වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




යෝජනා තුන්සිය හැටපහකින් තෝරාගත් මංගල යෝජනාව

යෝජනා තුන්සිය හැටපහකින් තෝරාගත් මංගල යෝජනාව

ශි‍්‍රයාණි - අමරසේන ගෙදරට ගොඩවීමු

“ගෙපිලෙහි රැස් වී කතාබහින් සන්තෝෂ වන පිරිස අතර සිටි එක් දැරියක් මගේ සිත් ගත්තා ය. පාසලට යන විට ගවුම අඳීන ඇගේ කය අද වසා සිටියේ සාරියකි. ඈ හා කතාබහ කිරීමටත් ඈ දෙස බැලීමටත් ආසාවක් මා තුළ හට ගත්තේ ය. පාසලෙහිදී මා හැමදා දැක පුරුදු සිනිඳු කොපුල් දෙකත් කෙළින් පිහිටි නැහැයත් ඇති ඇගේ මුහුණ පෙර නොවූ විරූ සුන්දරත්වයක් අද ලැබුවේ කෙසේද? වෙසක් පහන් අමුතු දීප්තියකින් බබළයි. සඳරැස් වඩාත් සීතවෙයි...”

ඈ දුටු සැණින් එක්වරම මගේ සිතට පිවිසියේ විරාගයේදී වරෙක අරවින්ද සරෝජනීව වර්ණනාවට ලක්කළ අයුරුය. තිස්ස අබේසේකරගේ ‘විරාගය’ චිත්‍රපටයේදී සරෝජනීගේ චරිතය කිසිදිනෙක සිනමා ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් අමතක නොවේ. අරවින්ද තරමටම ඔවුන් සරෝජනීටත් ආදරය කළ බව මම දනිමි. ඒ සරෝජනීට පණ පෙව්වේ අන්කවුරුත් නොව අද ද ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය ලබන ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසේන ය. සරෝජනීට තරමටම ඔවුන් ශ්‍රියාණි අමරසේන නම් රංගන ශිල්පිනියටද ආදරය කළා ය. අද ද ආදරය කරන්නී ය. ‘දෑසනිසා’, ‘ගොළු හදවත’, ‘කල්‍යාණි ගංගා’, ‘රත්තරන් අම්මා’, ‘මංගලා’, ‘අහසින් පොළවට’, ‘සරුංගලය’, ‘එකහිත’, ‘බිනරි සහ සුදුබණ්ඩා’, ‘දෑසේ මල්පිපිලා’, ‘කුළගෙය’, ‘තරණය’ ඇතුළු චිත්‍රපට රැසකම කළ රංගනයෙන් අපගේ හදවතේ නොමැකෙන මතකයක් ලෙස නිදන් ගතවී සිටින ඈ රිදී තිරයේ අවිහිංසකාවිය ලෙසද අභිසෙස් ලැබූවා ය. ඒ අවිහිංසකාවිය අද ප්‍රවීණ රංගන ශිල්පිනියකි. නිෂ්පාදිකාවකි. පරිණත මවකි. සම්මානනීය නිළියකි. කලකට පසුව අපි ඈ හමුවන අටියෙන් ඇගේ අග්ගොන පිහිටි නිවෙස වෙත පියමැන්නෙමු. සොඳුරු සිනහවකින් මුවඟ සුන්දර කළ ඇගේ දසුන අපව පිළිගත් අතර සාලයේ අසුන්ගෙන සිටියේ අගේ දයාබර සැමියා ප්‍රවීණ මාධ්‍යවේදී ආතර් යූ අමරසේනයන් ය. ඔහු හා කතාබස් කළ අප හැරුණේ මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය සමඟ දිගු කතාබහකට මුලපුරන අදහසිනි.

“මේ දවස්වල ඔබ අලුත් වැඩකට අත පොවලා බව ආරංචියි”

“ඇත්තටම මේ දවස්වල මම පිටස්තර කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා අඩුයි. මොකද එකක් මට ටිකක් විවේකය අවශ්‍යයි. අනෙක් කාරණය නම් මා සම්බන්ධීකරණය කරන ‘පාදයාත්‍රා’ කියන චිත්‍රපටයේ ඉතිරි රූගත කිරීම් සඳහා නේපාලයේ කත්මන්දු නුවර යන්නයි සූදානම් වන්නේ. මේ දවස්වල එහේ ටිකක් සීතලයි. ඒ නිසා ජනවාරි මාසයේ එහි රූගත කිරීම් සඳහා යන්නටයි අප සිතාගෙන සිටින්නේ. මට ටිකක් වැඩ වැඩි එහි සම්බන්ධීකරණය කිරීම් කටයුතු කරන නිසයි. ඒ රටත්, මේ රටත් සම්බන්ධීකරණය කිරීම් කටයුතු කිරීමට මට අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය බොහෝ සහයෝගයක් ලැබුණා. එහි රූපගත කිරීම් සඳහා සෑහෙන මුදලක් වැයවෙනවා. ඒ සඳහා වන සෑම පහසුකමක්ම තනාපති සේවය හරහා, අමාත්‍යාංශය හරහා අපට ලබා දුන්නා. එවැනි උදව්වක් කිරීම අගය කළයුතු කටයුත්තක්. මේ කටයුතු නිසා මා වෙනත් කටයුතුවල නිරත වන්නේ නැහැ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුයි. ඔහු බොහොම හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ අධ්‍යක්ෂයෙන් යුතුව මේ වනවිට කළ රූගත කිරීම් හොඳීන් සිදුවුණා. ඒ වගේ ම පසුගිය දවස්වල වසර අවසානයේ තිබුණු රිදී රැයක් ප්‍රසංගයත් මතකයට නැඟිය යුතුයි. ඒ කටයුත්ත බොහොම සුන්දර අයුරින් පැවැත්වුණා. මෙහිදි සිදුවුණු විශේෂ කටයුත්ත නම් සිනමාව වෙනුවෙන් පුවත්පත් කලාවේදීන් කළ මෙහෙයට කිසියම් ඇගයීමක් සිදුවීමයි. ඒ ඇගයීම බොහොම වටිනවා යැයි මා සිතනවා. ඔවුන්ගේ පුවත්පත්වලිනුයි අප ඉදිරියට පැමිණියේ. ඒ කාලයේ කලාකරුවන්ට හොඳ අතහිත දීමක් ඒ පත්තර හරහා සිදුවුණා. ඒ සියලු දේ සිහිපත් කරමිනුයි ඔවුන් ඇගයීමට ලක්කළේ.”

ඒ ඇගයීම සිදුකළ රිදී රැයක් ප්‍රසංගයට රංගනයෙන් සහභාගි වුණු ශ්‍රියාණි අමරසේන ‘පාදයාත්‍රා’ චිත්‍රපටයේ රඟපෑම, සම්බන්ධීකරණ කටයුතුවලට අමතර වෙනත් නිර්මාණයක් භාර නොගත්තා ය. මේ දවස්වල විකාශය වන ‘හිතුවක්කාරයා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් තිබුණත් ඒ ටෙලි සිත්තමත් නව වසරේ මුල් මාසවල අවසන් වීමට නියමිතය.

“අලුත් ටෙලි නිර්මාණවල දායක වුණේ නැද්ද?”

“අලුත් ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ අතරින් බොහොම හොඳ ටෙලි නාට්‍යයත් තිබුණා. ඒ කිසිවක් මා භාර ගත්තේ නැහැ. ඒත් බොහෝදෙනා මට දොස් කිව්වා ඇයි ඒ වගේ චරිතයක් අතහැරියේ කියලා. මමත් කැමැතියි හොඳ චරිතයක් රඟපාන්න. ඒත් දැන් වෙනදා වගේ හැම කටයුත්තකටම දායකත්වය දක්වන්න බැහැ. අද ටෙලි නාට්‍යයකට රූගත කිරීම්වලට ගියාට පස්සේ මුළු දවසම එතැනයි ඉන්න සිදුවන්නේ. ඒක බොහොම අපහසුයි.”

නිවෙසෙට වී විවේකීව ගත කිරීමට කැමැති මේ සුන්දර රංගන ශිල්පිනිය රූපවාහිනිය නැරැඹීමටද අමතක නොකරයි. ඇගේ චිත්‍රපටයක්, වැඩසටහනක් යන විටදී ශ්‍රියාණිට ඒ බව මුලින්ම දැනුම් දෙන්නේ ඈට තවමත් ආදරය කරන රසිකාවකි. ඔවුන් ඒ සියල්ල ඈට වාර්තා කිරීමට මැළි නොවේ.

“ඔවුන් ඔබට තවමත් බොහොම ආදරෙයි”

“මගේ මොකක් හෝ චිත්‍රපටයක්, වැඩසටහනක් ගියත් මට කතා කරලා කියන මගේ රසික - රසිකාවන් රැසක්ම ඉන්නවා. මම කුමන කාර්යයක සිටියත් ඔවුන් ඒවා නරඹලා මට කතා කරනවා. එක්කෝ නරඹන්න යැයි පවසනවා. සමහර විට මා වැඩක නිරත වී සිටියොත් පසුව නිවෙසෙට පැමිණ ඒ වැඩසටහන් නරඹන අවස්ථා තිබෙනවා. ඒ නිර්මාණ දකින කොට මගේ සිතට ඇතිවෙන්නේ පුදුම සතුටක්. වේදිකා නාට්‍යයක් නරඹන විට දැනෙන සතුටත් ඒ වගේමයි. එවිට මගේ අතීතයේ මා රඟපෑ ‘නරිබෑණා’, ‘හිතහොඳ අම්මණ්ඩි’, ‘කුසපබාවතී’, ‘වෙස්මුහුණු’ වගේ වේදිකා නාට්‍යවල චරිත මට සිහිපත් වෙනවා. වේදිකා නාට්‍යයක රඟපාන්න මගේ සිතේ තිබෙන්නේ පුදුම ආසාවක්. පසුගිය දවස්වල මා හොඳ වේදිකා නාට්‍ය පිටපතක් සෙව්වා. ඒත් මට හරියන පිටපතක් ලැබුණේ නැහැ. කවදහරි මා හොඳ වේදිකා රංගනයකින් වේදිකාවට පිවිසීමටයි අදහස් කරගෙන ඉන්නේ. මා මගේ ගමන ආරම්භ කළ තැන අමතක කරන්නේ නැහැ.”

මේ දවස්වල ඇගේ රංගනය සිනමා ප්‍රේක්ෂකයා හමුවට පිවිසෙන අවස්ථා තුනකි. ඒ ‘දේදුනු ආකාසේ’, ‘සීමා නෑ ආකාසේ’ හා ‘ඩොක්ටර් නවරියන්’ යන සිනමාපට හරහායි. ඒ චිත්‍රපට ත්‍රිත්වයේම ඈ රඟන භූමිකාව වන්නේ අම්මා යන භූමිකාව ය.

“එකිනෙකට වෙනස් අම්මාවරුන් තිදෙනෙක්”

“මේ චිත්‍රපටවල මා රඟපාන්නේ අම්මාවරුන්ගේ චරිත වුණත් ඒවා එකිනෙකට වෙනස් චරිතයි. තුන්විදියක තුන්දෙනෙක්. ප්‍රියන්ත කොළඹගේ ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ අම්මා සිය පුතු වෙනුවෙන්ම කැප වී සිටන, ඔහු වෙනුවෙන්ව වදවන, ඔහුගේ ජීවිතය සාර්ථක කිරීමට වෙහෙසෙන උඩරට රදළ පරම්පරාවක ජීවත්වන මවක්. නිහාල් බණ්ඩාරගේ ‘සීමා නෑ ආකාසේ’ චිත්‍රපටයේ කතාව කියන්නේ මැරුණු පුතායි. ඒ චිත්‍රපටය වෙනස්ම කතාවක්. ඒ මැරුණු පුතාගේ මව ලෙසයි මා රඟපාන්නේ. රන්ජන්ගේ ‘ඩොක්ටර් නවරියන්’ චිත්‍රපටයේ චරිතය ටිකක් සංකීර්ණයි. මෙහි එන පුතාගේ හා මවගේ බැඳීම බොහොම ප්‍රබලයි. මානුෂීය ගුණාංග හා බැඳුණු ඒ චරිතය හිතට දැනෙනවා. මම හිතන්නේ මේ නිර්මාණ සියල්ලම සිනමා ප්‍රේක්ෂකයන් නරඹනු ඇති කියලයි.”

ශ්‍රියාණි අමරසේන මුලින්ම මවකගේ චරිතයකට පණ දෙන්නේ ඈ ඉතා තරුණ කාලයේ ය. ඒ ‘රත්තරන් අම්මා’ චිත්‍රපටයේදීය. ඇගේ සැමියා හා පුතා ලෙස රඟපාන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ය.

“මෙවර ඔබගේ පුත්තු බවට පත්වන්නේ රිදී තිරයේ දැනට ජනප්‍රිය තලයේ ඉන්න නළුවන් තිදෙනෙක්”

“රන්ජන් රාමනායක, පුබුදු චතුරංග, හේමාල් රණසිංහ කියන මේ ජනප්‍රිය නළුවන් තිදෙනාම හොඳයි. ඒ මගේ ජීවිතයේ මට හමුවුණු බොහොම සහයෝගයෙන් කටයුතු කළ හැකි තරුණ රංගන ශිල්පීන් තුන්දෙනෙක්. ඔවුන්ගේ රංගනය මගේ චරිතයටත් ශක්තියක්. ඒ අය සමඟ රඟපාන අවස්ථාවලදි මා සිතින් මවා ගත්තේ මගේ පුතාවයි. එවිට ඒ චරිතය සාර්ථකව කරන්නට හැකියි. එතකොට ඒ පුත්‍ර ස්නේහය හරහා මට ඔවුන්ට බණින්න පුළුවන්. අඬන තැන්වලදි අඬන්න පුළුවන්. මොකද සත්‍ය ජීවිතයේදී ඒ සියලු දේවල්වලට අප මුහුණ පාලා නේ ඉන්නේ. නිර්මාණ කිහිපයක අම්මා කියන චරිත වෙනස් චරිත වුණත් ඒ අම්මාවරුන් අම්මාවරුන්මයි.”

රන්ජන් රාමනායකගේ අධ්‍යක්ෂණයෙන් වර්තමානයේ රඟපාන විට ශි‍්‍රයාණි සමඟද රන්ජන් තරුණ අවධියේ රඟපෑ බව ඇගේ මතකයට නැඟෙන්නේ ඉබේමය.

“ඔහු පිළිබඳ මතකය අවදි කළොත්”

“එහෙම කියනවිටදි රන්ජන් සම්බන්ධ විශේෂ සිදුවීමක් මගේ මතකයට නැඟෙනවා. ඒ මීට වසර ගණනකට පෙර මතකයක්. ඒ කාලේ අපේ චිත්‍රපටයක් වුණු ‘දෑසේ මල්පිපිලා’ චිත්‍රපටය සඳහා නළු නිළියන් තෝරන කාලේ. චිත්‍රපටයේ චරිත සඳහා සියල්ලන්ම වගේ තෝරාගෙන සිටින විට එක් දවසක් මට රන්ජන් දුරකථන ඇමතුමක් දුන්නා. ඒ අක්කේ, ඔය චිත්‍රපටයේ අපේ විජය මාමාත් ඉන්නා නේද? අනේ මටත් චරිතයක් තියෙනවා නම් දෙන්නකෝ, මට ආසයි අක්කාගේ චිත්‍රපටයක රඟපාන්න කියලා. ඒ වනවිට චරිතවලට සියල්ලන්ම තෝරාගෙන අවසානයි. ඒත් මගේ මල්ලි කෙනෙකුගේ චරිතයක් තිබෙන බව මට මතක් වුණා. හැබැයි ඔහු ඉක්මනින් මැරෙනවා. ඒත් ඒ චරිතය රඟපාන්න ඔහු කැමැත්ත ප්‍රකාශ කළා. රූගත කිරීම් තිබුණේ අපගේ නිවෙසේමයි. ඒ කාලයේ බෝම්බ පුපුරන කාලේ. රූගත කිරීම් අවසන් වෙලා රන්ජන් යන්න ගියා. ඔහු යන්න ඕන කොටුවට ගිහින්. ඔහු ගිහින් ටිකකට පසුවයි අපට ආරංචි වුණේ කොටුවේ බෝම්බයක් පිපිරුණා කියලා. අපි හැමෝම හොඳටම බයවුණා. ඒ කාලයේ මේ දැන් වගේ ජංගම දුරකථන ඇත්තේ නැහැ. ඒ නිසා මේ චිත්‍රපටයෙත් තිබුණේ මැරෙන චරිතයක් ඇත්තටම රන්ජන්ට මොනවා හරි වුණාද කියලා අපි ඇඟේ ලේ වතුර වෙලයි සිටියේ. මෙන්න ටිකකට පස්සේ රන්ජන් කතා කරනවා. “අක්කේ මාව මෙහෙම ලෙහෙසියෙන් මරන්න බැහැ.” කියලා. ඔහු ගිහින් තත්පර ගණනකට පසුවයි බෝම්බය පුපුරලා තිබුණේ.”

එකළ ශ්‍රියාණි අමරසේන රංගන ශිල්පිනියක ලෙස මෙන්ම නිෂ්පාදිකාවකද වන්නීය. ‘රිදී තැල්ල’, ‘දෑසේ මල්පිපිලා’, ‘තරණය’ ඒ නිර්මාණයි. පසුව ඈ අධ්‍යක්ෂවරියක ලෙසද අප හමුවට පිවිසෙයි. ඒ ‘මැගී’, ‘සකුරා මල්’, ‘තුෂාරයේ ඡායා’, ‘පෙරළිය’ යන ටෙලි නිර්මාණ හරහා ය. ඒ අතර ‘රිදී තැල්ල’ පිළිබඳ ඈ විශේෂ යමක් පැවසීමටද අමතක නොකළා ය. ඒ චිත්‍රපටය නැරැඹීමට බොහෝ කාලයක පටන් විමසන සිනමා ප්‍රේක්ෂකයන්ට ටොරානා ලේබලය යටතේ ඩී.වී.ඩී පටයක් ලෙසින් මේ වනවිට මිලදී ගත හැකි බවය. එහෙත් අද වනවිට ඈ නිෂ්පාදන කටයුතුවල නියැළෙන්නේ නැත. ඒ නිෂ්පාදන කටයුතු කළ නිර්මාණ කිහිපයක්ම තවමත් විකාශය වී නොමැති බැවිනි. අලුත්ම කාර්ය ‘පාදයාත්‍රා’ චිත්‍රපටයේ රඟපෑමයි. මේ කුමන කටයුත්තක යෙදුණද ඈ නිවෙස අමතක කර දමා නොමැත. දැන් නිවෙසේ වෙසෙන්නේ ඔවුන් දෙදෙනා පමණකි. එහෙත් ඈ පිළිවෙළකට, පිරිසිදුව සිටීමට කැමැති ගෘහිණියකි. ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙස රංගන කටයුතුවලට මුල්තැන දෙනවා සේම සිය ජීවිතයේ මෙන්ම සැමියාගේ ජීවිතයේ කටයුතුවලටත් සහයවන්නී ඇයයි.

“ඔබට තිබෙන්නේ බොහොම සොඳුරු හදවතක්”

“අපේ නිවෙසේ සිටින්නේ මමත්, අමරේත්, අපේ සුරතල් බල්ලා ඩිංකිත්. ඩිංකිට දැන් වයස දාහතරක්. ඌටත් දැන් වයසයි. ඒ වගේ ම අහල පහළ ඉන්න පූසන් කිහිපදෙනෙකුත් අපේ නිවෙසෙට පුරුදු වෙලා. උන්ටත් කෑම දෙනවා. කන්න නැති උන්ට කෑම ටිකක් දීම කොයිතරම් හොඳද? කියලා සිතෙනවා. කෙනෙක්ගේ බඩගින්න නිවීම හොඳ පුරුද්දක්. අපි දෙන්නාගේ කෑමබීම ගැන වුණත් වැඩි ආටෝප නැහැ. බොහොම සරලයි. රතුබත් තමයි කන්නේ. තෙල්වර්ගයේ කෑම කන ප්‍රමාණය අඩුයි. කොළ වර්ග අපේ නිවෙසේ වවලා තිබෙනවා. ඉතිං බොහොම සරලව ජීවත් වෙනවා.”

ඔවුන්ගේ සුරතල් බල්ලා ඩිංකි හොඳටම මහලු ය. ඩිංකිගේ දෙනෙත් නොපෙනේ. දෙනෙත් නොපෙනෙන ඩිංකිව බොහොම ආදරයෙන් බලා ගැනීම ඇගේ දවසේ රාජකාරි අතරින් එක් රාජකාරියකි. සිය මව්පියන්ව පාරට ගෙනැවිත් දමන යුගයක ශ්‍රියාණි අමරසේන හා ආතර් යූ. අමරසේන ඒ සත්ත්වයාව රැකබලා ගන්නේ බොහෝ සේ ආදරයෙනි.

“ඔබට උදවු කරන්නට ඔබගේ ලේලිත් සැදී පැහැදී සිටිනවා”

“පුතාගේ බිරිය ධම්මිකාගෙන් ලැබෙන සහයෝගය අපමණයි. නිවෙසේ කටයුතුවලට වගේ ම අපි දෙන්නා අසනීප වුණාට පස්සේ බෙහෙත් ගේන්න එක්කගෙන යන්නේ, අපි දෙන්නාට සාත්තු සප්පායම් කරන්නේ ඇයයි. සම්පත් පුතාත් එහෙමයි. දුව ඉනෝකා ඉන්නේ නාරාහේන්පිටයි. ඇයත්, බෑනා සංජීවත් අපව බලන්නට නිතරම වගේ එනවා. පවුලේ සියලුදෙනාම සති අන්තයේදි එකතු වන අවස්ථා අප්‍රමාණයි. එවිට එළියට ගිහින් කෑම අරගෙන, සතුටු සාමීචියේ යෙදිලා ඇතිවන බැඳීම පවුලකට අවශ්‍යයි. ඒ හරහා ලැබෙන සතුට සල්ලිවලට ගන්න බැහැ. ඒ අපේ ජීවන රටාවයි.”

සරලව ගෙවන ජීවිතය ශ්‍රියාණි අමරසේන ආරම්භ කරන්නේ උදෑසනෙනි. මධ්‍යයම රාත්‍රිය දක්වා නිදිවැරුවහොත් ඔවුන්ට අවදිවීමට කල් ගතවෙයි. විවේකීව ගෙවෙන ජීවිතයේ පෙර මෙන් කලින් අවදිව දරුවන් වෙනුවෙන් කැප විය යුතු යැයි වගකීමක් ඔවුන්ට නොවේ. එමෙන්ම රැකියාවකට යන්නේ ද නොවේ.

“ජීවිතයේ සැහැල්ලුව ඔබ අගය කරන කෙනෙක්”

“මේ වනවිට අපි දෙන්නාම ඉන්නේ සියලුම වගකීම්වලින් නිදහස් වෙලා. ඒ නිසා අපට උදෙන්ම නැඟිටින්න අවශ්‍ය නැහැ. එහෙම කියලා ඉතිං හත පසු වෙනතුරු අපි නිදා ගන්නේ නැහැ. මුලින්ම අමරේ නැඟිටලයි තේවලට වතුර ලිපේ තියන්නේ. එයා එයාගේම තේ එක හදා ගන්නවා. ඒ තේ එක අපි හැදුවට එයාට හරියන්නේ නැහැ. මම උදේට කන්නේ ඕට්ස්. මට හරියන විදියට එය මා හදා ගන්නවා.”

ශ්‍රියාණි අමරසේනට නිවෙස පිළිවෙළකටම තිබිය යුතුය. මුළුතැන්ගෙය වුවද එසේමය. ඒ සියලු දේ ඈට පුරුදු පුහුණු කළේ ඇගේ අම්මා විමලාවතී ය. නිවෙසෙ පිළිවළකට තබා ගැනීමේ පටන් මිදු පිළිවෙළකට අතුගෑම දක්වා, මකුළු දැල් කැඩීම පවා ශ්‍රියාණිට කියා දුන්නේ ඇයයි. එපමණක් නොව ඈ සිය දියණියට මැහුම් - ගෙතුම් පවා ඉගැන් වූවා ය.

“අම්මාගේ උපදෙස් ජීවිතයට හුඟක් ප්‍රයෝජනවත් වුණා”

“අම්මා ජීවතුන් අතර නැතිවුණත් මා ඈව බොහොම අගය කරනවා. ගෘහණියකට අවශ්‍ය කරන සෑම දෙයක්ම ඈ මට කියා දුන්නේ මා නිළියක් වීමටත් කලින්. වැඩපළක නොයෙදුණත් ඒ සියලු කටයුතු දැනගෙන සිටීම කාන්තාවක් වශයෙන් අපට බොහෝ ප්‍රයෝජනවත් වන්නේ පසුවයි. අඩුම ගණනේ වෙනත් කෙනෙකුගෙන් වැඩක් ගන්න නම් අප ඒ වැඩ පිළිබඳ නිවැරැදිව දත යුතුයි. එහෙම නොවුණොත් ඔවුනුත් අපට බොරු කරාවි. මේ වනවිට මට හැකි අයුරින් මා මේ නිවෙසෙ පිළිවෙළකට තබා ගන්න වෙහෙසෙනවා. දින කිහිපයකට වතාවක් එක් කෙනෙක් ඇවිත් මුළු නිවෙසම අස්පස් කරලා යනවා. මොන දේ කළත් මට නිවෙසෙ පිළිවෙළකට තිබිය යුතුයි”

ඇගේ දයාබර සැමියා ආතර් යූ. අමරසේනයන් ය. ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ ඔහු මේ වනවිට නිවෙසෙහි වෙසෙමින් සිය ලියන කියන කාර්යයන්හි නිරත වෙයි. ශ්‍රියාණිගේ කටයුතුවලටද පෙර මෙන් සහය වෙයි.

“මේ දවස්වල මොනවගේ ලියන කියන කටයුතුවලද නිරත වන්නේ?”

“පුවත්පත්වල පූර්ණ කාලීනව නියැළුණේ නැතිවුණත් මා පුවත්පත් රැසකටම නිවෙසේ සිට ලියනවා. මගේ මීට පෙර මුද්‍රණයෙන් පැමිණි සිනමා වංශය කෘතියේ දෙවැන්න මුද්‍රණයෙන් නිකුත් වීමට නියමිතයි. තෙවැන්නත් මේ ලියමිනුයි ඉන්නේ. චිත්‍රපට බිහිවීමට හේතුවුණු අපූරු ඉතිහාසයක් අපට තිබෙනවා. ඒ අතීතයේ සිදුවුණු බොහෝදේ බොහෝදෙනා දන්නේ නැහැ. අනාගත පරපුර වෙනුවෙන් ඒවා ලියා තැබිය යුතුයි. ඒ වෙගේම දමිළ සිනමාව ගැන මා අධ්‍යයනයක් කළා. ඒ පිළිබඳ ලියැවුණු පොතත් ඉදිරියේදී පැමිණේවි. එලෙස ලියැවුණු පොත් රැසක් ඉදිරියේදී ලිවීමටයි සිතාගෙන සිටින්නේ.”

කලාකරුවන්ගේ ඉදිරි ගමනට අතදුන් සිනමා පුවත්පත් කතුවරයකු වන ඔහුට ශ්‍රියාණි අමරසේන නම් යෞවනිය මුණ ගැසෙන්නේද පුවත්පත නිසාමය. ඒ දවස පුවත්පත් ආයතනය ආරම්භ කරන ලද ‘රිවිරැස’ පුවත්පතේ මංගල දැන්වීම් තීරය නිසා ය. ඒ දැන්වීම් තීරය අරඹන ලද්දේ එහි සිටින තරුණ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේමත් නම් යොදා දමන ලද මංගල යෝජනා සමඟිනි. එය කොපමණ සාර්ථක වූයේද යත් ඔහුට මංගල යෝජනා තුන්සිය හැටපහක් පැමිණිණි. අවසානයේ ඉන් එකක් තෝරා ගැනිණි. එය ශ්‍රියාණිගේ අම්මා එවන ලද මංගල යෝජනාවයි. අවසානයේ ඔහු ඒ යුවතියව බැලීමට ගියේ සිය යහළුවකුද සමඟිනි.

“අන්තිමට මගේ සිත ඒ යුවතිය ළඟ නතර වුණා. මගේ යහළුවාත් කිව්වේ ඒ කෙල්ලව බඳීන්න කියලා. මම තීරණයක් ගත්තා. කාලයක් අප ඇසුරු කළා. ඊට පස්සේ විවාහ වුණා. ඒ වනවිට ඈ රඟපාලා තිබුණේ වේදිකා නාට්‍ය කිහිපයකයි. විවාහයෙන් පස්සේ දරුවන් දෙදෙනාත් ලැබීමෙන් පසුව ඈ දිගටම රඟපානවාට මගේ අකැමැත්තක් තිබුණේ නැහැ. අප දෙදෙනා මේ වනවිට බොහොම සුන්දර ජීවිතයක් ගත කරනවා.”

සැදෑ සමයේ ජීවිතය විඳීමින් සිටින ඔහු සිය අතීතය සිහිපත් කරන්නේ තෘප්තිමත් හැඟීමෙනි. මිනිබිරියගේත්, දරුවන්ගේත් සෙනෙහස විඳීමින් ගත කරන ඒ සොඳුරු ජීවිතයේ ශ්‍රියාණි හා ආතර් යූ. අමරසේනයන් ගෙවන්නේ අපූර්ව සුවයකි. ඒ සුවයේ සැනසෙන්නට ඉඩහළ අපි ඒ සොඳුරු යුවළට දීර්ඝායුෂ පතමින් ඔවුන්ගෙන් සමුගත්තෙමු.