වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




ක්‍රීඩාවක් දිනන මග Jumanji - 2

ක්‍රීඩාවක් දිනන මග
Jumanji - 2

පීටර් සහ ෂෙපර්ඩ් තම නැන්දණිය සමඟින් වෙනත් පළාතක නිවෙසක පදිංචියට යන්නේ සිය දෙමව්පියන්ගේ වියෝවෙන් පසුවයි. මීට පෙර තවත් පවුලක් වාසය කර තිබූ එහි ගබඩා කාමරයේ තිබී වනාන්තරයක් සම්බන්ධ වූ මායා බලැති පුවරු ක්‍රීඩාවක් ඔවුන්හට හමු වේ. පීටර් සහ ෂෙපර්ඩ් ජුමාන්ජි (Jumanji) නම් වන එම ක්‍රීඩාවේ යෙදෙන විට දශක ගණනක් ජුමාන්ජි ලෝකය තුළ අතරමංව සිටි ඇලන් පාරිශ් නිදහස් වී පැමිණේ.

සැබෑ ලොව සිට ජුමාන්ජි ලොව වෙතට ඇදි ගිය ඇලන් යළිත් මෙලොවට සදහටම ගෙන්වා ගත හැකි එකම ක්‍රමය වන්නේ පීටර් සහ ෂෙපර්ඩ් විසින් ජුමාන්ජි ක්‍රීඩාව ජයග්‍රහණය කිරීමයි. එහෙත් එම ක්‍රීඩාවේ නිරත වීමද ලෙහෙසි පහසු කටයුත්තක් වන්නේ නැත. එම ක්‍රීඩාවේ නිරත වීමේදී ඔවුන්හට බරපතල අභියෝග රැසකටම මුහුණදීමට සිදු වේ. යෝධ කුරුමිණියන්, කරදරකාරී වඳුරන්, දැවැන්ත අලි සේම දරුණු රයිනෝසරයන්ගේ ද කරදරවලින් ගැලවීම ඔවුන් හමුවේ ඇතිවන අභියෝග වේ.

අද වැඩිහිටියන් වී සිටින ඇතැම් අයට නම්, මේ කතාව අසන විට මීට පෙර අසා ඇති කතන්දරයක් සේ දැනෙනු ඇත. ඒ මීට පෙර ඔබ ළමා වියේ පසුවන විටදී Jumanji චිත්‍රපටය නරඹා තිබීම එයට එකම හේතුව නිසයි. 1995 වසරේදී ජෝ ජොන්ස්ටන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු Jumanji චිත්‍රපටය ලොකු කුඩා කාගේත් අවධානය දිනා ගන්නට සමත් වුණා. ක්‍රිස් වැන් ඇල්ස්බර්ග් ගේ Jumanji කෘතිය ඇසුරින් නිර්මාණය කෙරුණු එහි පීටර් සහ ෂෙපර්ඩ් ඇලන් බේරා ගැනීම වෙනුවෙන් ඔහුගේ කුඩා කල මිතුරිය සාරා ද සමඟින් ජුමාන්ජි ක්‍රීඩාව ජයග්‍රහණය කිරීමට ගන්නා වෙහෙස දැක්වුණා.

රොබින් විලියම්ස්, ක්‍රිස්ටීන් ඩන්ස්ට්, ඩේවිඩ් ඇලන් ග්‍රියර්, බොනී හන්ට්, ජොනතන් හයිඩ්, බේබ් නිව්රිත් ඇතුළු පිරිසක් එහි රංගනයෙන් දායක වුණා. අමෙරිකානු කතුවරයකු වන ක්‍රිස් වැන් ඇල්ස්බර්ග් විසින් 1981 වසරේදී රචිත Jumanji ළමා රූපමය කතන්දර පොත ඇසුරෙන් 1995 වසරේදී නිර්මාණය කෙරුණු Jumanji චිත්‍රපටයට අමතරව 1999 වසරේදී එනමින් රූපවාහිනි කතා මාලාවක් ද නිර්මාණය කෙරුණු අතර Jumanji ළමා කෘතියේ දෙවැනි පොත ලෙස Zathura  කෘතිය 2002 වසරේදී එළි දැක්වුණා. එය ඇසුරෙන්ද Zathura  නමින් චිත්‍රපටයක් 2005 වසරේදී තිරගත කෙරිණි. එයද මෙවැනිම පුවරු ක්‍රීඩාවක් වූ අතර එහි එන අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදු වූයේ අභ්‍යවකාශයේදීයි.

එදා භයානක අභියෝග සමඟින් නිමාවට පත් වූ ජුමාන්ජි වසර 22ට පසුව යළිත් ක්‍රියාත්මක වී ඇත. එනම් ඊයේ (දෙසැම්බර් 20) සිට ලොවපුරා තිරගත කෙරෙන Jumanji: Welcome to the Jungle චිත්‍රපටය සමඟිනි. ස්පෙන්සර්, බෙතනි, මාර්තා සහ ෆ්‍රිජ් උසස් පාසලේ දී වරදකට හසු වී, පාසලේ පාලුවට ගිය පැරණි ගොඩනැගිල්ලක් පවිත්‍ර කිරීම ඔවුන්හට දඩුවමක් ලෙස පැවරේ. එහි වූ පැරණි පරිගණයක තිබූ පරිගණක ක්‍රීඩාවක් වෙත මේ සිව්දෙනාගේ හිත් ඇදි යන අතර ඔවුන් එම ක්‍රීඩාවේ යෙදෙන්නට පටන් ගනී. එම ක්‍රීඩාවේ එන එක් එක් චරිත ස්පෙන්සර්, බෙතනි, මාර්තා සහ ෆ්‍රිජ් විසින් තෝරා ගැනෙන අතර ඔවුන් එම ක්‍රීඩාවේ ඇති වෙනස් ලොවක් වෙත ඇදී යන්නේ නොදැනුවත්වමය. එසේම ඔවුන් එම චරිත බවට පරිවර්තනය වීමද සිදු වේ. යළිත් ඔවුන් යථා තත්ත්වයට පත්වී සැබෑ ලොවට පිවිසීමට නම්, මෙම ක්‍රීඩාව ජයග්‍රහණය කළ යුතු වන අතර එහිදී ඔවුන්හට තම ජීවිතයේ දරුණුතම මෙන්ම භයානක අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට ද සිදු වේ.

මේ අනුව ඇලන් පාරිෂ් මීට විසි වසරකට පෙරදී කුමන ආකාරයේ භයානක අත්දැකීම් රැසකට මුහුණ දී සැබෑ ලොවට පිවිසියා ද යන්න Jumanji: Welcome to the Jungle චිත්‍රපටයෙන් හෙළිදරව් වේ. තම තමන්ගේ මතිමතාන්තර වෙනස් කර මේ තුලින් ගැලවෙන්නට උත්සාහ නොකළේ නම්, තමන් සිව් දෙනාටම මෙම ජුමාන්ජි ලෝකය තුල සිරවී සිටින්නට සිදු වන බව ඔවුන් තේරුම් ගනියි.

ක්‍රිස් වැන් ඇල්ස්බර්ග් ගේ Jumanji කෘතිය ඇසුරෙන්ම නිර්මාණය කෙරුණු Jumanji: Welcome to the Jungle චිත්‍රපටය ජේක් කැස්ඩන්ගේ අධ්‍යක්ෂණයකි. එහි ඩ්වේන් ජොන්සන්, ජැක් බ්ලැක්, කෙවින් හාර්ට්, කේරන් ගිලන්, නික් ජොනාස්, බොබී කැනවෑල් ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. ස්පෙන්සර්, බෙතනි, මාර්තා සහ ෆ්‍රිජ් ලෙසින් ළමා චරිත නිරූපණය කරන්නේ, ඇලෙක්ස් වුල්ෆ්, මැඩිසන් ඉසෙමාන්, සෙර්ඩුරියස් බ්ලෙයින් සහ මෝර්ගන් ටර්නර් විසිනි. මෙහි රූගත කිරීම් සුන්දර හවායි හොනොලුලූ ඇතුලුව ජෝර්ජියා සහ ඇට්ලන්ටාහිදී සිදුකර ඇත.

Jumanji: Welcome to the Jungle චිත්‍රපටය මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම විචාරක පැසසුම් ලබන්නටද සමත් වූ චිත්‍රපටයක් බවට පත් වී තිබේ. එය IMDb  දර්ශකයේ ප්‍රේක්ෂක මනාපය 6.9/10ක් හිමිකර ගෙන ඇති අතර රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ විචාරක මනාපය 85%ක් හිමි වී ඇත. Jumanji: Welcome to the Jungle චිත්‍රපටය බෙහෙවින් ආකර්ෂණීය නළු නිළි පිරිසක් සමඟින් හාස්‍යජනක වෙනසක් ඇති කර තිබෙන බව විචාරක අදහස් අතර වේ. හිතා ගන්නට නොහැකි අයුරින් විනෝදජනක චිත්‍රපටයක් ලෙස නිර්මාණය වී ඇති මෙහිදී අප හොඳීන් හඳුනන නළු නිළියන් ළමයින් සේ රංගනයේ යෙදීම ප්‍රධානතම ලක්ෂණය වන බවත් ඔවුන් පවසනවා.