වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




සල්මන් - කත්‍රිනා පෙම් කතාවට පසු ටයිගර් යළිත් එයි  Tiger Zinda Hai

සල්මන් - කත්‍රිනා පෙම් කතාවට පසු ටයිගර් යළිත් එයි  Tiger Zinda Hai

මේ දක්වා බොලිවුඩයේ නිර්මාණය වී ඇති හින්දි චිත්‍රපට අතරේ ඉහළම ආදායම් ලද චිත්‍රපට ලැයිස්තුවේ Ek Tha Tiger  චිත්‍රපටයට හිමි වී ඇත්තේ 16 වැනි ස්ථානය යි. ඉන්දීය රුපියල් කෝටි 75ක වියදමකින් නිර්මාණය කෙරුණු එය ලොව පුරා තිරගත කිරීමෙන් ඉන්දීය රුපියල් කෝටි 320ක ආදායමක් වාර්තා කළා.

අති දක්ෂ රහස් ඔත්තු සේවා නිලධාරියකු වන ටයිගර්හට පකිස්තානයට තම සොයා ගැනීම්වල තොරතුරු ලබා දෙන මහාචාර්යවරයකු පිළිබඳ සෙවීම භාර වන අතර ඒ අතරේදී සුන්දර ශිෂ්‍යාවක වන සොයා හමුවීමත් සමඟින් ඔහු එම කටයුත්තට මුහුණ දෙන්නේ කෙසේද යන්න Ek Tha Tiger  චිත්‍රපටයෙන් දිග හැරුණා.

එහි ටයිගර් සහ සොයා ලෙස ප්‍රධාන චරිතවලට පණ පෙවූ සල්මන් ඛාන් සහ කත්‍රිනා සැබෑ ජීවිතයේත් පෙම්වතුන් වී සිටීම මෙම චිත්‍රපටයට ඉහළ ප්‍රසිද්ධියක් ලබා දෙන්නට සමත් වූ බව බොහෝ දෙනෙකුගේ අදහස වුණා. ආදිත්‍ය චොප්රාගේ නිෂ්පාදනයක් වුණු එය අධ්‍යක්ෂණය කෙරුණේ කබීර් ඛාන් විසින්.

කත්‍රිනා, බොලිවුඩයෙන් බැහර සිට පැමිණ බොලිවුඩයේ ජනප්‍රිය වී නමක් දිනාගත් තරුවක්. බොලිවුඩයේ දී මුලින්ම කත්‍රිනාගේ හද ගත්තේ සල්මන් ඛාන්. සල්මන් කත්‍රිනා පෙම් කතාව දෙදරා ගිය පසුව වුණත් මේ දෙදෙනාගේ දායකත්වයෙන් නිර්මාණය වුණු Ek Tha Tiger  අති සාර්ථක සිනමා නිර්මාණයක් බවට පත් වුණා. බොහෝ දෙනාගේ අදහස වුණේ චිත්‍රපටයේ සාර්ථකත්වයට මේ ආදර කතාවත් ලොකු බලපෑමක් කළ බවයි.

එයින් වසර පහකට පසුව යළිත් සල්මන් සහ කත්‍රිනාගේ නවතම රැඟුම් නරඹන්න අවස්ථාවක් එළඹෙන්න නියමිතයි. ඒ Ek Tha Tiger  චිත්‍රපටයෙහිම දිගුවක් ලෙසින් දිග හැරෙන ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Tiger Zinda Hai සමඟින්. එය 2014 වසරේදී ISIL සංවිධානය විසින් ඉන්දීය හෙදියන් පිරිසක් පැහැර ගැනීමේ සිදුවීම ඇසුරු කරගනිමින් නිර්මාණය වී තිබෙනවා.

නැගෙනහිර ඉන්දියාවේ රහස් ඔත්තු සේවා නිලධාරියකු වන ටයිගර් පකිස්තානයේ නියෝජිත සොයා සමඟින් එක්ව කෲර සටන්කාමියෙකුට එරෙහිව සටන් කරන අයුරු Tiger Zinda Hai චිත්‍රපටයෙන් කියවෙනවා.

Tiger Zinda Hai චිත්‍රපටය ආදිත්‍ය චොප්රාගේ නිෂ්පාදනයක් වන අතර එය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, අලි අබ්බාස් සෆාර් විසිනි. අබුඩාබිය, මොරොක්කෝව, ග්‍රීසිය වැනි රටවල රූගත කළ Tiger Zinda Hai චිත්‍රපටයේ ගීතමය ජවනිකාවන්හි නර්තනය වෙනුවෙන් ග්‍රීසිය, ප්‍රංශය, ට්‍රිනිඩෑඩ් සහ ටුබගෝ වැනි රටවල් කිහිපයකින් නර්තන ශිල්පීන් ශිල්පිනියන් සිය දෙනෙකු සහභාගි වී ඇති බවත් පැවසෙනවා.

මේ වන විට සල්මන් - කත්‍රිනා පෙම් සබඳතාවය බිඳ වැටි වසර කිහිපයක් ගත වී තිබුණත් තිරයෙන් පිටතදී පවා දෙදෙනා බොහොම සැහැල්ලු වෙන් ගත කළ බව Tiger Zinda Hai අධ්‍යක්ෂ අලි අබ්බාස් සෆාර් පවසනවා.

නමුත් ඔවුන් දෙදෙනාගේ සබඳතාවය කැමරාව ඉදිරියේදී පිපෙන මලක් වැනි යැයි ද ඔහු සඳහන් කළා. එසේම මෙම චිත්‍රපටය කිසිසේතම දේශපාලනික සිනමා නිර්මාණයක් නොවන බවත් එය මනුෂ්‍යත්වය ගැන පමණක් කියන කතා තේමාවක් ගෙන එන බවත් අබ්බාස්ගේ ප්‍රකාශයේ සඳහන්.

"Tiger Zinda Hai ඉන්දු - පාකිස්තාන රහස් ඔත්තු සේවා නිලධාරින් ගැන කතාවක්. එහි කතා තේමාව හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ" අබ්බාස් පවසනවා.

විචාරකයන්ගේ අදහස නම්, සල්මන් - කත්‍රිනා පෙම් කතාව අවසන් වීමෙන් පසුව නිර්මාණය වූ Ek Tha Tiger  චිත්‍රපටය සේම Tiger Zinda Hai චිත්‍රපටයද ඉහළ සාර්ථකත්වයක් ලඟා කරගනු ඇති බවයි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ පවසන්නේ Ek Tha Tiger  සමඟින් සල්මන් සහ කත්‍රිනා අතර තිබුණු සබඳකමට ප්‍රේක්ෂක මනාපය ඉහළින්ම හිමි වූ නිසාම ඒ සබඳකම තවත් ඉදිරියට ගෙන යාම වගකීමක් වූ බවයි. ඒ ආදර කතාව වෙනුවෙන්ම නිර්මාණය කෙරුණු Tiger Zinda Hai හෙට (දෙසැම්බර් 22) සිට ලොව පුරා තිරගත කරන්න සූදානම්.