|
සොර සතුරන් රැස මෙල්ල කරන්නට දඬු මොනරෙන් එනවෝ
ගම යන වචනයත් සමඟ අපට මැවෙන්නා වූ චිත්ත රූපයකි. වෙල් ඉපනැලි ගංගා ඇල දොළ නිසාල්මනේ ගලා බසිති. නිලට නිලේ දිලෙන කඳුයාය මනරම්ය. ඊටත් වඩා ගමේ ජීවත් වන්මෝ අව්‍යාජය. ගම යනු අප සිතා සිටින තැන එතැනය. මේ ගම්මානයේ වලව්වක් ද තිබිණි. ගමේ බලපුළුවන්කාරයෝ සිටියේ එතැනය. මා මෙලෙස ආරම්භ කරන්නට සැරසෙන ගමේ කතාවට වලව්වක් ඇතුළත්ය. විජේමාන්න වලව්ව එහි නමය. සැම්සන් විජේමාන්න සහ ඔහුගේ ප්‍රියබිරිය වලව්වේ වාසය කරයි. ඔවුන් දෙපොළට පුතකු සිටියි. ඔහුගේ නම මහේෂ්ය. වයස අවුරුදු දහහතරක් පමණ වන ඔහුව ගමේ පාසලට ඇතුළත් නොකළේ විජේමාන්න හාමුට ඇති අනියත බියක් හේතුවෙනි. ගමේ හිටියොත් මහේෂ් නරක් වේ යැයි බියෙන් ඔහුව කොළඹ පාසලකට ඇතුළත් කරන ලදී. එහෙත් මහේෂ්ගේ හිත රැඳී තිබුණේ ගමේය. නිවාඩුවකට හැර ඔහු ගමට නොආවේය. ඔය අතර විජේමාන්න හාමු මහේෂ්ට පොරොන්දුක් දී තිබිණ. ඒ පන්තියේ පළමුවැනියා වුවහොත් බයිසිකලයක් තෑගි දෙනවාය යන්නයි. එය ලබා ගැනීමට ඇති ආසාව නිසාමදෝ මහේෂ් පන්තියේ පළමුවැනියා විය. පොරොන්දු වූ පරිදි ඔහුට බයිසිකලය ද ලැබිණ. මහේෂ් මිටින්හල කුරුල්ලකෙ බඳු වූයේ ඉන් පසුවය. ගම සිසාරා ඔහු බයිසිකලය ද රැගෙන ඉගිලිණ. මේ ගමනේදී මහේෂ්ට තව මිතුරකු මුණ ගැසෙන්නේය. ඔහු සිරිමල්ය. ගමේ දුප්පත් දරුවකු වූ සිරිමල් අහිංසකය. සිරිමල්ගේ මාර්ගයෙන් තවත් ගමේ සම වයසේ මිතුරන් හමු වන මහේෂ් ඔවුන් සමඟ සෙල්ලමට වැටෙන්නේය. හාමු කෝපාවිෂ්ට වන්නේ එවිටය. ගමේ උන් සමඟ හරි හරියට කෙලි සෙල්ලමේ යෙදෙන මහේෂ්ට හාමු සැරවැර කරන්නේ බැරිම තැනය. මහේෂ් නැවතත් නිවසට කොටු වන්නේ එම තරවටු කිරීම්වලින් පසුවය. සිරිමල් ද මේ හේතුවෙන් සිත් තැවුලට පත් වන්නේය. තමන් ඇතුළු පිරිසට බැන වැදෙනු ඇසෙන සිරිමල්ට හාමු පිළිබඳ යම් කෝපයක් ද හට ගත්තේය. මේ අතරවාරයේ කිසියම් පිරිසක් හාමුව පැහර ගනු ලබන්නේ කිසිවකුත් නොසිටි තැනකය. එහෙත් දුරින් සිට එම පැහැර ගැනීම දකින තැනැත්තෙකි. ඒ සිරිමල්ය. හාමුව සඟවා තබන තැන සොයා ගන්නා සිරිමල් දෙලොවක් අතර තනි වන්නේ හාමුව බේරා ගන්නවාද නැද්ද යන්න සිතාය. මේ කතා පුවත ඇතුළත් සිනමාපටය දඬුමොනරෙන් එනවෝ ලෙසට නම තබා තිබේ. එය තිර රචනා කෙට අධ්‍යක්ෂණය කරනු ලැබුවේ හම්ප්‍රි විජේසූරිය විසිනි.
|