණීම මහින්දලාගේ ගමන් මඟට තවත් ආලෝකයක් විය.

'හාද වෙලා යමන් පනේ

සිරි සැප දෙන්නයි

නුඹට රේන්ද රිදී පට කම්බා

අඳින්න දෙන්නයි . . .'

(කරුණාරත්න දිවුල්ගනේ)

ඉහත ගීතය ඇතුළුව එවකට ජනප්‍රිය වූ 'මරතොණ්ඩිය රටා ඇඳී, උතුරින් එන දුම්රිය දේවී' වැනි මහින්ද රචනා කළ ගීතයන් රැසක සංගීත නිර්මාණ ශිල්පියා වූයේ ගුණදාස කපුගේය. ගී පද රචනයට අමතරව ඔහු රජරට ගුවන් විදුලිය සඳහා පිටපත් රචනයෙන් ද දායක විය. සංහිඳ (ජනශ්‍රැති පර්යේෂණ) රජරට රඟ මඬල (අන්තිම අයිවි කොළය, බර අදින්නාගේ විවාහය) නිර්මාණී (නවකයින් ඇගයීම) නවපදමාලා ඒ අතර වේ.

මහින්ද උපාධිධරයෙකු වීමෙන් පසු 1983 දී යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණයේ කැණීම් පරීක්ෂකයෙකු ලෙස පත්වේ. එහෙත් 1984 දී ඔහු ගුරු වෘත්තියට පිවිසුණේය. අම්පාර දිස්ත්‍රික්කයේ පානම මහා විද්‍යාලයෙන් ඇරැඹෙන ඔහුගේ ගුරු ජීවිතය 2001 වසරේදී ගුරු උපදේශකවරයකු මෙන්ම තරුණ සේවා සරසවියේ කථිකාචාර්යවරයෙකු හා රජරට විශ්ව විද්‍යාලයේ් බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද දිව යන්නේය.

'වර්තමානය වන විට ගීත රචනා කලාව වෙනත් පැත්තකට පෙරළිලයි තිබෙන්නේ. අද ගීතයක් ගත්තොත් ඒකේ ප්‍රධාන වෙන්නේ රූප රචනාවයි, හඬයි විතරයි. වචන, සංගීතය, අනුභූතිය වැනි දේ ගැන හිතන්නේ නෑ. මේක වාණිජකරණයට පත් වෙලා. අනිත් පැත්තෙන් මේක මුදල් හම්බ කරන මාධ්‍යයක් බවට පත් වෙලා. ඒ කාලේ අපි ගීත ලිව්වේ තෘප්තියට විතරයි. ඒ ගීතත් ජනතාව ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කරන සුභාවිත නිර්මාණ. අපිට එවැනි නිර්මාණ භාවිතයක් වෙත යොමු කරන්න හොඳ ගුරුවරු හිටියා. අද එහෙම අයත් නෑනේ. එහෙම රස වින්දනයක් ඇති ගුරුවරු පිරිසකුත් අද නෑ. භාෂාව සහ සාහිත්‍ය විෂය අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බජට් විෂයන් බවට පත් කරලා තිබෙනවා. රසවින්දනය කියන එක අපේ ජාතියට අහිමි වෙච්ච තැන එතැනයි.'

'පැන මඩි කඩිති වැව් තාවුලු වැහි කාලේ

පෙන්වා මග නොමඟ නොවැටී යන තාලේ

සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ . . .'

(සුනිල් එදිරිසිංහ)

මහින්ද චන්ද්‍රසේකරයන් ගී රස සේම සිය නිර්මාණ තුළින් සාහිත්‍ය රසයක ප්‍රබෝධය ශ්‍රාවකයන් වෙත ගෙන ආවේය. වචනාර්ථයට හෝ ශබ්දාර්ථයට පමණක් වශීකෘතව වර්තමාන ගීත ශ්‍රාවකයන් අයාලේ සැරි සරමින් සිටින යුගයක චන්ද්‍රසේකරයන්ගේ මෙවන් ගී පද රචනා කොතෙක් අරුත්බරදැයි විමසා බැලීම වටී.

'ජයසිරි මා හාමුදුරුවනේ

දර මිටි ඇද්දා, රෑ නිදි වැරුවා

ගිණි මැල ගහගෙන රැක හිටියා

එහෙව් අපිට අද එන්න තහංචි ද

ජයසිරි මා හාමුදුරුවනේ . . .'

(විශාරද දීපිකා ප්‍රියදර්ශනී)

වත්මනෙහි ගීත සාහිත්‍යයේ පරිහානිය පිළිබඳ කලකිරී බොහෝ ප්‍රවීණ ගීත රචකයන් ද ක්ෂේත්‍රයෙන් ඈත්ව සිටීම සැබැවින්ම ඛේදවාචකයකි. නව ගී පද රචකයන් කිසිදු ප්‍රමිතියකින් තොරව, සාහිත්‍යයෙන් දුරස්ව, අරුත් සුන්, බොළඳ පද රචනාවන් ජනගත කිරීමේ ප්‍රයත්නය සාර්ථක වන්නට එය ද එක් හේතුවකි. චන්ද්‍රසේකරයන්ගේ ආරාධනය එසේ උකටලී නොවී එක් පහණක් හෝ දල්වන ලෙසටය. එසේම ඔහු මේ ඛේදවාචකය තරමක් දුරට හෝ තුරන් කර ගැනීමට කරන්නා වූ යෝජනාවන් හි ඉදිරියෙන්ම ඇත්තේ ප්‍රවීණ ගායක ගායිකාවන් උදෙසා නව නිර්මාණ බිහි කිරීමට නැවතත් ජාතික ගුවන් විදුලියේ මැදිහත් වීම අත්‍යාවශ්‍ය බවයි.