වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




නත්තල් සීතල වගේම දැනෙන බෙත්ලෙහෙම් පුරේ

නත්තල් සීතල වගේම දැනෙන බෙත්ලෙහෙම් පුරේ

අනිල් භාරතී

උඳුවප් සීතල සමඟින් නත්තල උදාවෙද්දී බෙත්ලෙහෙම් පුරේ ගීතය කලඑළියට එයි. එය හරියට නත්තලේ තවත් සංකේතයක් බඳුය. අනිල් භාරතී නැමැති ගායනවේදියාණන්ගේ හඬ පෞරුෂයෙන් රස ගැන් වුණු බෙත්ලෙහෙම් පුරේ ගීතය අද වන විට නත්තලට නැතිවම බැරි ගීතයක් බවට පත්ව ඇති වග නම් රහසක් නොවේ. එහෙයින් අනිල් පිළිබඳව ද වැඩිපුර කතා වෙන්නේ උඳුවප් මාසයේය. එය හරියට වෙසක් සමයට මොහිදින් බෙග් මාස්ටර්ව මතක් වන්නා සේය. එතුමාණන් සේම අනිල් ද සැබවින්ම වාසානාවන්ත ගායකයෙකි. ඒ අප රට වෙසක් සමරන තුරු තවත් විදිහකින් කිව්වොත් සදාකාලිකවම බෙග් මාස්ටර් සදා අනුස්මරණය වන්නා සේම නත්තල සමරන තුරු අනිල් භාරතී ද නැතුම බැරි තැනැත්තකු වන බැවිනි.

බෙත්ලෙහෙම් පුරේ ගීතය මෙතරම්ම ජනප්‍රිය වේ යැයි අනිල් හිතන්නට නැතුව ඇති?

ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ ගීතය පර්යේෂණාත්මක ගීතයක්. මෙහි තනු නිර්මාණය කළේ ක්ලැරන්ස් විජේවර්ධන. පද රචනා කළ කරුණාරත්න අබේසේකර හොඳ බෞද්ධයෙක්. බෙග් ගයන බුද්ධං සරණං ගීතය ලිව්වෙත් කරුනෙ. බලන්න ඔහු කෙතරම් දක්ෂයෙක් ද කියලා. ක්ලැරන්ස්ට ඕනෑ වුණා කරු ලවාම මේක ලියවන්න. ඊට පසුව මං ගැයුවාට පසුව ඉතාම ඉක්මනින් ජනතාව අතරට ගියා.

අද වන විට නත්තලේ තේමා ගීතය බවට එය පත් වෙලා?

ඒක ඇත්ත. බෙත්ලෙහෙම් පුරේ ගීතය ඇහුනේ නැත්නම් නත්තල සමහරුන්ට ඇඟට දැනෙන්නේ නැහැ වගේ. බලන්න කොපමණ වාතවක් බෙත්ලෙහෙම් පුරේ ගීතය ප්‍රචාරය වනවාද කියලා. දවසකට දස වතාවක් මේ කාලයේ ගීතය ඇසෙනවා.

බෙත්ලෙහෙම් පුරේ වගේ සුවිශේෂී ගීතයක් ගයන්නට වරම් හිමි වීම ගැන මොකද කියන්න තියෙන්නේ?

දෙවියන් විසින් මට දුන්න ආශිර්වාදයක් හැටියටයි මං එය සලකන්නේ. ඒ අවස්ථාව හැමෝටම ලැබෙන එකක් නෙවෙයි. දෙවියන් වහන්සේ මට දුන්න තලෙන්තු අනුව මං මගේ හැකියාව ඉදිරිපත් කළා. ඒ ගමනේදී මට තවත් සුවිශේෂී තෑගක් මට ලැබුණා. ඒක තමයි බෙත්ලෙහෙම් පුරේ ගීතය.

දැනට කී වතාවක් ඔබ එය ගයා ඇත්ද?

හැත්තෑව දශකයේ ඉඳලම ගයනවානේ. ගණන් හදලා බලන්නකෝ කොහොමද කියලා.

බෙත්ලෙහෙම් පුරේ ගීතය ඔබ පටිගත කළේ කොහේද?

දලුගම සරසවි ශබ්දාගාරයේදී. පටිගත කළේ හැත්තෑව දශකයේ මුල. මගේ මතකයේ හැටියට මර්වින් රුද්‍රිගෝ නැමැති අති දක්ෂ ශබ්ද පරිපාලකවරයා අතින් තමයි පළමු බෙත්ලෙහෙම් පුරේ ගීතය පටිගත කළේ.

එදින වුණු අමතක නොවන සිදුවීමක් මතක් කළොත්?

ගීතය පටිගත කරගෙන යනකොට මර්වින් කිව්වා අපි මේකට සීනු හඬක් එක් කරමු කියලා. ඒක කියලා ටික වේලාවකින් මිනිහා පේන්න නැහැ. අපි හොයලා බලන කොට ඔහු පැත්තක තියලා තිබුණු සයිලෆෝන් එකක මකුළු දැල් කඩනවා. ඒක සුද්ධ පවිත්‍ර කරලා අරගෙන ඉන් අපි සීනු හඬ ගීතයට ඇතුළත් කළා.

ඔබේ නවතම නත්තල් සංයුක්ත තැටිය ගැන වදනක් සඳහන් කළොත්?

නත්තල් කාලයේදී හැමෝම මගෙන් අහනවා අලුත් සී. ඩී. ඒකක් එන්නේ නැද්ද කියලා. ඒ හින්දම මේ කාලයේදී නත්තල් ගීත ඇතුළත් සංයුක්ත තැටියක් එළිදැක්වීමට මා කටයුතු යොදනවා. මෙවර මං ඊට අන්තර්ගත කළ ගීත විශේෂයි. බෙත්ලෙහෙම් පුරේ ඇතුළුව ගීත දොළහක් මෙයට ඇතුළත් වුණා. ඒවා මං කැසට්වලට ගයපු ඒවා. ඇතැම් ගීත මින් පෙර සංයුක්ත තැටිවලට යෙදාගෙන තිබුණේ නැහැ. ඉතින් මං හිතනවා මේ තැටිය මගේ ගීතවලට ලැදි හැමෝටම මහඟු තැග්ගක් වේවි කියලා.

ඔබේ සංගීත දිවිය ආලෝකෙමත් කළ ක්ලැරන්ස් ගැන මොනවද කියන්න තියෙන්නේ?

මගේ ගායන ජීවිතයේ හැරවුම් ලක්ෂ කිහිපයක්ම තියෙනවා. ඒවා සියල්ල සිදු වුණේ ක්ලැරන්ස් නිසා. ඉංග්‍රීසි ගීත කිය කිය හිටපු මාව සිංහල ගීත කියන්න යොමු කළේ ක්ලැරන්ස්. ඔහු මට හදලා දීපූ පළමු ගීතය අදත් මං ප්‍රසංග වේදිකාවේ කියනවා. ඒ අද වෙයි ඉරු දින. ක්ලැරන්ස් සින්දු හදන්නේ ඒ ගායකයන්ගේ කටහඬට. එහෙම කලාකරුවෝ බිහි වෙන්නේ හරිම කලාතුරකින්. අපිටත් ඒ වගේ පුද්ගලයකු ඇසුරු කරන්න ලැබුණා.