වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




ලෙස්ටර්: ඔහුය සිනමාව අද

විසංගමනයට දෙබස් කැවේ

රන්ජන් ප්‍රසන්නගේ කුලුඳුල් සිනමාපටය වන විසංගමනය හි දෙබස් කැවීම මේ දිනවලදී සිදු වේ. නුගේගොඩ පිහිටි එම සිනමාපටයේ සංස්කරණ මැදිරියේදී මෙහි හඬ කැවීම් සිදු වේ. මුදල් පසුපස හඹා යාම නිසා තමාට තමා අහිමි වී යන තේමාව පාදක කර ගනිමින් උපාලි ගම්ලත් විසින් විසංගමනය තිර රචනා කොට ඇත.

ඩග්ලස් රණසිංහ, සේමිණි ඉද්දමල්ගොඩ, සමනලී ෆොන්සේකා, හයිසින්ත් විජේරත්න, උදිත් අබේරත්න, නිරෝෂන් විජේසිංහ, චින්තක කුලතංග, චරිත් අබේසිංහ, ඉෂාන් මෙන්ඩිස්, ගාමිණී ජයලත්, බන්දුල සූරියබණ්ඩාර, සුජීව කරුණාරත්න ආදීහු මෙහි චරිත රංගනයේ යෙදෙති. තිෂූල දීපතඹවිට කැමරා අධ්‍යක්ෂවරයාය. තරංග සම්පත් නිරිඇල්ල සහාය අධ්‍යක්ෂණයෙන් එක් වෙයි. ප්‍රියංක තිලක් රත්නායක අංග රචනා ශිල්පියාය. චන්දන ප්‍රියංකර කලා අධ්‍යක්ෂණයෙන් එක් වෙයි.

විසංගමනය මහේෂ් විජේරත්නගේ නිෂ්පාදනයකි.


ඊ. ඒ. පී. ගලගෙදරට ජනාභිමානි සම්මානය

 

ලෙස්ටර්: ඔහුය සිනමාව අද

අප හෙළ සිනමාවේ මහ ඇදුරුතුමන් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙම මස 21 වැනිදා එනම් අද සවස තරංගනී සිනමා ශාලාවේදී විශේෂ වූ උපහාරයකින් පිදුම් ලබයි. එම උපහාර උලෙළ ඉඹ්ඊ ර්‍ථඥධ ඊඍ ආයතනයේ සංවිධානයක් වීම තවත් විශේෂත්වයකි. මෙරට බිහි වූ විශිෂ්ටතම සිනමා කෘතියක් වන රේඛාව ආචාර්ය ලෙස්ටර්ගේ පළමු සිනමා කෘතියයි. සම්පූර්ණයෙන්ම එළිමහනේ රූගත කළ ප්‍රථම සිංහල චිත්‍රපටය ද වේ. ගම්පෙරළිය හරහා ආචාර්ය ලෙස්්ටර් විසින් අප සිනමාව ලෝකයේ ඉහළ තැනකට ගෙන යාමට සමත් විය. ඒ එම සිනමා කෘතිය ඉන්දියානු අන්තර් ජාතික සිනමා උලෙළේදී හොඳම චිත්‍රපටය වශයෙන් සම්මානනීය වෙමිනි. එය එදා මෙදාතුර සිංහල සිනමාවේ අභිමානවත් සම්මානයකි. මිනිස් ජීවිත තුළ ඇති අඳුරු අහුමුලු විවරණය කරමින් ජීවිත කතිකාවක් සිනමාවට ගෙන ආ ආචාර්ය ලෙස්ටර් ලාංකික සිනමාවේ සැබෑ සලකුණ ද වේ. එතුමා ඊළඟ පරම්පරාවට පියකු ද වූයේය. හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සිනමාවට හඳුන්වා දුන්නේ ද ආචාර්ය ලෙස්්ටර් විසිනි. මෙවන් වූ අනුපමේය මෙහෙවරක් කළ ආචාර්ය ලෙස්ටර් අද දිනයේ ද ඇගයෙන්නේ මෙතෙක් කළ මෙහෙයට කෘතගුණ සැලකීමක් වශයෙනි. ආචාර්ය සරත් අමුණුගම, ජයන්ත චන්ද්‍රසිරි, දීප්ති කුමාර ගුණරත්න සහ අජිත් ගලප්පත්ති මෙහිදී දෙසුම් පැවැත්වීමට නියමිතය. වජිර ජයවර්ධන මෙම අවස්ථාව නිවේදනයෙන් මෙහෙයවනු ලබයි.


සිනමා මාධ්‍යවේදීන්ට සිනමාභිමාන සම්මාන

ආතර් යූ. අමරසේන, අර්නස්ට් වඩුගේ, සිරි කහවල, ඒ. ඩී. රන්ජිත් කුමාර, බන්දුල පද්මකුමාර සම්මානයෙන් පිදුම් ලබයි

කලාකරුවන් නිරන්තරයෙන් අගයනු ලැබූවත් කලාකරුවන්ගේ ගමන් මඟට ආලෝකයක් වන සිනමා පුවත්පත් කලාවේදීන් අගයනු ලබන්නේ ඉතාම කලාතුරකිනි. එවන් වූ විරල අවස්ථාවක් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති රිදී රැයක් ප්‍රසංගය අතරතුරදී සිදු විණ. එහිදී වසර ගණනාවක් පුවත්පත් කාලවේ නියැලුන ජ්‍යෙෂ්ඨ සිනමා මාධ්‍යවේදීන් පස් දෙනකු සිනමාභිමානි සම්මානය පිරිනැමිණ.

ආතර් යූ. අමරසේන, අර්නස්ට් වඩුගේ, සිරි කහවල, ඒ. ඩී. රන්ජිත් කුමාර සහ බන්දුල පද්මකුමාර එලෙස උපහාර සම්මාන ලැබූ පුවත්පත් කලාවේදීන්ය.


රේණුකාගේ සොයුරා අභාවප්‍රාප්ත වෙයි

චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරියගේ ආදරණීය සොයුරා වූ සුදත් බාලසූරිය අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 50 කි. රේණුකා නිෂ්පාදනය කළ සෑම චිත්‍රපටයකම නිෂ්පාදන කළමනාකරුවකු වශයෙන් එම නිර්මාණවලට දායකත්වය ලබා දුන් සුදත් කලක පටන් රෝගාතුරව සිටියේය. ක්ෂේත්‍රයේ පිරිස අතරේ සුදත් පිළිබඳ ඇත්තේ මහත් වූ පැහැදීමකි. ඒ ඔහු දායක වන නිර්මාණයන්හි තම වගකීම හොඳින් ඉටු කරනා බැවිනි. අකාලයේ අප අතරින් සමුගත් සුදත්ගේ අවසන් කටයුතු පසුගිය සිකුරාදාවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරිණ.


ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමේ මෙහෙයුම් නිලධාරී ජයරත්න ගලගෙදර ජනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති විශේෂ උත්සවයකදී ගලගෙදර මෙසේ සම්මානිත විය. වසර 25 කට ආසන්න කාලයක් කලා ක්ෂේත්‍රයේ විවිධ අංශයන් නියෝජනය කරමින් කළ මෙහෙවර උදෙසා ගලගෙදරට මෙම ගෞරව සම්මානය හිමි විය. ගලගෙදර මේ වන විට නළුවකු වශයෙන් ද කැපී පෙනෙයි. මේ දිනවල තිරගත වන ඒ ලෙවල් සිනමාපටය ඔස්සේ ගලගෙදරගේ රැඟුම් දැක බලා ගත හැකිය.


අතුල ගේ හඬකැවීම් කලාව හෙට එළිදකියි

හඬකැවීම් ශිල්පයේ පුරෝගාමීයාවූ ටයිටස් තොටවත්ත සූරින්ගේ ප්‍රධාන ගෝලයා වන්නේ අතුල රන්සිරිලාල් ය. ඔහු හඬකැවීම් ශිල්පය පිළිබඳ දෙස් විදෙස් සියලුම කරුණු ඇතුළත් කරමින් හා අත්දැකීම් ඇතුළත් කරමින් අපේ රටේ පළමු වරට රචිත ‘හඬකැවීම් කලාව‘ කෘතිය හෙට (22 වැනිදා) රූපවාහිනි සංස්ථාවේ රජත මැදිරියේදී එළිදැක්වෙයි.

එදිනම ඔහුගේ තිස්හතර වසරක සේවාව අගයමින් ඔහුගේ ගෝලයන් සහ විද්වතුන් විසින් රචිත ‘රන්සිරිලාල් රන්සැරිය‘ කෘතිය සහ ඔහු විසින් රචිත ගීත ඇතුළත් සංගත තැටි ද්විත්වයක්ද නිකුත් කෙරෙයි. එදිනට විශේෂයෙන්ම ඔහු වෙනුවෙන් නිර්මාණය කරන ලද අභිනන්දන ගීතය ගයන්නේ නව පරපුරේ ගායිකා ශෂිකා නිසංසලා විසිනි.


කීර්තිගේ අලුත් චිත්‍රපටයට නළු නිළියන් ඕනෑලු

කීර්ති බණ්ඩාරගේ හත්වැනි සිනමාපටය ලබන වසරේදී රූපගත කිරිමට නියමිතය. ඒ ඔස්සේ නවක නළු නිළියන් කිහිප දෙනෙකු සිනමාවට හඳුන්වාදීමට සූදානම්ය. එය මෙම මස 28 වැනිදා කිරිබත්ගොඩ වයි. එම්. බී. ඒ. ශාලාවේදී පැවැත්වීමට නියමිතය.