|
ගාමිණී ෆොන්සේකාගේ සිනමා ප්‍රකාශනය - 4අපතේ ගිය ප්‍රතිභාව
(පසුගිය සතිය හා සම්බන්ධය) දයා රාජපක්ෂයන්ගේ චිත්‍ර කතාවලට "ඇඩික්ට් " වූ ගාමිණි ෆොන්සේකා ඔහුගේ හත්වන අධ්‍යක්ෂණයට තෝරගත්තේද එවකට ජනප්‍රිය පුවත්පතක පළවෙමින් තිබු දයා රාජපක්ෂගේම චිත්‍රකථාවකි. ඒ " සක්විති සුවය" ය. එකල එය දැනගත් පසු මට "අනේ අපොයි" කියා සිතුණි. ගාමිණී ෆොන්සේකා විසින් තවත් චිත්‍රකථාවක් කරන්නේ නම් " සුසිල් ප්‍රේමරත්න සිතුවම් කල ධර්මශ්‍රී කල්දේරා කථාව ලියු "බිලි පූජාව " නිර්මාණය කරන්නේ නම් කෙතරම් හොදදැයි මට දහසක් වරක් සිතුනි. නමුත් එය එසේ වූයේ නැත. සිදුවූයේ " සක්විති සුවය" චිත්‍ර කථාවම අධ්‍යක්ෂණය කිරීමය. චිත්‍ර කථාව තුල සිටි "බකට් හැරී " පුදුම ලෙස හදවත තුලට කා වැදුනි. බකට් හැරී ගේ චරිතය ගාමිණී ෆොන්සේකා තෝරා ගත්තේ ඔහුගේ හදවතටද එවැනි ලෙස කා වැදුණු නිසා වන්නට ඇත. ඔහු තිරරචනය දයා රාජපක්ෂටම භාර දුනි . ගාමිණි ට අවශ්‍ය වී තිබුනේ "බකට් හැරීව " තිරය තුල "චන්ඩියා " හී චුට්ටේ මෙන් දෙදරවන්නටය. පලවන දෙදරුම ඇති කලේ 8 වසරකට පසු ගාමිණී හා විජයව තිරය තුලදී නැවත එක් වීමේ ආරංචිය එහි නිෂ්පාදක කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රසිද්ධ කිරීමෙනි . ඔවුන් දෙදෙනා අවසන් වරට රගපෑවේ 1974 තිරගත කල "සැණකෙළිය" චිත්‍රපටයේය. එයද රගපෑවේ එකිනෙකාට ප්‍රති විරුද්ධවය. ඉන්පසු ඔවුන් දෙදෙනා විරසක වූවායැයි කියවේ . එහෙත් එහි සත්‍යතාවය කොතෙක්දැයි නොදනී මුත් ,අට වසරක් යන තෙක්ම ඔවුන් දෙදෙනා එකට රගපෑවේ නම් නැත. නැවත :සක්විති සුවය" තුලින් ඔවුන්ගේ එකතු වීම විශාල දෙදරුමක් යැයි සිතුවද, චිත්‍රපටයේදී එය එසේම වූයේ නැත. මීට 8 වසරකට පෙර ගාමිණී ෆොන්සේකාත් විජය කුමාරණතුංගත් සිටියේ උපරිමත්වයේ නොහොත් "පීක්" එකේය. " හතර දෙනාම සූරයෝ " තුලින් එකතු වූ ඔවුන් දෙදෙනා, "ආදරේ හිතෙනවා දැක්කම" " හොදම වෙලාව" "එදත් සූරයා අදත් සූරයා" " සැණකෙළිය" යන චිත්‍රපට වල රගපාන විට ප්‍රේක්ෂකයන්ට එය උපරිම වූ වින්දනයක් විය. ඔවුන් දෙදෙනා එක සැලෝලයිඩ් පටයේ සිටින විට තිබු ගැම්ම නම් මෙතෙක් යයි කියා නිම කල නොහැකි විය. එතරම් පිරුණු ආකර්ෂණයකි තිබුනේ. නමුත් අවුරුදු අටක් පසු වූ විට ගාමිණි තුල තිබු අර සෙල්ලක්කාර පෙනුම අහෝසවී තිබු අතර, විජය ලග තිබුණු විසේකාර යෞවනයද වියැකෙමින් තිබුණි. නාමිකව ගාමිණී හා විජය එකතු වෙන ආරංචිය "ත්‍රිල්" බවක් දැනුනද, ප්‍රයෝගිකව නම් දියාරු වී ගිය බවකි හැගුනේ . තිස්ස මඩුගල්ල අවන්හලකට වී රෑ එළිවනතුරු මත්පැන් පානය කරයි. හැම දිනම අවන්හලේ අවසන් පුද්ගලයා වන්නේ තිස්ස මඩුගල්ලය. එක් රාත්‍රියකද එසේ වූයේය . නමුත් එදා නම් තිස්සගේ තත්වය වෙනදාටත් වඩා වැඩි විය. ඔහුව හැරලවන්නට සිදුවූයේ හැරී අයියාගේ ටැක්සියෙනි. තිස්ස මඩුගල්ලත් - හැරී අයියාත් දැන හැදින ගන්නේ මෙම සිදුවීම තුලිනි. දයා රාජපක්ෂ තම චරිත සමුහය එක දම්වැලක පුරුකක් මෙන් අමුණන්නේ එලෙසිනි. ඉන්පසු තිස්ස මඩුගල්ලට, හැරී ගේ සොහොයුරිය වූ වයලට් ව මුණගැසීම , ඔවුන්දෙදෙනා අතර ආදරයක් ඇතිවීම ,මුඩුක්කු පරිසරයක සිටින ඔවුන් හොද පරිසරයක නිවසකට යෑම, එලෙසම හැරීටද පෙම්වතියක් සිටීම, ඔවුන් වයලට් විවාහ වෙන තෙක් තම විවාහය පමා කිරීම, තිස්ස මඩුගල්ල වයලට් ව අනාථ කර අතුරුදහන් වීම, එම හේතුවෙන් වයලට් සිය දිවි හානි කර ගැනීම, හැරී ගේ පෙම්වතියද ඔහුව මග හැරීම, හැරීගේ වාහනය පිනැන්ස් සමාගම රැගෙන යෑම , බකට් හැරී "නිකම්" හැරී වීම වැනි වූ සිදුවීම් සමුහයය,දයා රාජපක්ෂ විසින් තම කථා ශාරයට ඇමිනූයේ. මේවා සියල්ලම ඛේදවාචකයන්ය. ගාමිණි ෆොන්සේකා බොහෝවිට තෝරා ගන්නේ මෙවැනි ඛේදවාචකයන්මය. "පරසතු මල්" තුලද ,"උතුමාණනි " තුලද මෙම ඛේදවාචකය අඩු වැඩි ලෙස තිබුණි. "මයුරිගේ කථාව"ද පටන් ගන්නෙ ඛේදවාචකයකිනි. "බාදුරා මල් " "සාගරයක් මැද " මෙන්ම "රෑ මනමාලි " තුලද මේ ඛේදවාචකය හොදටම උලුප්පා තිබුණි. ගාමිණි ඛේදවාචකයන්ම තෝරා ගැන්ම තුල නම් ඒකාකාරී බවක් දැනුනද ඔහු විසින් එය දිගින් දිගටම කරන්නට පෙළඹිණි. "කොටි වළිගය "."නොමියෙන මිනිස්සු" සහ "අන්තිම රැය " තුලද මෙම ඛේදවාචකය රැදී තිබුණි. "සක්විති සුවය" ගාමිණි ෆොන්සේකා අතින් සිදුවූ අසාර්ථක අධ්‍යක්ෂණයකි. දයා රාජපක්ෂ අතින් චිත්‍රකථාව තුල මැවුණු ඒ ගාම්භීර හැරී නොහොත් බකට් හැරී ගාමිණි ෆොන්සේකා තුලින්ම අඩපනවී තිබුණි. තෙලි තුඩින් ඇදුනු චරිත වල තිබු විශ්මිත බව කෙලෙසකවත් සෙලෝලයිඩ් පටයේ තිබුනේ නැත. ගාමිණි- විජය වැනි දැවැන්තයන් බිංකුඩන් වී තිබුණි. එයද ගාමිණි ෆොන්සේකාගේම අධ්‍යක්ෂණයක් යටතේය. එයම විශාලවූ ඛේදවාචකයකි. ඒ වන විට චිත්‍රපට 6ක් අධ්‍යක්ෂණය කර පරිපූර්ණ වී සිටි ගාමිණි තුලින් "සක්විති සුවය" කිසිදු සක්විති බවක් නොමැතිව දියාරුවූයේ ,දයා රාජපක්ෂගේ දුර්වල තිරනාටකය නිසාය. දයා චිත්‍රකථා ක්‍රේෂ්තය තුල නම් දැවැන්තයෙකි. කථාව ඔහුගේ වූවද ,තිරනාටකය යනු වෙනම ප්‍රබල මාධ්‍යයකි . දයා එතැනදී තම විෂය හරි හැටි හදුනා නොගත්තේය. ගාමිණි "සක්විති සුවයේ" හරය හදුනා ගන්නට ඇත. බකට් හැරී ගේ ස්වභාවයද හදුනා ගන්නට ඇත. චන්ඩියා, ධීවරයෝ,ආත්ම පූජා, සූර චෞරයා වැනි ප්‍රබල චරිත අරුඩ කරගත් ගාමිණීට බකට් හැරී යනු මොන්ටිසෝරි වැඩකි. මේ ලගදි උසේන් බෝල්ටන් තමාගේ සුපුරුදු ඉසව්ව වූ මීටර් 100 පරාද වූවාක් මෙනි එකල ගාමිණි බකට් හැරී නිසා ඇද වැටුනේ. ඔහු ඇද වැටුනේ දයා රාජපක්ෂගේ දුර්වල වූ තිරනාටකයෙනි. "සාගරයක් මැද " වැනි ප්‍රබල ආකෘතියක තම නිර්මාණ ශක්තිය තුල සාර්ථකවූ ගාමිණි "සක්විති සුවය"තුලින් යලි ආපස්සට පැමිණීය. මෙහී චරිත ගණනාවක්ම තිබුණි. ඒ හැම චරිතයකටම නිසි ඉඩක් වෙන් කරන්නට චිත්‍ර කථාව තුළ නම් අසීමිත ඉඩක් තිබුනද, චිත්‍රපටය තුල තිබු සීමාන්තික කාල රටාව එයට හරස් විය. එහෙයින් බොහෝ හොද චරිත වලට සීමා පැනවුනි. චිත්‍ර කථාව තුල රජ කෙරූ "බකට් හැරී " චිත්‍රපටය තුළ අන් අය හා ගැටෙන සාමාන්‍ය චරිතයක් වී තිබුණි. එයට හොදම උදාහරණයකි තිස්ස මඩුගල්ලගේ චරිතය. මෙය චිත්‍රකථාව තුල එතරම්ම කැපී පෙනුනේ නැත. නමුත් චිත්‍රපටය තුල, එම චරිතය ඇතැම් අවස්ථාවන් හී, හැරී වද අභිබවා යන්නට තැත් කෙරිය.ගාමිණී ෆොන්සේකා එය හිතා මතා කෙරුවායයි සිතිය නොහැක.තිර රචනය තුල ඇතිවූ අසමතුලිතාවයය,එයට බලපෑවේ. රගපෑම තුලද ඒ අභිබවා යෑම දක්නට ලැබුණි. මීට අවුරුදු 8කට පෙර ගාමිණි විජය එක්වී රැගු "සැණකෙළිය" චිත්‍රපටයේද ,ඇතැම් අවස්ථාවල විජය, ගාමිණීව තම ප්‍රතිරූපයෙන් වැසීය . එය හරියට පායා තිබෙන සද ,වළාකුලින් වස්සන්නා සේය. "සක්විති සුවය" තුලින් ද එය සිදුවුණි. විජය, ගාමිණි සමග රගපාන කල ප්‍රේක්ෂකයාගේ ඇස බොහෝ විට නවතින්නේ විජය මතය. එය "හතර දෙනාම සූරයෝ" සිනමා පටයේද සිදුවිය. එහි හැමතැනම අප සෙව්වේ විජයවය. ඒ නැවුම් ආකර්ෂණයට අපේ ඇස වශීවී තිබුණි. "කොඩි ගහ යට මම උපන්නේ" ගීතයේ ජවනිකාවෙදීද , අප දෑස් පිනවුයේ විජය නටන අවස්ථාවය . එය "ආදරේ හිතෙනවා දැක්කම " "හොදම වෙලාව" යන චිත්‍රපට තුලද සිදු විය. ගාමිණී විජයව මෙහෙයවීමේදී එම සිදුවීම් ගැන අධ්‍යනයක් කළ යුතුව තිබුණි. ඔහු "ටෝනි රණසිංහට"චරිතයක් දෙන අන්දමටය විජයට සක්විති සුවය භාර කලේ. ටෝනි ගාමිණී සමග රගපාන විට, උවමනාවෙන්ම පසු බසී. එය පරසතුමල් සිටම පැමිණි දෙයකි. නමුත් විජය රංගනයේදී පසුබැස්සද ආකර්ෂණයේදී නම් ගාමිණීව අභිබවා යන්නට විය. චිත්‍ර කථාව තුල එතරම් කැපී නොපෙනුණු තිස්ස මඩුගල්ල චරිතය, චිත්‍රපටයේදී කැපී පෙනුනේ විජය කුමාරණතුංග ගේ ආකර්ෂණය නිසා බව නම් නොරහසකි. සිනමා පටයේ බකට් හැරී ට චිත්‍රකතාවේ බකට් හැරී මෙන් රජ කරන්නට නොහැකි වූයේද විජයගේ එම ආකර්ෂණය නිසාය. ගාමිණී හා විජය බකට් හැරී ,සහ තිස්ස මඩුගල්ල වන විට, වයලට් ලෙස සබීතා පෙරේරාද, චුට්ටේ අයියා ලෙස සේනක පෙරේරාද, විල්බට් මල්ලි ලෙස අමරසිරි කලංසූරියද, මාලනි ලෙස අනුෂ්කා මැදිවක ද අන්දෝ අක්කා ලෙස ශාන්ති ලේඛා ද,කසානා, ලෙස සොමි රත්නායක ද ගුණේ ලෙස සෝමසිරි දෙහිපිටියද, මැණික් ලෙස මැණික් කුරුකුලසුරියද ,කපුටා ලෙස විමල් කුමාර් ද කොස්තාද,බර්ටි මල්ලි ලෙස මහේන්ද්‍ර පෙරේරාද ,පැස්කුවල් ලෙස, මර්වින් ජයතුංග, සුජිතා ලෙස ජෙනිටා සමරවීර ද,ලෙනි මහත්තයා ලෙස ධර්ම ශ්‍රි මුණසිංහ ද, තිස්ස මඩුගල්ලගේ මව ලෙස රුක්මණී දේවියද, නොතාරිස් උන්නැහේ ලෙස ශේෂා පලිහක්කරද, ගාමිණී ෆොන්සේකා විසින් තෝරා ගති. බැලූ බැල්මට මෙය දැවැන්ත ශිල්පීන් එකතුවකි. එකල සිනමාවේ සිටි ජනප්‍රියම මුහුණු මෙයට ඇතුලත් වී තිබුණි. එලෙසම ඔහු තෝරා ගත් කාර්මීක ශිල්පීන් සියල්ලද විශිෂ්ටයන්ය. වී.වාමදේවන්,කැමරා අධ්‍යක්ෂනයෙන්ද, බර්නාඩ් රෙජිනෝල්ඩ් ,සංස්කරනයෙන්ද ,එරල් කෙලි ,කලා අධ්‍යක්ෂනයෙන්ද ,සරත් දසනායක,සංගීත අධ්‍යක්ෂනයෙන්ද ,ශේෂා පළිහක්කාර අංග රචනයෙන්ද, සුනිල් ආරියරත්න ගීත රචනයෙන්ද ගාමිණීට එකතු විය. මේ සියලු විශිෂ්ඨයන්ගෙන් සුසැදුනුද "සක්විති සුවය"ඇගට පතට දැනුනේ නැත. එහි හදවත තුල රදවා ගෙන, මතකය ආවර්ජනය කරමින් විදින්නට තරම් දෙයක් දෙන්නට ගාමිණි ෆොන්සේකා සමත් වූයේ නැත. සක්විති සුවය කලාත්මක චිත්‍රපටයක් නොව, වාණිජ්‍ය චිත්‍රපටයක් ද නොව, ඒ අතරින් යන මැද මාවතක චිත්‍රපටයක්ද නොව. බජාර් චිත්‍රපටයක් කීවද එය චන්ඩියා, චන්ඩි පුතා, මෙන් බජාර් චිත්‍රපටයක් ද නොව. ආදර චිත්‍රපටයක් ද නොව. එහි, වයලට් හා තිස්ස මඩුගල්ල මෙන්ම බකට් හැරී හා මාලනී කරන්නේද, හරිම මන්දගාමී ආදරයකි. එය දුටු විට අපටද ආදරය කරන්නට එපා විය. එලෙසම මෙය විනෝදාත්මක චිත්‍රපටයක්ද නොවිය. එහි අඩංගු වූ ගීත යුගල වුවද,එතරම් රසයක් නොතිබුණි. තිස්සත්, වයලටුත් විනෝද ගමන යන අතර ,ටි.එම්.ජයරත්න, ලතා වල්පොල ගයන "ප්‍රේමවන්තයන්ගේ ලෝකයයි මේ " ගීතය තුල නම් යම් ප්‍රේමානූ බවක් දැනුනද ,එම දර්ශනය තුල නම්, තිබුනේ ඇල්මැරුණු ප්‍රේමයකි. "පරසතු මල්" තුළින් මතු කළ රාගානු ප්‍රේමයත්,"උතුමාණෙනි" හි,වෛරයත් ,"මයුරිගේ කථාව" හරහා ගෙන ආ මැදිවියේ ප්‍රේමයත්, "බාදුරා මල්" හා "සාගරයක් මැද"දෝලනය වූ බලකාමිත්වයත්,"රෑ මනමාලි" සමග ආ ආත්මාර්ථකාමිත්වය යන විවිධ වූ ආකෘති ස්පර්ශ කෙරු ගාමිණි ෆොන්සේකා, මෙවර "සක්විති සුවය" හරහා එකල නගරයේ මොරිස් මයිනර් ටැක්සි කරුවන්ගේ "බජාර්" ජීවිතය තම සිනමා ප්‍රකාශනයට එකතු කර ගත්තද, එය එතරම් සාර්ථක වූයේ නැත. (ලබන සතියේ තව කොටසක්)
|