වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




අද මට විනෝද්ගේ යාළුවා හමුවුණා

අද මට විනෝද්ගේ යාළුවා හමුවුණා

‘ඔයා ඕනවට වඩා මෝස්තර කරන එකට නම් මං එච්චර කැමැති නෑ’

මනෝජ් පැවසුවේ බිනරි ගේ මුහුණට එබිකම් කරමිනි.

‘මං එහෙම මෝස්තර කරන්නේ නෑ’

බිනරි පැවසුවාය.

‘ගෑනියෙක් ලස්සන ගන්ඩ ලිප්ස්ටික් වත් ඕන නෑ’

යෝජනාවක් අනුව ඉතාලියේ සිට පැමිණි මනෝජ් දුටුමතින් බිනරි ට කැමැති වූයේය.ඔවුන් පසුවදාම චුට්ටං මුදලාලිට කියා සිටියේ විවාහයට කැමැති වගය.චුට්ටං ඒ බව ගෙදරට කියා පෑවේය.වැඩිකල් නොයා විවාහ විය යුතුය.විවාහයෙන් පසු බිනරි ද ඉතාලියට යා යුතුය.

‘එකම ළමයා එහෙම නන්නාඳුනන රට රාජ්ජ වල යවනවාට වඩා තියෙන ව්‍යාපාරය තවත් වැඩි දියුණු කර ගන්නට බැරි ඇයි‘ චුට්ටං ඇසුවේය.එයට ලැබුනේ හොඳ ප්‍රතිචාරයක් නොවේ.දන්නා හඳුනන කිහිප දෙනෙක් ලවාම මනෝජ් ගේ වග තුග සොයා බලන්නට චුට්ටං ට හැකි විය.

‘මේ කාලේ බියර් එකක් වත් කටේ තියන්නේ නැති කොල්ලෙක් හොයා ගන්න එක අමාරු වැඩක්.ඒ අතින් මේ ඉලන්දාරියා හරි ඉහළයි.ඔච්චර රට රාජ්ජ වල ගිහිල්ලත්’

නිහාල් ගැන කිහිප පොළකින්ම ලැබුණු චරිත සහතිකය එය විය.

‘බිනරි මට කැමැතිද ?’

මනෝජ් ඇසුවේය.ඔහු එය අසන්නට කිහිප වරක්ම මෑනුවේයැයි බිනරිට සිතිණ.මනෝජ් උසයි.උසින් බැලවොත් බිනරි සිටින්නේ මනෝජ් ගේ උරහිස ගාවට යාන්තමිනි.විවාහය දවසේ අඩි උස සෙරෙප්පු දාන්ඩ වෙයි බිනරිට සිතිණ.

‘කැමැතියි’

ඇය පැවසුවේ කෙඳීරිල්ලක් විලාසයෙනි.නිවසේ කිසිවකු එය අසා සිටිතැයි බිනරි අනුමාන කළාය.

‘ඇයි’

ඔහුගේ ප්‍රශ්න විලාසය කිසියම් පොතකින් උපුටා ගත් ප්‍රශ්නාවලියක් වගේයැයි බිනරිට සිතිණ.හදිසියේම ඇය ඔහුගේ අතින් ඇල්ලුවාය.ඔහු එක්වරම අත ඉවතට ගත්තේය.

ඇයට සිනහ ගියාය.ඔහු හෙමින් සීරුවේ අත ඇය අත මත තැබුවාය.එය සිනිදුයැයි ඇයට වැටහිණ.

‘ඔයා ඉතාලියට යන්ඩ කැමැතිද?’

එවර ඔහු ඇසුවේය.ඇය හිස වැනුවාය.

‘මෙහෙ වගේ නෙවේ.එහේ අපේ වැඩ අපිටමයි කරන්ඩ වෙන්නේ’

‘මම තමයි මගේ ගෙදර වැඩ කරන්නේ’

බිනරි උදම් ඇනුවාය.ඒ මොහාතේ අම්මා තේ බන්දේසියක් ඔවුන් අසලට ගෙනාවාය.අලුත් රස කැවිලි කිහිපයක්ම එහි විය.මනෝජ් එයින් කැවිල්ලක් ගෙන මුව රුවා ගත්තේය.අනතුරුව ඔහු දුටුවේ තමා දෙස ඕනෑ කමින් බලා සිටින බිනරිය.

‘ඔයාටත් කෑල්ලක්’

‘මං හිතුවා මටත් දෙයි කියලා’

ඇය සිනහ වූවාය.

‘ඔයා අඳීන පලඳීන විදියට මම කැමතියි’

මනෝජ් පැවසුවේ හදිසියේ මතක් වූ ආකාරයටය.

‘මම කොහොමත් ඕනවට වඩා ෆැෂන් කරන් කෙල්ලන්ට කැමැති නෑ.ඕකුන්ගේ තියෙන්නේ බොරු ෂෝක් එක විතරයි.ඔයා වුණත් ඔය කොන්ඩේ වවන්න, මෝස්තර දාන්න ඕන නෑ’

මනෝජ් පැවසුවේ අණ දෙන විලාසයකිනි. බිනරි පුදුමයෙන් මෙන් බලා සිටියාය.ඔහු ගේ අණ පිළිපදින්නට ඇය තුළ කැමැත්තක් තිබුණේ නැතත් එයට අවනත වනවා විනා විරුද්ධ වන්නට වුවමනා නොවිණ.

‘තව ?’

ඇය එය ඇසුවේ හිතා මතා නොවේ.

තව ? ඔහු ද පෙරළා ප්‍රශ්නයක් නගා විහිළුවක් කළා මෙන් සිනාවෙන්නට පටන් ගත්තේය.

‘ඹයා කලින් කවුරු හරි එක්ක යාළු වෙලා තියෙනවද?’

අනතුරුව ඔහු ඇසුවේය.ඇය නැතැයි කියන්නට හිස සැලුවාය.

ඔහු ඒ පිළිතුරෙන් සෑහීමකට පත් වූවා වැනිය.තවත් ටික වේලාවකින් ඔහු යන්නට ගියේය. ඒ කාලය ඇතුළත තම පළමු ප්‍රේමය බිඳ වැටීම ගැන ඔහු ගේ කතාව අසා සිටින්නට ඇයට සිදු විය.ඔහු ගිය පසු ඇය ටෙලිවිෂනය ක්‍රියාත්මක කළාය.එහි චිත්‍රපට ගීතයක් විකාශය විය.මනෝජ් සමග චිත්‍රපටයක් නැරඹිය යුතයැයි ඇයට සිතිණ.ඔහු ගේ කතා අසා සිටියා විනා ඔහු ගැන අසා දැනගන්නට නොහැකි වූයේයැයි ඇයට සිතිණ.මනෝජ් කැමැති චිත්‍රපට බලන්න ද ?

‘දුව ඒ ළමයාට කැමැතිද?’

චුට්ටං මුදලාලි ඇසුවේ එදින රාත්‍රියේය.

ඇය කිසිත් නොකියා අම්මා දෙස බැලුවාය.ඇය හිස් බැල්මෙන් අහක බලා ගෙන සිටියාය.ඇගේ මනස සම්පූර්ණයෙන්ම බැඳී තිබුණේ ටෙලිවිෂනයත් එක්කය. එහි විකාශය වනුයේ ඉන්දියානු ටෙලි නාට්‍යයකි.අම්මා එයට කැමැතිය.කතාවේ අගක් මුලක් තේරුම් ගන්නට මෙන් එවර චුට්ටං මුදලාලි එය දෙස බලා සිටියේය.

‘අද මට අර විනෝද්ගේ යාළුවා මුණ ගැහුණා.’

එකවරම චුට්ටං මුදලාලි පැවසුවේය.මෙතුවක් දැහැනකට සම වැදුණාක් මෙන් ටෙලිවිෂනය දෙස බලා සිටි අම්මා චුට්ටං ගේ කතාවට ඇහුම් කන් දෙන වගක් පළ කළාය.

‘අද ආවා මාකට් එකේ පික්චර් එකක් ගන්නවා කියන්නේ.ඒකේ ගන්ඩ ඕනෑ තැන් බලන්ඩලු ආවේ.අපේ කඩෙත් ගන්ඩ ඕනැය කියන්නේ.’

තාත්තා පවසන්නේ දසයා ගැන විය යුතය.හිටි අඩියේ විනෝද් ගැන කතාවක් ඇති වීම බිනරි ගේ සිතට ශෝකයක් ගෙන ආවේය.ඇය එතැනින් ඉවත් වන්නට සිතුවාය.

‘ඒ ළමයා ඒකේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ය කිව්වා.ඒක ලොකු රාජකාරියක් වෙන්ඩැති නේද දුව.ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් කිව්වාම’

බිනරි හිස වැනුවාය.

‘මං කිව්වා ඕන උදව්වක් කියන්ඩ මං කරලා දෙන්නම් කියලා.අර හාදයා නම් හම්බ වුණේ නෑලු’

තාත්තා පැවසුවේ විනෝද් ගැනය.විනොද් දැන් ජීවිතයට සම්බන්ධයක් නැත. නාට්‍යයක් වේදිකාගත වන විට විනෝද් පිළිබඳ මුලින් බිනරිට සිහිපත් වුවද දැන් ඇයට ඒ ගැන උනන්දුවක් නැත .රඟපාන්නට පාසල් අවදියේ තිබුණ පිස්සුව නිකම් නිකම් එකක් වන්නට ඇතැයි බිනරිට සිතිණ.පසුගිය දවස් වල ඇය ඇගේ කාමරය අස් කළාය. රෙදි අල්මාරියේ මහාර්ඝ වස්තු ලෙස තැන්පත් කර තිබූ සිනමා තාරකා පින්තූර රැසක් විය.ඒවා සමහර දෑ ඇය පුවත්පත් මගින් කපා ගත් ඒවාය.ඒ සියල්ල කෙතරම් ආසාවෙන් රැස් කළාද දැන් දුර්වර්ණ වන්නට පටන් ගෙනය. ඒ දෙස මොහොතක් බලා සිටි ඇය එකවරම ඒ සියල්ල ඉරන්නට පටන් ගත්තාය.දියණියගෙන් යමක් විමසන්නට කාමරයට පැමිණි අම්මා දුටුවේ ඇය විසින් මහත් ආදරයෙන් එක් කළ පින්තූර රැස ඉරා දමන ආකාරයයි.

මේ පින්තූර එකතු කරද්දී බිනරි කෙතරම් බැනුම් ඇසුවාද යන්න අම්මාට සිහිපත් විය.පත පොතටත් වඩා නළු නිළියන්ට ඇලුම් කළ බිනරි මෙතුවක් රැස් කළ ධනය බඳු පින්තූර සියල්ල ඉරා එක ගොඩකට රැස් කළ පසු ඒ සියල්ල ගේ පිටිපස්සට ගෙන ගියාය.අනතුරුව අම්මා බලා සිටියදීම එයට ගිනිලෑවාය.