වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




මෙන්න ප්‍රවෘත්ති

මෙන්න ප්‍රවෘත්ති

News කියද්දී Current වැදුණොත්?

සජිත් රණසිංහගෙන් විමසා බලමු

සජිත් රණසිංහ ස්වර්ණවාහිනියට ඇවිත් මේ ගෙවන්නේ දොළොස් වැනි වසර. වර්තමානය වන විට ඔහු එම නාළිකාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිෂ්පාදකවරයකු ද වෙනවා. මෙන්න ප්‍රවෘත්ති විශේෂාංගයෙන් මෙවර ඔබ හමු වන්නේ ඔහුයි.

* සජිත්, සුපුරුදු පරිදි මං ඔබට ආයුබෝවං කියා පවසනවා?

ඔබටත් ආයුබෝවන්.

* මේ දිනවල ඔබේ වැඩ කටයුතු කොහොමද කියලා ස්වර්ණවාහිනිය බලපුවාම පේනවා?

ඒකනෙ. දිගටම ප්‍රවෘත්ති කියන එක තමයි කරන්නේ.

* සජිත්ගේ පළමුවරට නිවේදන කටයුතු කරන්නේ ස්වර්ණවාහිනියේමද?

නැහැ. මං හාහා පුරා කියලා එන්නේ ටී එන් එල් ආයතනයට.

* එතැන කොපමණ කල් ඉන්නවාද?

අවුරුදු 3 ක් විතර හිටියා.

* එහෙම ඉන්න කොට ස්වර්ණවාහිනියට එන්න මඟ පෑදෙන්නේ කොහොමද?

මට ලැබුණු ආරාධනාවක් මත තමයි මං ස්වර්ණවාහිනියට එන්නේ.

* සජිත්ට හීනයක් තිබුණ ද ප්‍රවෘත්ති නිවේදකයකු වන්න?

අනේ නැහැ. ඒත් කලාවට ආසයි. තේරුමක් ඇති කාලයේදීවත් මං ආස කළේ නැහැ නිවේදකයකු වන්නට. දෛවය විසින් නියම කරන දේ නියම වෙලාවට සිදු වෙනාවලුනේ. මටත් එහෙම වුණා.

* අද ඔබ ඉන්න තැන ගැන සතුටුද?

ඇත්තටම ඔව්.

* ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති කියන්නේ හරියට කතන්දර කියනවා වගේ කියලා සමහරු කියනවා?

ස්වර්ණවාහිනිය කියන්නේ ප්‍රවෘත්ති කියන කලාව වෙනස් කරපු තැනක්. ඒ ශෛලියෙන් ප්‍රවෘත්ති කියන්න පටන් ගත්තේ අපි. ඒක ඉතිං මිනිස්සුන්ට ග්‍රහණය වන්නේ එක එක විදිහටනෙ.

* ඔබ කියන්නේ ඒ කලාවට දොස් කියන්න බැහැ කියලද?

නැහැ. අපේ උත්සාහය වන්නේ මිනිස්සුන්ගේ හදවතට කතා කිරීම. ඒක සාර්ථක වුණු නිසානේ අප වටා විශේෂ ප්‍රේක්ෂක කණ්ඩායමක් රැඳුණේ. නමුත් ඒ ස්ටයිල් එකට මිනිස්සු කියන දේවල් ඒ ඒ මිනිස්සුන්ගේ හැටියට වෙනස් වෙන්න පුළුවන්. ඕනෑම දෙයක හොඳක් නරකක් තියෙනවානේ.

* සජිත් ඉගෙන ගත්තු පාසල මොකක්ද?

මං ඉස්කෝල දෙකක ඉගෙන ගත්තා. එකක් කොළඹ බණ්ඩාරනායක විදුහල. අනෙක් පාසල ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල.

* ඔබේ ගම් පළාත කොහේද?

රාජගිරිය.

* ප්‍රවෘත්ති කියද්දී වැරැදීම් වුණාම මොකද කරන්නේ?

වැරැදීම හදාගෙන ඉස්සරහට යන එක කරන්නේ.

* මම මේ අහන්න හදන්නේ ප්‍රවෘත්ති කියද්දී ඔබට කරන්ට් වැදුණ මොහොත ගැන?

ප්‍රවෘත්ති ජීවිතයේ අමතක නොවනම අවස්ථාවක් ඇත්නම් ඒක තමයි. මට කරන්ට් වැදුණේ සජීවීව ප්‍රවෘත්ති කියද්දී. නිකමට හිතලා බලන්නකෝ ඒ තත්ත්වයේදී මොනවා හිතෙන්නට ඇතිද කියලා. එදා කොතැනක හෝ විදුලි කාන්දුවීමක් වෙලා තිබෙනවා. මගේ කකුල ඒ වයර් එකේ වැදුණම සැරටම කරන්ට් එක වැදුණා. කොච්චර සැරට වැදුණද කිව්වොත් මාව විසි වුණා. ප්‍රවෘත්ති නිෂ්පාදකතුමාටවත් හිතාගන්න බැරි වුණා මට මොකද වුණේ කියලා. එත් ඒ සියල්ල විඳ දරාගෙන මුකුත් නොවුණා වගේ මං ප්‍රවෘත්ති කිව්වා.

* වෙන නිවේදකවරයකු වනවාට වඩා ප්‍රවෘත්ති නිවේදකයකු වීම ගැන මොකද කියන්න තියෙන්නේ?

ප්‍රවෘත්ති නිවේදකයා සහ වෙනත් නිවේදකයන් අතර දැඩි වෙනසක් තියෙනවා. ප්‍රවෘත්ති කියද්දී හැමදේම කියන්න බැහැ. අවශ්‍ය දේ පමණයි පවසන්නේ. ඒ වගේම ප්‍රවෘත්ති නිවේදකයා කියන්නේ ඇත්ත. ඒවා සමාජය විසින් පිළිගන්නවා. ඒ හින්දා ඒ වෘත්තීය අනෙක් ඒවාට වඩා වෙනස්.

* අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

මං මගේ දහම් පාසල මතක් කරන්න කැමැතියි. බී. ජේ. ඒ. දහම් පාසල තමයි මං ගිය දහම් පාසල. මගේ දහම් පාසල මේ වෙලාවේ බොහොම ආදරයෙන් මතක් කරනවා.