වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

රසික් හදවත් අමරණීය කලාකරුවා

සතිස්චන්ද්‍ර එදිරිසිංහ නම ඇසූ පමණින් දශක ගණානාවකට එපිට සිට කලා ක්ෂේත්‍රයේ නම රැන්ඳූ සම්මානනීය ප්‍රවීණ කලාකරුවෙකි. බොහෝ ඇසූ පිරූ චරිතයක් බඳු වූ එතුමන් විසින් ග්‍රහණය කරගත් සිනමාව, වේදිකාව සහ ටෙලි නාට්‍ය අංශ ත්‍රිත්වයෙහි සනිටුහන් රංගනයන් එදා සිට අද දක්වාම රසික හදවත්හි ලැගුම් ගෙන අවසන්ය. එයින් නොනැවතී කලා කෙත පෝෂණයෙහි ලා දායක වූ අමතකව ගිය කලාකරුවන් සොයා ගොස් ඇගයීම මහඟු කාර්යයභාරයකි.

සරත් ලියනගේ
රන්මුතුගල
කඩවත


අසන්නන්ගේ ඉල්ලීම

ගුවන්විදුලි ඉතිහාසයේ පැරණිතම ඉල්ලීම් තීරයේ අයිතිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතුවේ. අසන්නන්ගේ ඉල්ලීම් ලද එය අද ඔබේ නමින් ගී ලෙසින් ගුවනට එක් වේ. එතරම් ඉතිහාසයක් ඇති ඉල්ලීම් තීරය සති අග දිනවල ප්‍රචාරය නොවීම කනගාටුවකි. බොහෝ අය විවේකීව සිටින සති අග දෙදින පෙරවරුවේ ඔබේ නමින් ගී ගුවනට එක් කරන ලෙස නිසි බලධාරින්ගෙන් ඉල්ලා සිටිමි.

සමන් ගාල්ලගේ
කැටපල
ගණේගොඩ


ප්‍රේක්ෂකයා මුලා කරන වැඩසටහන්

අපේ රටේ ඇතැම් නාලිකාවල අනවශ්‍ය වැඩසටහන් රැසක් විකාශය කෙරෙන බව දැනේ. එම වැඩසටහන්වලට සහභාගි වන ශිල්පීන් පවා බොහෝ අවස්ථාවල අපහසුතාවයට පත් වන බව ද පෙනේ. කාලය මුදල් නාස්ති කරමින් මෙවැනි වැඩසටහන් නිෂ්පාදනය කර ප්‍රේක්ෂකයා මුළා නොකරන්නේ නම් මැනවි.

අයිලීන් සෝවීස්
සොයිසාවත්ත
රාගම


අලුත් චරිතයකින් එන්න

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය තම රංගන හැකියාවෙන් ඔපවත් කළ ජයනි සේනානායක රංගන ශිල්පිනිය ඇගයිය යුතුය. ළඟදීම පුංචි තිරයෙන් තවත් වෙනස් චරිතයකින් හමුවන ලෙස ඇරයුම් කරමි.

සුනිල් චන්ද්‍රසේකර
යාගොඩමුල්ල
කොටුගොඩ


රන්ජන්ට ප්‍රණාමය

ජනප්‍රිය සම්මාන රැසක් ලබා ඇති ක්ෂේත්‍ර කිහිපයකම දස්කම් දැක්වූ දේශිය සිනමාවට විශාල දායකත්වයක් එක්කර ඇති රන්ජන් රාමනායකට අපේ ප්‍රණාමය.

නිමල් කුලසේකර
අඟුලාන


සිනමා අඹරේ ගිනිසිළුව හෙලන් කුමාරි

යුගයක් ඒකාලෝක කරමින් සිනමා අම්බරයේ ගිනිසිළුව ලෙස විරුදාවලිය ලත් බොක්ස් ඔෆිස් වාර්තා ගත සිනමා සිත්තම් රැසක රඟපාමින් මනරම් නර්තනයක යෙදුණු රංගන ශිල්පිනියකි. 'ඔක්කොම හරි' චිත්‍රපටයෙන් ආරම්භ කළ රංගනය 'අපරාධය හා දඬුවම', 'සිංගප්පූරු චාලි', 'කස්තුරි සුවඳ', 'ලස්සන කෙල්ල', 'දැන් මතකද', 'ඔහොම හොඳ ද' වැනි චිත්‍රපට රැසක රඟ පෑ ඇය සෙනෙහසේ නවාතැන තුලින් යළි ප්‍රේක්ෂක මතකයට පිවිසීමට උරදුන් ජාතික රූපවාහිනියට සහ නිරංජලා සරෝජනීමට අපේ ප්‍රණාමය.

චන්ද්‍රකාන්ති පියතුංග
දළුගම
කැලණිය


ගැමි දඩබ්බර තරුණයා

'නිසල අරණ' හි ගයාන් වික්‍රමතිලක ගැමි දඩබ්බර තරුණයකු ලෙසින් හොඳ ප්‍රාණවත් චරිත නිරූපණයක යෙදේ. ගමනේදී පාපැදියද ගොවිතැනේදී උදැල්ල ද ඔහුට හොඳීන් හුරු පුරුදු බව අපූරුවට දක්වයි.

ඩඩ්ලි ගෝමස්
කටුබැද්ද
මොරටුව


කපිලට සුබ පැතුම්

කපිල පූගල ආරච්චිගේ සංගීතය ඉතාමත් විශිෂ්ටයි. ඔහු '5 සමත්' චිත්‍රපටයෙන් එය මැනවින් ඔප්පු කර ඇත. එසේම ඔහුගේ සංගීතයෙන් දේශීය සංගීතයට අවහිරයක් ද නොවීම මෙහිලා වි‍ශේෂයෙන්ම සඳහන් කළ යුතුය.

කෙනත් පෙරේරා
වැලිගම්පිටිය
ජා-ඇල


ඩොක්ටර් නවරියන්

සිනමාවේ සුපිරි තරුව රන්ජන් රාමනායකගේ නවතම සිනමා නිර්මාණය ඩොක්ටර් නවරියන් හරවත් කාලීන තේමාවක් රැගෙන නිර්මාණය කර ඇත. අලංකාර ලෙසින් තිරයේ දිග හැරෙන මෙම සිනමා නිර්මාණයේ රංගනයේ අභියෝගය රන්ජන් ජය ගෙන ඇති බවත් කිව යුතුමය.

ආනන්ද වික්‍රමාරච්චි
ඉහළ තල්දූව


සාර්ථක ටෙලිය

'අමා' ටෙලි සිතුවම විකාශය වීම සතුටට කරුණක්. එහි රංගනයෙන් දායක වන සියලුම ශිල්පීන් ශිල්පිනියන් තම චරිතවලට සාධාරණයක් ඉටුකර ඇති බව පෙනේ. විශේෂයෙන් බ්‍රිගේඩියර් මහේන්ද්‍රගේ චරිතයට පණ පොවන චන්දික නානායක්කාර විශිෂ්ට රංගනයක යෙදේ. චරිතයට සුදුසු පරිදි මුහුණෙන් විශිෂ්ට ඉරියව් මතු කරයි. විශ්ව, ෂෙරිල්, වත්සලා, රුවන්ගි ඇතුලු සියලු දෙනාට සුබ පැතුම්. එස්. ඒ ප්‍රේමලතා

රුක්ගහතොටුපොල
බණ්ඩාරගම


දැකීමත් සතුටක්

අදට වැඩිය හෙට හොඳයි, සූරසේන, සල්ලි මල්ලි සල්ලි එපා, ශ්‍රී 296, දොස්තර, සුරතලී ඇතුලු තවත් සිනමාපට රැසක් අද දැක ගන්නට නොහැකි වුවත් එම චිත්‍රපටවල ඡායාරූපයක් දැකීමත් ඉමහත් සතුටකි.

ගාමිණි මහවෙලගේ
පිලියන්දල


කාලෝචිත ටෙලිය

මේ දිනවල ස්වාධීන රූපවාහිනි සේවයෙන් නැවත විකාශය වන නැගෙනහිර වෙරළින් ඇසෙන ටෙලි වෘත්තාන්තය වෙනස්ම මඟක් ගත් කාලෝචිත ටෙලියකි. සුනාමි ව්‍යසනයෙන් පීඩිත වූ සියලු ජාතීන් ගැන ඉතා සංවේදීව දර්ශන හා පසුතලයන් නිරූපණය කලා අධ්‍යක්ෂවරයා මනවින් ඉටුකර ඇත. ජගත් චමිල, ඩබ්ලිව් ජයසිරිගේ රංගනය ද ඉතා තාත්විකය.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
මීරිගම පාර


පස්යාල 5 සමත්

ජාතියක් සතු සුන්දරතම වස්තුව ළමා පරපුරයි. වැඩිහිටියන් දහදිය කඳුළු හෙළමින් සිත කය වෙහෙසවා සියලු දුක් දොම්නස් විඳ දරා ගනිමින් හරි හම්බ කරන්නේ ඔවුන්ට ලස්සන ලෝකයක් ගොඩනඟා දෙන්නටය. ළමා ලෝකයේ පුංචි හපන්කම් දඟකාරකම් අසන දකින වැඩිහිටයන් ඒ තුළින් අප්‍රමාණ ආශ්වාදයක් ලබති. 5 සමත් ඉතා හොඳ ළමා නිර්මාණයකි. එය නැරඹු මට ඇත්තටම 5 සමත් යැයි සිතුණි. හෝ ගානා පොකුණ 5 සමත් වැනි තවත් සිනමා නිර්මාණ බිහි වේවා.

ජ්‍යොතීර්වේදී
අනුර දේවරාජ
ගලිගමුව


ඇන්ජලීන් ඔබට සුබ උපන්දිනයක්

සිනමා ගීතයේ රිදී සීනුව ඇන්ජලීන් ගුණතිලක ඔබතුමියට සුබම සුබ උපන්දිනයක් වේවා. සුබ නත්තලක් වේවා යි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

ජයන්ත අමරතුංග
චන්දන පොකුණ
පොළොන්නරුව


කලා කෙත සැරසූ බුද්ධි

තමන්ටම ආවේණික රංග ශෛලියක් ඔස්සේ තම ගමන් මඟ ඔපවත් කරමින් චරිතාංග රංගසෝබාවෙන් කලා කෙත සැරසූ බුද්ධදාස විතානාරච්චි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකි. 'දඬුබස්නාමානය', 'අකඩවාරිය', 'රන්තරු', 'සොඳුරු දඩයක්කාරයා', 'කොන් කළ දෝණි' වැනි ටෙලි නාට්‍ය ඔස්සේ සුවිශේෂි රංගනයෙන් ඔපවත් කළ සුවිශේෂි රංගන ශිල්පියාගේ කලා දිවියට අපගේ උණුසුම් සුබ පැතුම්.

එච්. ඉන්ද්‍රපාල
ශ්‍රී සංඝමිත්තා මාවත
මුංහේන


දුලීකාගේ විශිෂ්ට රංගනය

මේ දිනවල ස්වර්ණවාහිනියෙන් විකාශය කෙරෙන සුදු අඟුරු ටෙලි වෘත්තාන්තයේ ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපනගේ රංගනය ඉතාම විශිෂ්ටයි.

යූ. ජී. පාලිත කුමාරසිංහ
ගඩලාදෙණිය


නිරහංකාර පුබුදු

රිදම් එෆ්.එම් නාලිකාවෙන් සෑම සෙනසුරාදාවකම ප්‍රචාරය වන 'මං ඉපදෙන්න කලින්' ගීත මෙවර තේරුවේ යොවුන් පරපුරේ දක්ෂ නළු පුබුදු චතුරංග විසිනි. ඇත්තටම එදා පුබුදුගේ තොරතුරු නිරහංකාර ලෙස පැවසීම සතුටකි. ලස්සන ගීත පෙළක් තෝරා ගෙන තිබීම සම්බන්ධයෙන් පුබුදුට සේම එම ගීත ගෙන ආවාට රිදම් නාලිකාවට හදපිරි ස්තූතිය.

සෝමා. එච්. පතිරණ
පිය නිවස
පන්සල පාර
කහවත්ත


සිත් වශී කළ සුද්දි

පුංචි තිරයේත් සිනමාවේත් දිදුලන තරුවක් වන උදාරි වර්ණකුලසූරිය ඔබ සත්‍ය වශයෙන්ම දක්ෂතාවයත් ජනප්‍රියත්වයත් කලා ලොවට දායාද කර හමාරය. විශේෂයෙන්ම පිනි ටෙලි නිර්මාණයේ සුද්දිගේ චරිතය සිත් වශීකරවන සුළුය. කලා ලොවේ දිගු ගමනක් යන්න ඔබට ආසිරි පතමි.

ප්‍රියංකා කුමාරි
මඩකුඹුර
රත්තොට
මාතලේ


සදාදරණීය ගායක විශාරද සුනිල් එදිරිසිංහට

සඳකඩ පහනක,
චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා,
දෑවැදි දෙන්නට,
නුඹේ සිතට පුන් සඳ පායලා . . .
වැනි එදා සේම අරුත්බර රසයෙන් පිරි ගීත අදත් අපට දායාද කරන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි සදාදරණීය ගායකයාණෙනි ඔබට චිරං ජයතු.

සුනිල් බී. වේහැල්ල
ගෝනපොල