වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




ලෙස්ටර්: ඔහුය සිනමාව

ලෙස්ටර්: ඔහුය සිනමාව

Peo Tv - IPTV  තාක්ෂණය ඔස්සේ විකාශය වන මුල්ම සිනමා උලෙළ වෙනුවෙනි

සැබෑ දේශිය සිනමාවේ උපත ලෙස විචාරකයන් විසින් අවිවාදයෙන් සලකනු ලබන රේඛාව මුල් වරට තිර ගත වී වසර හැට එකක් සපිරෙන්නේ මෙම මස විසි අට වැනි දිනටය.එය මුලින් තිර ගත වූයේ 1956 වසෙර්ය.පනස් හය යනු මෙරට පෙරළිකාර වසරකි.දේශපාලන ඉතිහාසයේ මෙන්ම කලා ඉතිහාසයේ ද එය මනාව සලකුණු කරයි.සරච්චන්ද්‍රයන් මනමේ වේදිකා ගත කරන්නේ ද මාර්ටින් වික්‍රමසිංහයන් විරාගය ග්‍රන්ථාරූඩ කරනු ලබන්නේ ද චිත්‍රසේනයන් කරදිය කරළි ගත කරනුයේ ද එම වසෙර්ය.එමෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රේඛාව තිරයට ගෙන එන්නේ ද දෛවෝපගත පරිද්දෙන් පනස් හය වසෙර්ය.එය එම වසර අවසානයේ සිදුවන සිදුවීමය.

ඒ වන විට මුල්ම සිංහල කතානාද චිත්‍රපටය තිර ගත කොට හරියටම දස වසරකි.මෙරට චිත්‍රාගාර දෙකක් ඉදි වී තිබූනද (සුන්දර සවුන්ඩ් සහ නව ජීවන) සිනමා කෘතින් කිසිවකටත් දකුණු ඉන්දියානු සිනමාවේ ගති ලක්ෂණ වලින් මිදී ස්වාධීන ලක්ෂණ පහල වුයේ නැත. කොටින්ම දකුණු ඉන්දියානු චිත්‍රපටයක සහ සිංහල චිත්‍රපටයක එකම වෙනස නම් භාෂාව පමණකි. 1956 වසරේ තිර ගත කළ සිංහල චිත්‍රපට සංඛ්‍යාව හතකි.රේඛාව හා තවත් එක් චිත්‍රපටයක් හැර (රම්‍යලතා) සියලුම චිත්‍රපට තැනුණේ දකුණු ඉන්දියානු චිත්‍රාගාර තුළය. බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න නිර්මාණය කළ දෛව විපාකය හැරුණු විට අන් සියලු චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද්දේ ඉන්දියානුවන් විසිනි. දෙමළ සිනමාවේ කීර්තිමත් සිනමාකරුවන් අතර සිටි කේ.ශන්කර් (දොස්තර) ඒ.එස්.ඒ.සාමි (ඩිංගිරි මැණිකා) මිත්‍රදාස් (දුප්පතාගේ දුක) වැන්නන් ද ඒ අතර වෙති.මේ අතරින් ඩිංගිරි මැනිකා යනු පියදාස සිරිසේනයන්ගේ එනමින් යුත් නවකතාව පාදක කොට ගත්තකි.නිදහස් සටනේ පුරෝගාමි ලේඛකයකු වන පියදාස සිරිසේනයන්ගේ නවකතාවක් සිනමාවට නැංවුනද එය සම්පූර්ණයෙන්ම දකුණු ඉන්දියානු මුහුණුවර රැඳී පැවතිණ.ලංකාවේ උපත ලද කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලද සාමි දෙමළ සිනමාව නව මුහුණුවරකට යොමු කළ වේලක්කාරි චිත්‍රපටයේ ද අධ්‍යක්ෂවරයාය. රම්‍යලතා සඳහා පාදක වනුයේ සරත්චන්ද්‍ර බන්ධෝපාධ්‍යයගේ දේව්දාස් නවකතාව ඇසුරෙන් තෙළිඟු සිනමාකරු වයි.එන්.රාම් අධ්‍යක්ෂණය කරන ලද දේව්දාසන් චිත්‍රපටයයි.

මේ චිත්‍රපට සියල්ල පිළිබඳ අතීතාවර්ජනයේ කවර පුරාජේරු පැවසුව ද රේඛාව ආරම්භයේ එන දර්ශන මාලාව හා සම වන්නට ඒ එකකට වත් සිනමා මාධ්‍යය මගින් ඉඩ ලබා නොදෙයි.උදාහරණයක් ලෙස පුළුල් කඳු බෑවුමක ඇති කුඩා පාරක් දිගේ එන බොරු කකුල් කාරයාද ඔවුන් පසුපස එන දරු කැල ගේ රූප රාමු පෙළ ද රේඛාව සමකාලීන සිනමාවේ සෙසු චිත්‍රපට වලට වඩා ගව් ගණනක් එය ඉහලින් ඔසවා තබයි. එක් පසෙකින් පරිසරයේ චමත්කාරය ද අනිත් පසින් චරිත හා බද්ධ වන සිදුවීම් මාලාව ද එකම රූපයක ලා කැටි කරනුයේ සිනමාවේ භාෂාව යනු රූපය යැයි අපට පසක් කරමිනි.

එය වඩා අවධාරණය වන්නේ රේඛාවට පෙරාතුව එම වසරේම තිරගත කරන ලද සුරතලී චිත්‍රපටය හා සැසඳීමෙනි. එහි ආනන්ද ජයරත්නගේ රූප පෞරුෂයත් ජෝතිපාලයන්ගේ සිරියා මේ සාරා හඬ පෞරුෂයත් එක්තැන් කළද, චිත්‍රාගාරයක් තැනුණු කඳු පළාතක ගෙන ආවේ මාලානික දර්ශන පෙළකි.

දෙසැම්බරය අග්ගිස්සේ සිට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව ගැන යළි සිහිපත් කරනුයේ එහි හැට එක් වැනි සංවත්සරය අරභයා පමණක් සළකමින් නොවේ.මේ ලිපියේ ප්‍රධාන අරමුණ ලංකික සිනමාවේ මුල් වරට අන්තර්ජාල නිල ටෙලිවිෂන තාක්ෂණය (IPTV-Internet Protocol Television) ඔස්සේ සිනමා උළෙලක් මේ දිනවල පැවැත්වෙන හෙයිනි.ඒ පියෝ ටීවී ජාලයේ 365 නාලිකාව මගින් සති අන්තයේ රාත්‍රි 9.00 ට විසුරුවා හරිනු ලබන ලෙස්ටර් ඔහුය සිනමාව නම් සිනමා උලෙළ පිළිබඳවය.එහි දී ආචාර්ය ලෙස්ටර් විසින් නිර්මාණය කරන ලද රේඛාව,ගම් පෙරළිය,බැද්දේගම,දෑස නිසා,දෙලොවක් අතර,මඩොල්දූව, යන චිත්‍රපට මෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් නිෂ්පාදන ලෙස එළි දුටු සුමිත්‍රා පීරිස් විසින් නිර්මාණය කරන ලද ගැහැණු ළමයි සහ මායා යන චිත්‍රපට ද දැක බලා ගත හැකි වන්නේය.දිනෙන් දින පටු වන ලංකික සිනමා ශාලා වෙළඳ පොළට වඩා දැවැන්ත වෙළඳ පොළක් වර්තමාන අන්තර්ජාල ව්‍යප්තිය හමුවේ ගොඩ නැගීම වැළැක්විය නොහැක. සැබෑ සිනමාවක ආශ්වාදය රසිකයා වෙත යොමු කළ යුත්තේ හොඳ සිනමා කෘති රසිකයනට තිළිණ කිරීමෙනි.අඳුරට සාප කරනවාට වඩා පහනක් දැල්වීම අගනේය.හොඳ සිනමාවකට ව්‍යාප්ත වන්නට ඉඩ හැරීම වඩා විපුල ජනකය. “ලෙස්ටර් ඔහුය සිනමාව” වඩා වැදගත් වනුයේ ඒ නිසාය.

සිනමාකරුවකු අරඹයා මෙරට දී මුල් වරට සිනමා උළෙලක් පැවැත්වුයේ ද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවෙනි. ඒ 1972 තරම් ඈත වකවානුවකය. එයට පෙර ජාත්‍යන්තර වශයෙන්ද ලාංකේය සිනමාකරුවකුගේ ප්‍රත්‍යවලෝකන සිනමා උළෙලක් පවත් වන ලද්දේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවෙනි.ඒ අමෙරිකාවේ නිව්යෝක් මොඩර්න් ආට් කලාගාරයේ දී 1969 වසර තරම් ඈතකය. නිව්යෝක් මොඩර්න් ආට් කලාගාරය ඉතා ඉහල සම්භාවනීය කෘතින් සඳහා පමණක් වෙන් වන තැනකි. වර්තමානයේ ආචාර්ය ලෙස්ටර් වාර්තවක් තබනුයේ අයි.පී.ටී.වී.තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන සිනමාකරුවකුගේ මුල්ම සිනමා උලෙළ ඔහුගේ චිත්‍රපට එකතුවක් සමඟ පැවැත්වීමෙනි.

ලාංකික සිනමාවේ අනාගතය වඩාත් විනිවිද දුටු සිනමාකරුවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය.රූපයෙන් කතා කරන සිනමා කලාව හඳුන්වා දෙන ඔහු මෙරටට සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව පෙන්වා දෙනුයේ පනහ දශකයේ දීමය. 2006 වසරේ දෙසැම්බර් මාසයේ රේඛාව චිත්‍රපටයේ පනස් වැනි සංවත්සරය දිනයේ සිය නවතම චිත්‍රටය වන අම්මාවරුනේ තිරයට එක් කරමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිය ස්වයං විශ්‍රාමය නිවේදනය කළේය.නිර්මාණකරණයෙන් විශ්‍රාම ගිය ද සිනමාවට ඇති ආලයෙන් ඔහු තවමත් තරුණය. වර්තමාන දේශීය සිනමාවේ මෙන්ම ලෝක සිනමාවේ තාරුණ්‍ය පිළිබඳ ඔහු හැමවිටම දැනුවත්ය.සියවසකට ආසන්න සිනමා ලෝකයේ ඉතිහාසය ඔහුගේ මතක පොත හාරා ඇවිස්සීම අන්තර්ජාල විශ්වකෝෂයේ සැරිසරනවාට වඩා යාවත්කාලිනය. ඉක්මන්ය.

ස්වයං විශ්‍රාම යන්නට බොහෝ කලකට ඉහත ඔහු අපූරු හෙළිදරව්වක් යෙදුණේ දළ සේයා පටයේ චිත්‍රපට තනන අවසාන පරම්පරාව තමා නියෝජනය කරන බව පවසමිනි.ඒ වන විටත් මෙරට සිනමාවේ නියැළි බොහෝ දෙනා ලොව පුරා සිදුවෙමින් පවතින ඩිජිටල් විපර්යාසයන් ගැන දැන සිටියේ නැත. නිහඬ, ශබ්ද සහ ඩිජිටල් යන සිනමාවේ යුග ත්‍රිත්වයේම සිනමාකරණයේ නියැළෙන්නට සමත් වූයේ පෘතුගාල සිනමාකරු මැනුවෙල් ඩි ඔලිවේරා පමණී. වසර එකසිය හයක් ජීවත් වූ ඔලිවේරා යුග ත්‍රිත්වයම නියෝජනය කළ නමුදු සිනමාකරුවකු ලෙස එරට සිනමාවට බලපෑම් කළ හැක්කෙකු නොවිණ. වර්තමානයේ දී ආචාර්ය ලෙස්ටර් මේ වන විට ලොව වෙසෙන වැඩිමහල් සිනමාකරු ලෙස ගෞරවයට පාත්‍ර වනවා පමණක් නොව ලොව මහා සිනමාකරුවන්ගේ පරම්පරවේ අන්තිමයා වන්නේය. (මේ වන තෙක් ලොව වැඩිමහල් සිනමාකරු වන රේඛාව සමයේම තිර ගත කළ දුප්පතාගේ දුක චිත්‍රපටය තැනූ මිත්‍රදාස් වසර 104 ක් ආයු වළඳා පෙබරවාරියේ අභාවප්‍රාප්ත විය)

මහා සිනමාකරුවන් යම් රටක සිනමා ආකල්ප වෙනස් කරවීමේ හා සිනමා පරම්පරාවක පුරෝගාමියකු කර්තව්‍යයේ නියැළන්නෝය.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට සිනමාව සම්බන්ධ මෙරට ආකල්ප වෙනස් කරලිමේ මහත් අරගලයක් කරන්නට සිදු විය.රේඛාව තිර ගත කරවීම සඳහා එවකට මෙරට සිනමාවේ මෝගල් වරයා වූ සීමාසහිත සිලෝන් තියටර්ස් නිර්මාතෘ ශ්‍රීමත් චිත්තම්පලම් ඒ.ගාඩිනර් හමුවන්නට යන ලෙස්ටර්ට ගාඩිනර් පෙන්වා දෙන ලංකාවේ හොඳම චිත්‍රපටය සැඩ සුළං චිත්‍රපටයයි.රේඛාව සිනමා විචාරකයන් විනා සිනමා රසිකයන් එකල වැලඳ ගත්තේ නැත.වසර ගණනාවක් එකම මඩ ගොහොරුවක ලැග උන් රසිකයන් එයින් මුදවන්නට කල් ගත විය. එවකට අධ්‍යාපන ඇමතිවරයා ආචාර්ය විජයානන්ද දහනායක රේඛාව රටට අවමානයකැයි සඳහන් කොට එය තහනම් කළ යුතුයැයි කරුණු දැක්වීය.එයින් වසර ගණනාවකට පසු සර් ගාඩිනර් ගේ සමාගම ට විශාලම ආදායමක් උපයා දෙන්නේ ලෙස්ටර් නිර්මාණය කරන ලද ගොළු හදවතයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් ලෝක සිනමාවට තිළිණ කළ විශිෂ්ටතම දායාදය වන නිධානය නිපද වනුයේ ද සර් ගාඩිනර් ගේ සමාගමයි.එතෙක් මෙතෙක් ආචාර්ය ලෙස්ටර් වෙනුවෙන් චිත්‍රපට ත්‍රිත්වයක්ම නිපද වනුයේ ද ඔවුන්ය. ඒ ආකල්පමය වෙනසයි.එහෙත් දහනායකයන් මෙන්ම බොහෝ දේශපාලකයෝ ලෙස්ටර් ගේ මග ගත් තරුණ සිනමාකරුවන්ට ලෙඩ දාන්නට ට්‍රයි කිරීම ඉතිහාසය පුරා පවතින්නකි.ඒ හැම විටම තරුණයන් ගේ සිනමාව වෙනුවෙන් පෙනී සිටීම තම පීතෘත්වයේ වගකීමක් ලෙස සළකා කටයුතු කරන්නට ආචාර්ය ලෙස්ටර් මැලි වූයේ නැත.

සමහර විට රේඛාව වාණිජ වශයෙන් අසාර්ථක වීම මෙරට සැබෑ සිනමාවේ මෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සිනමාවේ ද අවසානය වන්නට ඉඩ තිබිණ.එහි සිනමා අර්ථය වටහා ගත්තේ සිනමාව පිළිබඳ හඳුනා සිටි පිරිස පමණකි.හොඳ කතාවක් තිරයෙන් දැකීම යනු සිනමාව යැයි සිතා සිටි රටකට සිනමාව කතා කියන්නේ රූපය භාෂාවක් කොට ගෙන යැයි ලෙස්ටර් ප්‍රායෝගිකව පෙන්වා දුන්න ද එය එකවර වටහා ගන්නට ඒ වන විට ඇබ්බැහි වි සිටි සිනමා සම්ප්‍රදායන්ගෙන් අසීරු විය. නිවාඩුවක් ගත කරන්නට ලංකාවට පැමිණි ප්‍රංශ සිනමා විචාරිකා මාරියා ෂෙල් ට රේඛාව ඇස ගැසීම අහඹු සිදුවීමක් විය. ඇයට සිංහල චිත්‍රපටයක් නරඹන්නට වුවමනා වූ විට ඒ වන විට තිර ගත වූ වෙනත් චිත්‍රපට මග හැර වැල්ලවත්තේ රොක්සි (දැන් සැවෝයි ප්‍රිමියර්) සිනමාහල වෙත ඇය රැගෙන ගොස් තිබුනේ ගල්කිස්ස හෝටලය අසල ටැක්සි රියැදුරෙකි. රේඛාවේ කදිම සිනමා බස වටහා ගන්නා ඇය ප්‍රංශයට ගොස් ඊළඟ කාන් සිනමා උලෙළට රේඛාවට ඇරයුම් කළාය. ඒ සඳහා ලෙස්ටර් නම් අලුත් සිනමාකරුවා සොයා ගන්නට ඇයට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.

ජාත්‍යන්තර අවධානය දිනා ගත්ත ද රේඛාව මෙරට වාණිජ වශයෙන් අසාර්ථක වීම හේතුවෙන් ලෙස්ටර් ඊළඟ වසර කිහිපයම චිත්‍රපටයක් සඳහා ආයෝජකයකු නැතිව ලතැවෙයි.එවර මෙරට සිටි ප්‍රධානතම සිනමා නිෂ්පාදකවරයකු මෙන්ම ගාඩිනර් ගේ ප්‍රධාන ව්‍යාපාරික ප්‍රතිවාදියා වන කේ.ගුණරත්නම් ආචාර්ය ලෙස්ටර්ට ආරාධනා කරනුයේ ඔහුගේ සිනමාස් සමාගමේ දස වැනි සංවත්සරය සඳහා චිත්‍රපටයක් නිර්මාණය කරන ලෙසය.එහි වියදම සඳහා අවශ්‍ය මුදල ලියා ගැන්මට හිස් චෙක් පතක් ලබ දෙන්නට තරම් ගුණරත්නම් එඩිතර වෙයි. ඒ වන විට දකුණු ඉන්දියාවේ මුල් පෙළ සිනමාකරුවන් ලවා පමණක් චිත්‍රපට තැනූ ගුණරත්නම් ලෙස්ටර්ට සිනමා කෘතියක් ලබා දෙනුයේ රේඛාවට වසඟ වීමෙන් නොවේ. ඒ සඳහා ඔහු පොලඹවාලනුයේ ඉන්දියානු සිනමාවේ දැවැන්තයකු වන රාජ් කපූර් ය. රාජ් කපූර් චෙකොස්ලෝවැකියාවේ කාලොවිවාරි උලෙළේ දී රේඛාව දැක එයට වසඟ වී සිටියේය.සංදේශය තැනුණේ එහෙමය. ගම් පෙරළිය පිළිබඳ සම්මත සිනමා විචාරකයන් කිසිවක් නොකියා මුනිවත රකින්නට තරම් පෙළඹුණහ. කෙසේ වෙතත් මුල්ම සරසවිය සම්මාන උලෙළේ දී ගම්පෙරළිය හොඳම චිත්‍රපටය ලෙස අබිසෙස් ලබා එකී සම්මානයට ද ඉහළ වටිනාකමක් දුන්නේය.ලාංකික මුල්ම කතානාද චිත්‍රපටය තිර ගත කොට හරියටම වසර 18 ක් පිරුණු 1965 ජනවාරි 21 වැනි දින නවදිල්ලියේ දී එය හොඳම චිත්‍රපටය ලෙස රණ මයුර සම්මානය දිනා ගන්නේ එයින් පසුවය.

ලොව පුරා බොහෝ පුරෝගාමින්ගේ සිනමාව සමග ඊළඟ පරම්පරාව අතර නිරන්තර අරගලයක් පැවැතිණ.එය පාරම්පාරික අරගලයක් පමණක් නොවීය.බොහෝ ජ්‍යෙෂ්ඨ සිනමාකරුවන් ඊළග පරම්පරාව හා මතවාදි වශයෙන් පමණක් නොව නිර්මාණාත්මක වශයෙන්ද ආරෝවක් තිබිණ.එහෙත් දේශීය සිනමාවේ පුරෝගාමියා ලෙස ආචාර්ය ලෙස්ටර් සමග ඊළඟ පරම්පරාවට තිබුණේ පිය පුතු බැදිමකි.ඔහු හැමවිටම තරුණයන්ගේ සිනමාව පිළිබඳ ආදරයෙන් බැලුවේය.

ඔහුගේ සිනමා භාවිතය හා දැනුම ඊළග පරම්පරාව සමග අරගලයක නොයෙදුණේ හැමවිටම මනසින් යාවත්කාලින වන්නට ඔහු සතුව තිබුණ අපූරු හැකියාව නිසාය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙරට ටෙලිවිෂනය හා සිනමාව සම්බන්ධව තබා ඇති වාර්තාව බොහෝ දෙනෙකුගේ ඇස යොමු නොවුණකි. මෙරට ටෙලිවිෂනයක විකාශිත මුල්ම සිනමා කෘතිය වනුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන ලද මඩොල්දූවයි. එය 1980 වසරේ අප්‍රේල් මස 14 වැනි දින දහවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය විය. එමෙන්ම සිනමාහලක තිර ගත වීමට මත්තෙන් ටෙලිවිෂන නාලිකාවක විකාශය වූ ප්‍රථම සිංහල සිනමා කෘතිය ද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සිනමා කෘතියක් වග බොහෝ දෙනාගේ මතකයෙන් ගිලිහුණකි.ඒ පිංහාමි චිත්‍රපටයයි. ජාතික රූපවාහිනිය විකාශයන් ඇරඹි 1982 වසරේ පෙබරවාරි 14 වැනි දින රාත්‍රියේ එය මුල් වරට විකාශය වූ අතර පිංහාමි සිනමාහල් වල තිර ගත වනුයේ එයින් පසු 1983 වසරේ මාර්තු 11 වැනි දින කලියුගය සමගය.

ලෙස්ටර් ජේම්ස් පිරිස් වෘතාන්ත සිනමාකරණයේ නියැළුණේ වසර පනහකි.එම කාලය ඇතුළත ඔහු විසින් නිර්මාණය කරන ලද වෘතාන්ත 19 කි.ඒ අතින් බලන කළ ඔහුගේ ජීවිතයේ සිනමාව සම්බන්ධ කාලය නිකරුණේ ගෙවී ගොසිනි.සිනමාකරුවකු සඳහා ලැබිය යුතු වඩාත් බුහුමන වනුයේ ඔහුට නිරන්තර සිනමාකරණයේ නියැළීමට ඇති අවකාශයයි. ඒ අතින් ලොව වඩාත්ම වාසනාවන්ත මහා සිනමාකරුවා සත්‍යජිත් රායි පමණකි.ඔහුට ඔහුගේ ජීවිත කාලය ඇතුළත චිත්‍රපට තිහකට ආසන්න සංඛ්‍යාවක් සිය මව්රටේ දීම තනන්නට ඉඩ ලැබිණ.කුරොසාවා,තර්කොව්ස්කි.බර්ගමාන් වැන්නන්ට වරින් වර තම මව්රට අතහැර යන්නට ද සිදු විය.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඒ අතින් වාසනාවන්තය.ඉංග්‍රිසියෙන් ඉගෙන එකී පරිසරයේ හැදී වැඩී එංගලන්තයේ කලක් ජීවත්ව ඔහු දෛවෝපගත පරිදි යළි මව්බිමට පැමිණෙන්නේ සිනමාව නිසාය.එසේ නොවන්නට ඔහුට එංගලන්තයට වී බ්‍රිතාන්‍ය සිනමාකරුවක් වන්නට හොඳටම ඉඩ කඩ තිබිණ.ඔහු පැමිණ සොයා ගියේ ලාංකික මිනිසුන්ගේ ජීවිතයයි.වාර්තා සිනමාකරුවකු ලෙස රැල්ෆ් කීන් සමග කටයුතු කිරීමෙන් ලද පරිචය එහිදී වඩාත් බලපැම් කෙරිණ.මෙරට මිනිසුන්ගේ ජීවිත හා සමාජ සිද්ධින් විනිවිදිමින් ඔවුන් පිළිබඳ තැනූ සිනමාකෘතින් ලොව මුල් පෙළේ සිනමා විචාරකයන්ගේ දැඩි අවධානයට පත් විය.අද මෙන් ලෝකය හා ගනුදෙනු කිරීම පහසු වූයේ නැත එහෙත් ආචාර්ය ලෙස්ටර් විසින් බිහි කරන ලද මාවත ඊළඟ සිනමා පරම්පරාවට විවර විණ.

“ලෙස්ටර් ඔහුය, සිනමාව” වඩා වැදගත්වනුයේ ලොව පුරා සිනමාව සිය අනන්‍යතාව පිළිබඳ අනාවරණය කර ගැනීමේ අරගලයක යෙදී සිටින හෙයිනි. සිනමාව ප්‍රේක්ෂකයන් සොයා ගෙයින් ගෙට යන කාලය උදා ව ඇත.එහි දී වඩාත් සුපසන් කලාවක් වෙනුවෙන් කළ යුතු මෙහෙය ඉමහත්ය. “ලෙස්ටර් ඔහුය, සිනමාව” වඩා වැදග් වනුයේ එබැවිනි.