වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




කෝලි - අනුෂ්කා යා කළ අපේ ප්‍රොඩක්ෂන් මැනේජර්

කෝලි - අනුෂ්කා යා කළ අපේ ප්‍රොඩක්ෂන් මැනේජර්

පසුගිය සතියේ ලොව පුරා කාගෙත් අවධානයට පාත්‍ර වූ විවාහ උත්සවයක් සිදු වුණා.ඒ සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සහ සුපිරි බොලිවුඩ නිළි අනුෂ්කා ෂර්මාගේ. කාලයක් පුරාවට දිග හැරුණු මෙම ආදර කතාව ආරම්භයට අපේ ලංකාවේ කෙනකු සම්බන්ධ බවට දැනගත්තොත් ඔබ පුදුමයට පත් වේවි. ඔව්, එහෙම කෙනෙක් ඉන්නවා. ඔහුගේ නම මැල්කම් මන්තාරා. අපට සිටින අති දක්ෂ නිෂ්පාදන කළමනාකරුවෙක් හැටියට මැල්කම්ව හඳුන්වා දෙන්න පුළුවන්. නිර්මාණයකට අවශ්‍ය නම් බොරැල්ල හන්දියට නැවක් ගේන්න කිව්වොත් මැල්කම් මන්තාරා දන්නවා නැව ගේන විදිහ. එතරම්ම කාර්යශූර පුද්ගලයෙක් තමයි ඔහු. මේ මැල්කම් බොම්බෙ වෙල්වට් සිනමාපටයේ වැඩ කටයුතු කරන ගමන් අනුෂ්කා ළඟට ඇවිත් මැල්කම්ගෙන් ඉල්ලීමක් කළාලු කාර් එකෙන් එයාර් පෝට් එකට යන්න කියලා. එතනට එන තමන්ගේ යාළුවකුව එක්කගෙන එන්නටයි අනුෂ්කාට ඕනෑ වුණේ. මැල්කම් ගියා එයාර්පෝට්. ටික වේලාවකින් අනුෂ්කගේ යාළුවා ආවා. ඒ වෙන කවුරුවත් නොව විරාට් කෝලි. ඒ කාලේ මෙතරම්ම ඔහු ජනප්‍රිය නැහැ. කොහොමත් කෝලි සෙල්ලක්කාරයානේ. මැල්කම්ට කිව්වා රියදුරු අසුනින් අනෙක් අසුනට යන්න කියලා. කෝලි වාඩි වුණා රියදුරු අසුනේ. ඇහැව්වා මැල්කම් කොහෙද ගෙදර කියලා.

මහරගමට.

වැඩි ඇහිල්ලක් බැලිල්ලක් නැහැ මැල්කම් පිළිතුරු දුන්නා.

ආයෙ කතා දෙකක් නැහැ, පාරක්වත් අහගන්නේ නැතුව කෝලි ආවා මහරගමට. ඔහු එතරම්ම අපේ රටේ පාරවල් දන්නවා. මැල්කම්ව ගෙදරට දාලා කෝලි ගියා අනුෂ්කාව හමුවන්න. එයාර්පෝට් ඉඳලා එන අතරේ මැල්කම් අනුෂ්කා ගැන බොහෝ දේවල් කෝලි එක්ක කියන්නට ඇති. කොහොම හරි ඔවුන් දෙදෙනා පෙමින් බැඳුණා. අවසනදී ලෝකයේම අවධානයට පාත්‍ර වෙමින් විවාහ වුණා.