|
අම්මලා දුක්ගන්නේ පුතුන් රජුන් කරන්ටාදන්නා නම්වල නොදන්නා මවුගුණ
උපාලි සමරසිංහ
මට මෙලොව ඇති සුන්දරතම වචනය 'අම්මා'ය. අනෙක් සියලු දෙනාටම ද එය එසේම වන බව සක් සුදක් සේම දනී. ඒ ලොව සියලු මවුවරුන්ගේ මවු ගුණය එක හා සමාන වන බැවිණි. ලෝකය ගොඩ නැඟෙන්නේ හිරුගේ රශ්මියෙන් සහ මවගේ කිරිවලින් යැයි සුප්‍රකට ලේඛක මැක්සිම් ගෝර්කි කිව්වේද එහෙයිනි. මව් ගුණය ගැන මෙසේ ලියන්නට සිත් වූයේ පසුගිය සතියේ ලැබුණු ඇරැයුම් පතක් නිසාවෙනි. "දස මසක් නොවසිය වසක් කල්විලි වැදපුදමි ඔබ සුරතට - "මගේ අම්මා"මේ ඇරියුම කර තිබුණේ ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි සමරසිංහ විසිනි. ඔහු විසින් කාලයක් පුරා සිළුමිණ පුවත්පතට ලියන ලද ලිපි පෙළක් වූ 'මගේ අම්මා' ලිපි පෙළෙහි දෙවැන්න පොතක් ලෙසින් එළි දකින බව එහි ලියා තිබිණ. මෙම මස 21 වැනිදා (අද) සවස තුනහමාරට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළි දකින්නේ 'මගේ අම්මා' ලිපි පෙළේ දෙවැන්නයි. මීට ප්‍රථම මෙහි පළමු කොටස පොතක් ලෙසින් ජනගත වූ දින මෙරට ප්‍රමුඛ පෙළේ කලාකරුවන්, විද්වතුන්, දේශපාලනඥයන්, වෛද්‍යවරුන්ගේ මව පිළිබඳ වූ සංවේදී කරුණු කාරණා රැසක් එම ග්‍රන්ථයට ඇතුළත් වී තිබිණි. "ඕනෑම මිනිස් ජීවියෙක් මේ වා තලයට මුසු කරන හෘදයාංගම බසේ පළමු අකුර තමයි 'අම්මා' මේ තම අම්මා පිළිබඳ ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී විග්‍රහ කර තිබූ අයුරුයි. මෙවර මගේ අම්මා ග්‍රන්ථයට ඇතුළත් වන බොහෝ කලාකරුවන්ගේ අදහස් පිළිබඳ මාධ්‍යවේදී උපාලි සමරසිංහයන් සමඟ කළ පිළිසඳරේදී නොයෙක් ආකාරයෙන් සඳහන් වූවේය.
උපාලි සිය විශේෂාංගයේ මූලාරම්භය සිහිපත් කරන්නේය. ඒ අනුව විවිධ කලාකරුවන්, දේශපාලනඥයන්, පරිපාලන නිලධාරින්, වෛද්‍යවරුන් ඇතුළු මෙකි නොකී ක්ෂේත්‍රවල නම රැන්දූ බොහෝ ප්‍රතාපවත් චරිතයන්ගේ 'අම්මා' පිළිබඳ වූ සංවේදී වියමනක් උපාලි අතින් රචනා වූයේය. වරක් ඔහු මව පිළිබඳ විමසන්නට තෝරා ගත්තේ ප්‍රකට ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු වන දොස්තර නාමල් ගමගේය. ඔහු සිය වෘත්තීය ජීවිතය මුදලට යට නොවන ආකාරයෙන් දුගී දුප්පත් රෝගීන් වෙනුවෙන් අදටත් දෑත දිගු කරන ඉසිවර වෙදැදුරෙකි. මේ පාරමිතාව ඔහු පුරනුයේ ඒ සඳහා නියත විවරණය සිය මෑණියන් වෙතින් ලැබුණු බැවිනි. දොස්තර නාමල් කුඩා කාලයේ මවගේ අතක වූ ඇදය දකින්නේය. එය සදා ගන්නා ලෙස මවට කී විට ඇය කියනුයේ ඒකට මහ ලොකු ගාණක් වියදම් වෙයි. ඊට වඩා හොඳයි දරුවන්ට ඒ ටිකෙනුත් කන්න අරන් දෙනවා කියාය. කුඩා නාමල් සිතට දිරිගෙන දොස්තර කෙනෙකු වන්නට සිහින මවන්නේ සිය මවගේ අත සුවපත් කිරීම පිණිසය. සිතුවා සේම ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු වී සිය මෑණියන්ගේ ද අත සුවපත් කරන දොස්තර නාමල්ට සිය මෑණියන් පවසන්නේ දුප්පතුන්ට පිහිට වන ලෙසය. ප්‍රවීණ රංගධර රවින්ද්‍ර රන්දෙණිය සිය මෑණියන් ගැන පවසද්දී හැඟුම්බර වූ අවස්ථාව උපාලි විස්තර කළේය. රවින්ද්‍ර රන්දෙණිය මහත්මයාගේ තාත්තයි ඔහුගේ අයියයි එකතු වෙලා ඒ කාලේ ව්‍යාපාරයක් කරලා තිබෙනවා. පිත්තල සරනේරු නිපදවීම. මොන යම් හෝ හේතුවකින් ව්‍යාපාරය බිඳ වැටිලා දරිද්‍රතාවයට පත් වෙලා ඉන්නකොට ඔහුගේ මව නැවතත් මේ ව්‍යාපාරය පටන් ගන්න තාත්තට උදව් කරනවා. මහ රෑ ජාමේ අවදි වෙලා පිත්තල උණුකරමින් විශාල දුකක් විඳිනවා. ඒ වෙන කොට අම්මා ඉඳලා තියෙන්නේ බඩ ගැබ්බරින්. මම අහනවා රවි අයියේ කවුද ඒ වෙලාවේ බඩේ හිටියේ රවි අයිය ද කියලා. ඒ ප්‍රශ්නෙට රවි අයියට උත්තර දී ගන්න බැරුව අඬා වැටුණා' ඒ වගේ අත්දැකිම් රාශියක් මේ විශේෂාංග ලියත්දී මම මුහුණ දුන්නා. තවත් අවස්ථාවක ඔහු ලතා වල්පොල පිළිබඳ අවධාරණය කළේ ලතා වැනි ගායිකාවක් මෙරට කිසි දිනක ඇගේ අම්මා නොමැති වී නම් බිහි නොවන බවය. එකල කුඩා ලතා ගීත ගායනය කරනවාට ඇගේ පියාගේ කිසිදු කැමැත්තක් නොවීය. එහෙත් පියාට හොර රහසේ ලතා ගීත ගයන්නට රැගෙන යන්නේ ඇගේ අම්මාය. වරක් ලතා ගී ගයන්නට ඉන්දියාවට රැගෙන ගොස් නැවත ලංකාව පැමිණෙත්දී ඇගේ මවට සිය කුල ගෙය ද අහිමිව තිබුණි. මේ කතා කළේ උදාහරණ කිහිපයක් පමණි. උපාලිගේ 'මගේ අම්මා' කෘතියේ මෙවර වසන්ති චතුරානි, කමල් අද්දරආරච්චි, ජෝ අබේවික්‍රම, ටී. එම්. ජයරත්න, අමරසිරි පීරිස්, උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළු මෙරට විද්වත් ජනප්‍රිය ප්‍රවීණ චරිත රැසක් සිය මව ගැන වූ සංවේදී කතා පුවත් රැගෙන එති. එකී කතා ප්‍රවෘත්තීන් ඔවුන්ගේ හද ගැබින් නිකුත් වූ නිර්මල, අව්‍යාජ සිතුවිලි සමඟ තම ආදරණීය අම්මා කෙරෙහි උපන් අසීමාන්තික ආදරයකින් ද සමන්විත වන්නකි. එකී ආදරය විඳින්නට උපාලි ඔබට ඇරියුම් කරන්නේය. එදින මුලසුන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නා හිමිපාණන්ය. කෝට්ටේ කල්‍යාණ සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නා හිමිපාණන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන්ගේ ගෞරවනීය සහභාගිත්වය අනුශාසනා ඇතුව පැවත්වෙන මෙම උත්සවයේ දෙසුම් පවත්වනුයේ මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ පර්යේෂණ ආයතනයේ මහාචර්ය සුමනපාල ගල්මංගොඩ, පේරදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනයාක එම්. හේරත් හා ප්‍රවීණ ගත්කරු හා සිනමා ටෙලි නාට්‍ය තිර රචක සෝමවීර සේනානායක විසිනි.
|