|
බොලිවුඩ් Not out ක්‍රිකට් Hit wicketබොලිවුඩ් තරුවලට පෙම්බැඳි ක්‍රිකට් තරු
අපේ ක්‍රීඩකයකුත් බොලිවුඩ් රහස් පෙමක
ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළියක වන ශර්මිලා තාගෝර්ගේ විවාහය සිදු වූයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කායකයකු වූ මන්සූර් අලි ඛාන් පතාවුදි සමඟින්. මෙම විවාහය බොලිවුඩය හා ක්‍රිකට් එක් කළ සුවිශේෂි මෙන්ම සාර්ථක විවාහයක් ලෙසින් සැලකෙනවා.
අයිපීඑල් ක්‍රිකට් තරගාවලියක් වුවත් බොලිවුඩ් තරු නිසා එය තරු තරගයක් බවට පත් වී ඇති අයුරු ඔබට අමතක නැතුව ඇති. පසුගිය සතියේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා අතර විවාහයත් සමඟින් නැවතත් ක්‍රිකට් සහ බොලිවුඩ් වෙත කාගේත් අවධානය යොමු වුණා. බොලිවුඩයේ පමණක් නොව ලොව පුරා විසිර සිටින ක්‍රිකට් ලෝලීන් සේම බොලිවුඩ් රසික රසිකාවන්ගේ ද අවධානය දිනා ගත් අනුෂ්කා - විරාත් ආදර කතාව මල්ඵල දරමින් පසුගිය 11 වැනිදා ඉතාලියේදී විවාහ දිවියට පිවිසියා. ක්ෂණික පුවත් මැවූ අනුෂ්කා - විරාත් විවාහය සේම ක්‍රිකට් සහ බොලිවුඩය එක් කරමින් තවත් ජනප්‍රිය විවාහ උත්සව කිහිපයක්ම පැවැත් වී තිබෙනවා. මේ අතරින් මෑතකදී සිදු වූයේ සහීර් ඛාන් සහ බොලිඩුව් නිළි සාගරිකා ඝාට්ගේ අතර විවාහය යි. ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ බල ඇණියේ වමත් වේග පන්දු ක්‍රීඩක සහීර් සහ සාගරිකා අතර විවාහය පසුගිය නොවැම්බර් 23 වැනිදා පැවැත් වුණා. එහිදී අනුෂ්කා සහ විරාත් නර්තනයේ යෙදුනු ආකාරයත් ලොව පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියා. සහීර් - සාගරිකා විවාහයට පෙරදී සහීර් තවත් බොලිවුඩ් තරුවක සමඟින් බැඳී හාදකමක් ගැන පුවත් බොලිවුඩයෙන් මතු වුණා. ඇය රගංන ශිල්පිනියක සේම නර්තන ශිල්පිනියක ද වන ඊෂා සර්වානි. සහීඩ් - ඊෂා හිතවත්කම වසර අටක් පුරා පැවති බව මෙන්ම ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගැනීමට සැරසෙන බවට කතා පැතිරුණත් ඊෂා මාධ්‍ය වෙත කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කර සිටියා. තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං අත ගත්තේ බ්‍රිතාන්‍ය ජාතික නිළියක වන හසෙල් කීච් සමඟින්. බ්‍රිතාන්‍යයේ උපත ලද හසෙල් දෙමළ චිත්‍රපටයක් වන Billa, Bodyguard (හින්දි) සහ බ්‍රිතාන්‍යයේදී ද තවත් වැඩසටහන් රැසකට රංගනයෙන් සහ නර්තනයෙන් දායක වී තිබෙනවා. යුවරාජ් - හසෙල් විවාහය සිදු වූයේ, 2016 වසරේ නොවැම්බර් 30 වැනිදා. නමුත් ඊට පෙර ඔවුන් 2015 වසරේ බාලි දූපත්හිදී විවාහ ගිවිස ගත්තේ කාටත් හොර රහසේ යි. ක්‍රිකට් වාර්තා වගේම බොලිවුඩ් නිළියන් සමඟින් සබඳතා ඇති කර ගැනීමේ වාර්තාව ඔහු සතු බවයි බොලිවුඩ් පුවත් ගෙන එන්නේ. මීට පෙර යුවරාජ්ගේ නම ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්, ප්‍රීති සින්ටා සහ කිම් ෂර්මා සමඟින්ද බැඳුණා. අයිපීඑල් ක්‍රිකට් තරගාවලිය ආරම්භයේ පටන් ප්‍රීති සින්ටා සහ යුවරාජ් එකිනෙකා වෙත සමීප වී ඇති බවත් නුදුරේදීම විවාහයට පිවිසෙනු ඇති බවත් උණුසුම් ක්‍රිකට් පුවත් අතරේම කියවුණා. එසේම දීපිකා පදුකෝන් සහ ඉන්දීය ක්‍රිකට් නායකයකු වූ මහේන්ද්‍ර සිං දෝනි අතරද හාදකමක් ගැන තොරතුරු මීට වසර කිහිපයකට පෙර බොලිවුඩයෙන් වාර්තා වුණා. ලොව සිටින දඟ පන්දු යවන්නන් අතරේ කැපී පෙනෙන ක්‍රීඩකයකු වන හර්බජාන් සිං විවාහපත් වූයේ ඔහුගේ දිගු කාලීන පෙම්වතිය වූ නිළි ගීතා බස්රා සමඟින්. ඇය Lock,Second Hand Husband (2016), The Train වැනි චිත්‍රපටවල රංගනයෙන් දයක වුණා. ලන්ඩනයේ ක්‍රිකට් තරගාවලියක් අතරතුර රූපවාහිනි තිරයේ ගීතමය ජවනිකාවක ඇය මුලින්ම දුටු බව හර්බජාන් මාධ්‍යයට පවසා තිබුණා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මොහොමඩ් අසරුදීන්ගේ දෙවන විවාහය සිදු වූයේ බොලිවුඩ් නිළි සංගීත බිජ්ලානි සමඟිනි. ඒ වන විට පුතුන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු ඇය විවාහ කර ගත්තේ පෙර බිරිය නෞරින් දික්කසාද කරමිනි. 1996 වසරේදී සිදු වූ සංගීතා - අසරුදීන් විවාහයට 2010 වසරේදී තිත තැබිණි. ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළියක වන ශර්මිලා තාගෝර්ගේ විවාහය සිදු වූයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කායකයකු වූ මන්සූර් අලි ඛාන් පතාවුදි සමඟින්. මෙම විවාහය බොලිවුඩය හා ක්‍රිකට් එක් කළ සුවිශේෂි මෙන්ම සාර්ථක විවාහයක් ලෙසින් සැලකෙනවා. කෙටි කලකින් නිමා නොවී මන්සූර් අලි ඛාන් පතාවුදි මිය යන තෙක්ම එය සාර්ථකව පැවතුණේ ක්ෂේත්‍ර දෙකටම ආදර්ශයක් වෙමින්. මේ යුවලගේ පුතු සයිෆ් අලි ඛාන් සහ දියණිය සාරා අලි ඛාන් ආකර්ෂණය වූයේ, ක්‍රිකට් ලොව වෙතට නොව බොලිවුඩය වෙතටයි. බොලිවුඩය සහ ක්‍රිකට් ක්‍රීඩාවට ලොව අනෙකුත් ජාතීන්ට වඩා ඉන්දීය ජාතිකයන් දක්වන්නේ ඉහළ ළෙංගතුකමක්. තමන් ප්‍රිය තරක ක්‍රිකට් තරු බොලිවුඩ් තරු සමඟින් බැඳීම ඔවුන් වෙත ගෙන ආවේ සුබදායක පුවත්. කෙසේ නමුත් මේ අතර විවාහයෙන් කෙළවර නොවූ බොලිවුඩ් - ක්‍රිකට් ආදර කතා බොහොමයක් ඇති බව ද කිව යුතුමයි. බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විවියන් රිචඩ්ස් සහ ජනප්‍රිය ඉන්දීය නිළි නීනා ගුප්තා අතර ආදර කතාවද විවාහයෙන් කෙළ වූයේ නැහැ. ඉතිහාසගත එක්දින ජාත්‍යන්තර පිතිකරණයන් අතරේ ඉහළින්ම සිටින විවියන් රිචඩ්ස් ඉන්දීය සංචාරයක් අතරතුර නීනා අතර සබඳතාවය අරඹන විටත් විවාහකයකු විය. කෙසේ නමුත් විවියන් - නීනා ආදර කතාව තව තවත් පුවත් මැවූයේ නීනා දියණිය මසාබා ගුප්තාට උපත ලබාදීම සමඟින්. ඇය නීනා සමඟින් හැදී වැඩුණු අතර මේ වන විට ඇය මෝස්තර නිර්මාණ ශිල්පිනියක ලෙසින් කටයුතු කරනවා. විවාහ නොවුනද විවියන් - නීනා ආදර කතාව සදාකල් එකක් බවයි කියවෙන්නේ. බටහිර ඉන්දිය කොදෙව් පිලේ හිටපු නායකයකු වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් ගේ සිත ගත්තේ ද ඉන්දීය නිළියක වන අන්ජු මහේන්දෘ ය. 60 දශකයේ අග භාගයේදී රාජේශ් ඛන්නා සමඟින් බැඳ හාදකම පසෙක දමා ඇය ගාෆීල්ඩ් සෝබර්ස් සමඟින් විවාහ ගිවිස ගත්ත ද එම විවාහය වැඩිකල් පැවතුණේ නැහැ. මේ වන විට ගාෆීල්ඩ් සෝබර්ස් ද ඔස්ට්‍රේලියානු ජාතික බිරියගෙන් වෙන් වී වෙසෙන අතර අන්ජු ද තනිකඩ ජීවිතයක් ගත කරනවා. සයිෆ් අලි ඛාන් සමඟින් විවාහ වීමට පෙර අම්රිතා සිං ඉන්දීය ක්‍රිකට් නායකයකු මෙන්ම වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු වන රවී ශාස්ත්‍රී සමඟින් පෙම් සබඳතාව අසූව දශකයේ දී කතාබහට ලක් වූ උණුසුම් පුවත් ගෙන ආවා. කෙසේ නමුත් 1990දී රවී, රිතූ සිං සමඟින් විවාහ වූ අතර එයින් වසරකට පසු අම්රිතා සහ සයිෆ් අලි ඛාන් අතර විවාහය සිදු විය. සුරූපි ඉන්දීය නිළියක වන නග්මා සමඟින් පෙමින් බැඳුනද හිටපු තවත් ඉන්දීය ක්‍රිකට් නායකයකු වන සව්රව් ගංගුලි විවාහ වූයේ කුඩා කාලයේ පටන් මිතුරිය වූ ඩෝනා සමඟිනි. අම්රිතා අරෝරා ශඛීල් ලඩාක් සමඟින් විවාහ වීමට පෙර පකිස්තානු සම්භවයක් ඇති එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් අෆ්සල් සමඟින් පෙමින් බැඳී සිටියා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ දකුණත් පිතිකරුවකු වන රෝහිත් ශර්මා සහ නිළියක, ගායිකාවක සහ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන සොෆියා හයාත් සමඟින් වු සබඳතාවයද විවාහය දක්වා දුර ගියේ නැහැ. රූ රැජන කිරුළක් දරමින් 80 දශකයේදී බොලිවුඩයට පැමිණි පූනම් ඩිලොන් අශෝක් තකේරියා සමගින් වූ වසර අටක විවාහ දිවියට 1997 වසරේදී තිත තැබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු නිසා බවට එකල ඉන්දියාවේ පුවත් පළ වුණා. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් නොව පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද බොලිවුඩ් තරු සමඟින් වූ පෙම් කතා නැතුවාම නොවෙයි. ඒ අතරෙ මුලින්ම කියවෙන්නේ හිටපු ක්‍රිකට් නායකයකු වන ඉම්රාන් ඛාන්. ඉම්රාන් බොලිවුඩ් නිළි සීනාත් අමාන් අතර පෙම් කතාවට ඉහළ ප්‍රසිද්ධියක් හිමි වුණා. පකිස්තානු ක්‍රීඩක මෝෂින් ඛාන් සමඟින් විවාහ වූ රීනා රෝයි තම රංගන දිවියට නැවතීම තිත තැබුවද පසු කලෙක නීතියෙන් වෙන් වූ ඇය යළිත් රංගන දිවියට පිවිසියා. සොයිබ් අක්තාර් සහ සොනාලි බන්ද්‍රේ අතර මේ කතාව වගේම වසීම් අක්‍රම් සහ හුමානියා මලික් අතර සබඳතාවයත් මේ අතර වෙනවා. තවද වසීම් අක්‍රම්, ජනප්‍රිය නිළි සුෂ්මිතා සෙන් පෙමින් බැඳී සිටි බව පවසමින් පළ වුණු පුවත් දෙදෙනාම ප්‍රතික්ෂේප කරන්නේ තමන් හොඳ මිතුරන් බව පවසමිනි.
|