|
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්
උඳුවප් නත්තලේ උණුසුම තුරුලු කරගෙන අසෝක පීරිස් නම් රංගවේදියා මීට හරියටම දස වසරකට පෙර ජීවිතයෙන් සමු ගත්තේ 2007 වසරේ දෙසැම්බර් 24 වෙනිදාය. 1980 වසරේ එක්තරා දිනක නාට්‍ය නිෂ්පාදකවරයකු හා චිත්‍රපට පසුබිම් ගායකයකුව සිටි ඇලන්සන් මෙන්ඩිස් සමඟ ඉතා ප්‍රසන්න සිනහ රැල්ලකින් යුතු පුද්ගලයකු එවකට ‘සරසවිය’ කර්තෘවරයාව සිටි ධර්මදාස බොතේජු මහතා හමුවීමට පැමිණියේය. කර්තෘවරයා විසින් මේ දෙදෙනා මා වෙත යොමු කළේය. ඇලන්සන් විසින් ‘අසෝක පීරිස්’ මට හඳුන්වා දෙන ලදී. ඔහු මගේ අත අල්ලා තමාගේ නම යළිත් පුනරුච්චාරණය කරන විට මට එකවරම මතක් වූයේ අසෝක පීරිස් නමින් ප්‍රකට සම්මාන ලැබූ කෙටිකතා රචකයෙකු සිටි බවය. ඔහු අප අතරින් වෙන් වූ සම්මානනීය ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහගේ මවගේ සහෝදරයාය. ‘මොකද රන්ජිත් හිනා ගියේ මගේ නම කිව්වාම’ යි අසෝක ද පුළුල් සිනාවකින් මට සංග්‍රහ කරමින් කීවේය. ‘නැහැ, තව ප්‍රසිද්ධ කෙටිකතාකරයෙක් ඉන්නවා ඒ නමින්ම. නරකද තව කොටසක් නමට එකතු වුණොත්’ ‘ඇත්තම කියනවා නං මම ඇලන්සන්ට උදව්වට ආ මිසක කලා ලෝකයට එන්න වැඩි බලාපොරොත්තුවක් නැහැ. ඇලන්සන්ගේ නාට්‍යයක රඟපාලා තියෙනවා. දැන් ඇලන්සන් කෙටි චිත්‍රපටයක් කරනවා. ඒ චිත්‍රපටයේ සුළු චරිතයක් කරනවා’ අසෝක කීවේය. මොරටුව තරුණ සංවිධානය වෙනුවෙන් ඇලන්සන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ ‘පළා මල්ල’ නම් වේදිකා නාට්‍යයෙන් 1965 වසරේ දී අසෝක ප්‍රසිද්ධ වේදිකාවට පැමිණියේය. ඒ වන විට ඇලන්සන් 1950 තිරගත වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ‘හදිසි විනිශ්චය’ චිත්‍රපටයේ රුක්මණී දේවි සමඟ යුග ගීත ගායනා කර තිබුණි. ‘ප්‍රේම රජා මාගේ’, ‘මනු ලෝකේ’, ‘සංසාර සැපා නාස්ති වේ’ ඒ ගීතයන්ය. අසෝක ලූෂන් ද සොයිසාගේ ‘කෙලෙස් ගිර’ වේදිකා නාට්‍යයේ ධාතුසේන රජතුමා ලෙස රඟපෑවේය. තමාට චිත්‍රපටයක රඟපෑමට ආසාවක් ඇතිවීමට ප්‍රබල හේතුවක් තිබූ බව එදා ඔහු අපට කීවේය. ‘මට චිත්‍රපට නළුවකු වීමට අවශ්‍ය කඩවසම් බව හෝ සිත් ඇද බැඳ ගන්නා ගමනක් බිමනක් හෝ ගැඹුරු කටහඬක් හෝ තිබුණේ නැහැ. ඒත් නළුකුවීමට තදින්ම අවශ්‍ය වුණ ප්‍රබල කරුණක් තිබුණා. මගේ පියා (මිල්ටන් පීරිස්) මිය ගියේ පුංචි කාලේ. මට තාත්තාගේ රුව මතක නෑ, පින්තූරවලින් මිස. මේ අතර 1977 වසරේ මම දරුණු ලෙස රෝගාතුර වුණා. වෛද්‍යවරුන්ට පවා මගේ රෝගය විනිශ්චය කර ගන්න බැරිව ගියා. මේ වන විට මගේ ලොකු පුතාට වයස අවුරුදු 06 ක් පමණ ඇති. දෙවෙනි පුතාට අවුරුද්දක් පමණ ඇති. මම ඉක්මණින් මරණයට පත් වෙයි කියලා හිතුවා. ඊට කලින් මගේ රුව කුමන මාධ්‍යයකින් සටහන් කළ යුතුයි කියලත් සිතිවිල්ලක් අවා. මම හිතුවා එයට සුදුසු මාධ්‍යය සිනමාව කියලා. ඒ නිසා චිත්‍රපටයක රඟපා මගේ රුව ඉතුරු කරලා තිබුණොත් දරුවන්ට මාව මතක් වේවි කියලා මට හිතුණා. අසෝකාට 1981 තිරගත වූ රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ ‘තණ ගිරවි’ චිත්‍රපටයේ වෛද්‍යවරයකු ලෙස මුල්වරට රඟපෑමට අවස්ථාව ලැබිණ. එහෙත් අසෝකාට චිත්‍රපටයක පෙනී සිටීමට අවස්ථාවක් ලැබී ඇත්තේ 1965 වසරේදීය. ‘මට චිත්‍රපටයක පෙනී සිටීමට සිදු වූයේ අහම්බෙන් වගේ. චිත්‍රපට අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ‘දෙලොවක් අතර’ චිත්‍රපටයේ එක දර්ශනයක් රූපගත කිරිමට වැල්ලවත්ත රෙදි මෝලේ කර්මාන්ත ශාලාවට ආවා. ඒ කාලේ මම එම කර්මාන්තයේ සහකාර කළමනාකරුවා ලෙස සේවය කළේ. එදා ඒ දර්ශනයක් රඟපෑමට ආ ටෝනි රණසිංහ, ජේ. බී. එල්. ගුණසේකර (පුතා සහ පියා ලෙස රඟපෑ) සමඟ කර්මාන්ත ශාලාව හරහා ඇවිදගෙන යන්න එතැනදී තිබුණේ. වැඩ කළමනාකාර වූ මට පියා විසින් තම පුතුව හඳුන්වා දීම. ඒ තප්පර කිහිපයක දර්ශනයක් ඒක. ඒක පෙනී සිටීමක් විතරයි.’ 1942 මාර්තු 05 වෙනිදා මොරටුවේ උපත ලැබූ හන්දියගේ අසෝක පීරිස් අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. තමාට විද්‍යාලයේදී සිංහල විෂයය ඉගැන් වූ අරිසනේ අහුබුදු, විනී විතාරණ, සඳදස් කෝපරහේවා, ලියනගේ ජිනදස් ආදී වියත් පඬිවරුවන් වූ ගුරුවරුන් නිසා කලා රසාස්වාදය ලැබූ බවය. ඒ වගේම කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇසුරු කිරීමේ දුර්ලභ අවස්ථාව මට ලැබුණා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ‘කලියුගය’ හා ‘යුගාන්තය’ චිත්‍රපටවලත් සුමිත්‍රා පීරිස්ගේ ‘මායා’ හා ‘යහළු යෙහෙළි‘ චිත්‍රපට රඟපෑමට මාව තෝරා ගත්තා’ අසෝක කීවේය. අසෝක පීරිස් රඟපෑ චිත්‍රපට අතර විරාගය, සත්‍යග්‍රහණය, හිමිගිර, සුරබිදෙන, ගුරුගෙදර, සිසිල ගිනි ගනී, අලිබබා සහ හොරු හතළිහ, මාරුතය, පවන රළු විය, සරෝජා, චක්‍රායුධ, දෑසේ මල් පිපිලා, ගිනි අවි සහ ගිනි කෙළි, මන්දාකිනි, යක්ෂාවේශය, අනන්ත රාත්‍රිය, කිනිහිරියා මල්, පොරොන්දුව, තහනම් ගහ යන චිත්‍රපට කැපී පෙනෙයි. අසෝකා, යුගාන්තය, විරාගය චිත්‍රපටවල රඟපාන දිනවල නොතිත් ආසාවෙන් සම්භාව්‍ය විදේශ චිත්‍රපට නැරැඹුවේය. ඇතැම් දිනවල මා සමඟ මරදානේ ගාමිණී සිනමාහල අසල පොත් කඩ පීරා සිනමාව ගැන පොත්පත් සෙව්වේය. ඇතැම් කඩයක පොත් වෙළෙන්දෙක් අසෝකා ටෙලි නාට්‍යයකින් දැක තිබූ නිසා ‘මේ බණ්ඩා මහත්තයා නේද? මොනවද ළඟදී අපට බලන්න ලැබෙන රූපවාහිනි නාට්‍ය’ යයි කුලුපඟ විය. එයට හේතුව වූයේ එක දිගටම බණ්ඩා ලෙස චිත්‍රපට හා ටෙලි නාට්‍යවල අසෝක රඟපෑමය. ‘රන්ජිත් මම කැමතිම නළුවා ජේම්ස් ඩීන්. මට පුළුවන් නම් මිනිහගේ ලොකු පෝස්ටරයක් සොයා දීපන්කෝ’ වරක් අසෝක මට කීය. ‘අපි පිටරට යන කෙනකුට කියලා ගෙන්න ගමු’ මම යෝජනා කළෙමි. ඇතැම් හවස් යාමයක ඔහු ගල්කිස්සේ ශාන්ත තෝමසුන්ගේ ආදි ශිෂ්‍ය විවේකාගාරයට මා කැඳවාගෙන ගියේය. ඒ සෑම විටකම ඔහු බ්චථඥඵ ච්ඥචද නම් තම ප්‍රියතම නළුවා ගැන කතා කිරිමට අමතක නොකළේය. ‘මේ නළුවා රඟපෑවේ අවුරුදු 4 යි. බලපන් මිනිහා ඇට් කරපු ඡ්චඵබ ධට ඡ්ඤඥද, ට්තචදබ, අඥඡඥත එඪබඩධභබ ච ඛ්චභඵඥ බලල තියෙනවා. ඩීන් මැරුණාට පස්සේ පෙන්නපු ෆිල්ම් බැලුවාම දුක හිතෙනවා’ එදා අසෝක කීවේය. අසෝක හා කතා කරමින් සිටි තැනට තරබාරු පුද්ගලයෙක් ආවේය. ‘උඹ දැකල තියෙනවද? මාත් එක්ක හිනා වුණ අර මහත පුද්ගලයා’ ‘ඇත්තටම නෑ’ ‘මචං අමිත’ යයි අසෝක ඔහුට කතා කළේය. ‘මේ අමිත අබේසේකර. මුඩ්ලියර් අබේසේකරගේ පුතා. හොඳ කාටුන් කාරයෙක්. ඊඩඥ ධ්ඵතචදඤ එකට මූ ලියනවා හොඳ තීරු ලිපියක්.’ අමිත අබේසේකර අඳින විකට චිත්‍රත් තීරු ලිපි දැක ඇතත් ඔහු මුල්වරට දැක ගත්තේ එදිනය. ඔහුගේ පියා වූ ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ මුදළිඳු ඊ. ඒ. අබේසේකර ගැන නොයෙක් දේ අසා කියවා ඇති බව මම අමිතට කීවෙමි. ‘හැබැයි පුතෝ මූ තාත්තා තරම් බ්‍රයිටෙක් නෙවෙයි’ අසෝක විහිළුවක් කළේය. අද අසෝකත්, අමිතත් ජීවතුන් අතර නැති නමුත් ගල්කිස්්සේ සේරම් මාවත අසලින් යන විට මට ඒ පරණ අතීතය සිහිපත් වේ. අසෝකගේ කිට්ටුම හිතවතුන් වුණේ තිස්ස අබේසේකර, දයා අල්විස්, ශ්‍රියාණි අමරසේන, ආතර් යූ. අමරසේන, ලාල් පියසේන ආදීහුය. ඔවුහු මුළු පවුල් පිටින්ම අසෝකගේ නිවසට ආව ගියහ. මොරටුව ඉඩමේ පීරිස් මාවතේ පදිංචිව සිටි අසෝකගේ නිවස පිහිටා තිබුණේ බොල්ගොඩ ගඟ අද්දරය. ඇතැම් දිනවල ගඟ අද්දර සඳ එළිය ඇති රාත්‍රියක අපි සප්පායම් වෙමින් සිටියෙමු. එදා තිස්ස අබේසේකර, දයා, ලාල් හා අසෝකගේ කිට්ටුම මිතුරා වූ (කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නැති) හර්බට් සිල්වාත් කතා කරමින් සිටියදී තිස්ස දිවි හිමියෙන් කැප වී සිටි ලංකා සමසමාජ පක්ෂය ගැන උදම් අනමින් සිටියේය. ඇන්. ඇම්, කොල්වින්, ලෙස්ලි, ඩොරික්, බර්නාඩ් ගැන රසකතා රැසක් තිස්ස රඟපාමින් ද, සිත් ඇද ගන්නා ලෙස විස්තර කරමින් සිටියේය. අසෝක, තිස්ස හා සමසමාජය ගැන නොයෙක් විහිළු තහළු කිරීමට සැරසී සිටියේය. මචං තිස්ස, දැන් උඹලාගේ සමසමාජ නායකයෝයි, විද්වත්තුයි හුඟ දෙනෙක් මැරිලා. මම අද අනාවැකියක් කියන්නම් වැඩිකල් නොගිහින් උඹ සමසමාජයේ නායකයා වෙනවා’. තිස්ස උස් හඬින් සිනාසෙමින් කීවේ, ‘මචං අපේ සමසමාජ පක්ෂයේ තව පසු පෙළ නායකයෝ ටිකක් ඇන්. අම්. හදලයි මැරුණේ.’ අශෝක තරම් යාළුවන්ට, හිතවතුන්ට දුකේදී පිහිට වුණ අල්පයක් වූ නළුවන් අතර කෙනකු ලෙස මට හඳුන්වා දිය හැකිය. ඒ තරම්ම ඔහු හදවත උණු වන්නේය. මෙයින් අයුතු ප්‍රයෝජන ගත් අය ද සිටියහ. එහෙත් දැන දැනම ඔහු ඔවුනට උදව් උපකාර කළේය. දැඩි ආගම් භක්තිකයකු වු ඔහු ලෙඩට දුකට පැමිණි හිතවතුන් වෙනුවෙන් තම භක්තිමත් කිතුනු මිතුරු මිතුරියන් සමඟ එක්වී ඔවුන්ට සුව පතා යාඥා කළේය. ඔහු හාපුරා කියා රඟපෑ ‘බයිසිකලය’ ටෙලි නාට්‍යය ප්‍රධාන චරිතය රඟපෑමට තිස්ස අබේසේකර අවස්ථාව ලබා දුන් අතර විජය ධර්ම ශ්‍රීගේ ‘සමන්තැන්න’ ටෙලි නාට්‍යයේ ද ප්‍රධාන චරිතය වූ ගජබණ්ඩා ද ලැබුණේය. ලෙස්ටර්ගේ ‘සැළලිහිණි ගම්මානය’, සුමිත්‍රාගේ ‘සේරිවාණිජ’, තිස්සගේ ‘මායා’, දොළොස් මහේ ගංගාව, පිටගම්කාරයෝ, විජය ධර්ම ශ්‍රීගේ ‘රන් දොරටුව‘, සුදත් දේවප්‍රියගේ ‘අඹ යහළුවෝ’ ඇන්ඩෲ ජයමාන්නගේ ‘චලඅචල’ යන ටෙලි නාට්‍යවල ඔහු රඟපෑවේය. අසෝක තම කෙටි රංගන ඉතිහාසයේ චිත්‍රපට හා ටෙලි නාට්‍ය රඟපෑම් සඳහා සම්මාන කිහිපයක්ම හිමි කරගෙන ඇත. මුල්ම සරසවි කුසලතා සම්මානය 1988 ‘විරාගය’ චිත්‍රපටයේ සැමීගේ චරිතය නිරූපණය කිරීම සඳහාය. 1994 වසරේ ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ‘ගුරු ගෙදර’ චිත්‍රපටයේ ආරිය බණ්ඩාර නම් මුල් ගුරුවරයාගේ චරිතය සඳහා හොඳම නළුවාට හිමි සරසවිය සම්මානයත්, ඕ. සී. අයි. සී. නිර්මාණශීලී රජත සම්මානයත්, 1995 වසරේ නිමල් තෙන්නකෝන්ගේ ‘යක්ෂාවේශය’ චිත්‍රපටය උදෙසා විචාරක සම්මානයත්, 2000 වසරේ ජී. ඩී. එල්. පෙරේරාගේ ‘චක්‍රායුධ’ චිත්‍රපටයේ සරසවි කථිකාචාර්යවරයාගේ චරිතය සඳහා සහාය නළුවාට හිමි ජනාධිපති සම්මානයත් ලබා ගත්තේය. ටෙලි නාට්‍ය සඳහා ද අසෝක ප්‍රධාන සම්මානයක් දිනා ගෙන ඇත. 1998 වසරේ පැවැත් වූ සුමති සම්මාන උලෙළේ දී හොඳම ටෙලි නාට්‍ය නළුවා ලෙස සම්මානය දිනා ගත්තේ ඇන්ඩෲ ජයමාන්න අධ්‍යක්ෂණය කළ ‘චල අචල’ ටෙලි නාට්‍යයේ ඇලෙක්ස් ලෙස රඟපෑ චරිතය සඳහාය. අසෝකාට විදේශීය චිත්‍රපට කිහිපයකම රඟපෑමට අවස්ථාව සැලසිණ. ‘ෂැඩෝ ඔෆ් ද කෝබ්‍රා’, ‘ඩෙත් ස්ටොන්’, ‘මනෙකා’, ‘ජන්ගල් හීට්’ ඒ චිත්‍රපට අතර වෙයි. එදා තම ප්‍රථම සම්මානය ලැබූ දා අසෝක කීවේ ‘ඒ සම්මානය තමාගේ මියගිය දෙමාපියන් වූ මිල්ටන් හා මිලීටත්, තමාව හදාගත් ජේ. එල්. ඩී. ප්‍රනාන්දු පුංචි අම්මාටත්, වසර 45 ක් දුක සැප බැලූ බිරිඳ චිත්‍රාටත්, භාෂා දැනුම පෝෂණය කළ ඇදුරු අරිසෙන් අහුබුදු සූරීන්ටත්, රඟපෑමට හඳුන්වා දුන් ඇලන්සන් මෙන්ඩිස්, අත හිත දුන් ලෙස්ටර්, සුමිත්‍රා, තිස්සට හිමි විය යුතු’ බවය. දයාබර සැමියකු හා පියකු වූ ඔහු සමාජ සේවා කටයුතුවල මෙන්ම ආගමික කටයුතුවල ද පුරෝගාමියෙකු විය. මොරටුව කලා එකමුතුව බිහි කිරීමට මුල් වූයේ ද ඔහුය. 964 අප්‍රේල් 24 වෙනිදා මොරටුවේ චිත්‍රා සමඟ විවාහ වූ අසෝක තම බිරිඳට දැක්වූයේ අසීමිත ආදරයකි. ඔහුගේ ශක්තිය වූයේ ඇයය. පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි, දර්ශනය හා ආර්ථික විද්‍යාව හදාරා උපාධිය ලත් චිත්‍රා වසර 11 ක් මෙරටුව මෙතෝදිස්ත මහා විද්‍යාලයේ උප විදුහල්පතිනිය ලෙස කටයුතු කොට පසුව මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයේ ආචාරිනියක් ලෙස ද කටයුතු කළාය. මීට වසර 10 කට පෙර මියගිය තම සැමියා ගැන අතීතය ගැන කතාකරමින් මෙසේ කීවාය. ‘එදා නත්තල් දාට පෙර දා මොරටුව ශුද්ධ වූ එමානුවල් දේවස්ථානයේ පසුදා ගෙන යන සොරොලේ ගැන සංවිධාන කටයුතු කරලා ගෙදර ආවා. අද ඇඟට ටිකක් අමාරුයි චිත්‍රා කියලා ඇඳේ ඇල වුණා. දේවස්ථානයේ එදින කරන කටයුතු ගැන එරන්ජන් පෙරේරාට උපදෙස් දුන්නේ ඇඳේ නිදාගෙන. ආගන්තුකයෙක් අපේ කාමරයට ආපු මුල්ම අවස්ථාව ඒ. අසෝක ගෙදර ආවෙත් හොඳට මහන්සි වෙලා. සියලුම ලිපි ගොනු පල්ලියේ භාණ්ඩාගාරිකට භාර දීලා. මට කිව්වා ‘ගිය නත්තලට කරපු ‘සොරොලේ’ කැසට් එක එරන්ජන්ට බලන්න දෙන්න’ කියලා. කියලා ඉවර වෙනවත් එක්කම එයගේ ඔළුව කොට්ටෙන් පහතට වැටුණා. එතකොටම හුස්ම ගිහින්. නත්තල උදාවෙන්න තිබියදී අසෝක සැපදායක මරණයකට මුහුණ දෙන්න සිදු වුණේ. හෘදයාබාධයකින් අසෝක මිය ගියේය. අසෝක නැතිව දැන් වසර 10 ක්. ඒ පාළුව, ඒ අඩුව මට තව දරා ගන්න බැහැ. මම දැන් රෝගීයි. මගේ පුතුන් දෙදෙනා හා ලේළිලාත්, දුවත් බෑණත් මාව හොඳට බලාගන්නවා. ලොකු පුත් දේව ප්‍රකාශ් ළඟ මම ඉන්නේ. එයාගේ බිරිඳ ගයාත්‍රි මගේම දුවක් වගේ මාව රැක බලා ගන්නවා. පොඩි පුතා ඒසාන්තත්, ඇනා මාරිත් මට අවශ්‍ය බෙහෙත් හේත් ලබා දෙනවා. දුව මේනකා හ සැමියා වූ මාලින්ද දේවගැතිතුමාත් එයාලගේ වාහනයෙන් මට අවශ්‍ය තැන්වලට ගෙන යනවා. මට ලොකු සතුටක් වගේම වාසනාවක් දරුවන් තිදෙනාත්, ලේලිවරු දෙදෙනාත්, බෑනත් ලැබීම. ඒ වගේමයි අම්රිත්, ධාරක, මේෂක් මුනුබුරන් මගේ ලෝකය. ‘අසෝ’ හිටියනං මේ තිදෙනාව ඇස් දෙක වගේ බලා ගනීවි. මම මෑතක් වනතුරුම ටියුෂන් දුන්නා. ආයෙත් නව වසරේ ඒක පටන් ගන්නවා. දෙවියන්ගේ පිහිටෙන් අද මම ජීවත් වන්නේ දරු මුනුබුරන් නිසා. ඒ සඳහා දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වේවා’ චිත්‍රා කීවාය. මනුෂ්‍යත්වයෙන් සපිරි අසෝක’ නම් මගේ හිතාදර මිතුරා ගැන මගේ පෞද්ගලික ඇත්දැකීමක් සඳහන් කළ යුතුව ඇත. 1989 වසරේ මගේ බිරිඳ දමයන්ති ඉතා අසීරු මොළයේ සැත්කමක් කළ අවස්ථාවේ ඔහු දුක සැප බලා සැත්කම් කරද්දී තම මිතුරු කණ්ඩායම සමඟ දෙවියන්ට යාඥා කළේය. එපමණක් නොව ඉඳිබැද්දේ දේවස්ථානයට භාර වී, සුව වූ පසු දමයන්ති හා මා එම ශුද්ධ වූ දේවස්ථානයට කැඳවා ගෙන ගොස් බාරයෙන් නිදහස් වූ ඔහු අප ආශිර්වාදය කළේය. නිල නොලත් දේව දූතයකු හා සාන්තුවරයකු වූ අසෝක අපට නම් ජීවතුන් අතර සිටින තාක් අමතක නොවේ. හැම වසරකම නත්තල සමඟ ඔහු මට නිබඳ සිහිවේ.
|