වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




ගිනස් පොතට ගිය Tora - San ITN එයි

ගිනස් පොතට ගිය Tora - San ITN එයි

ලෝක සිනමාවේ ගින්ස් වාර්තා තැබූ චිත්‍රපට රාශියක් තිබේ. මේ අතරින් දීර්ඝතම චිත්‍රපට මාලාව ලෙස ගැනෙන ‘Tora - San’ චිත්‍රපට මාලාව නැරැඹීමේ දුර්ලබ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට තිළිණ කිරීමට ස්වාධීන රූපවාහිනිය පසුගිය ඉරිදා (26 වැනිදා) කටයුතු පිළියෙල කළේ ය. ඒ සවස 4.05 සිට හෝරා දෙකක කාලයක් ඔස්සේ ‘Tora - San’ චිත්‍රපට මාලාව විකාශය කරමිනි.

‘Tora - San’ චිත්‍රපට මාලාව කොටස් හතළස් අටකි. එපමණක් පමණක් නොව එහි ප්‍රධාන චරිතය රඟපෑවේ එක ම නළුවෙකි. චිත්‍රපට දෙකක් හැර අනෙක් සියලු ම චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද්දේ යෝජි යමාදා නමැති ජපන් ජාතික සිනමාකරුවා ය.

‘Tora - San’ චිත්‍රපට මාලාව ප්‍රධාන චරිතය රඟපෑවේ කියෝෂි අත්සුමි නළුවා ය. ඔහුගේ සැබෑ නාමය යසූ තදකුරෝ යන්න ය. ඔහු 1995 වසරේදී පිළිකා රෝගයෙන් මිය ගිය අතර ඉන්පසුව මේ චිත්‍රපට මාලාව නිර්මාණය කිරීම අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදක සොචිකො සමාගම අත්හිටුවන ලදී. එහෙත් 1997 වසරේදී එහි රස මුසු තැන් එකතු කොට හතළිස් නව වැනි කොටසත් නිර්මාණය කරන ලදුව තිරගත විය.

‘Tora - San’ චිත්‍රපට මාලාව මුලින් ගොඩනැඟුණේ ටෙලි වෘත්තාන්තයක් ලෙස ය. ඒ 1967 වසරේ දෙවසරක් මුළුල්ලේ ජපානයේ එන්.එච්.කේ රූපවාහිනිය මඟින් විකාශය කරන ලද මේ ටෙලි වෘත්තාන්ත මාලාව අතිශය ජනාදරයට පාත්‍ර වූ ටෙලි නාට්‍ය මාලාවකි. එය එක් පැත්තකින් සමකළ හැකි වූයේ පසුකාලීනව ගොඩනැඟූ ‘ඔෂින්’ ටෙලි නාට්‍ය මාලාව සමඟිනි. මේ චිත්‍රපට මාලාව නතර කරන ලද්දේ Tora - San නම් ප්‍රධාන චරිතය සර්පයකු දෂ්ට කර හදිසියේ ම මරා දැමීමෙනි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේද කියෝෂි අත්සුමි කියන නළුවා ම ය. ඉන් ලද ජනප්‍රියත්වය කෙතරම් ද යත් මේ ටෙලි වෘත්තාන්තය චිත්‍රපටයක් ලෙස නැවත නිර්මාණය කිරීමට සොචිකො සමාගම තීරණය කළේ ය. එය නැවත අධ්‍යක්ෂණය කිරීමට පවරා දෙන ලද්දේ ද එහි සැබෑ නිර්මාණකරුවා වූ යෝජි යමාදාට ම ය. මේ වනවිට අසූ එක්වැනි වියේ පසුවන ඔහු තවමත් චිත්‍රපට නිර්මාණ කරණයේ නියැළෙන්නෙකි. ඔහුගේ චිත්‍රපට සියල්ල ම මෙන් දැඩි ප්‍රහසනවලින් යුක්ත ය. මේ ප්‍රහසනාත්මක චිත්‍රපට ඔහු නිර්මාණය කර තිබෙන්නේ ජීවිතය විනිවිඳ දැකීමෙනි. ඔහු ජීවිතය විනිවිඳ දැක එයට සිනහ වන්නට උත්සාහ කරන සිනමාකරුවෙකි. ඔහුගේ මේ සමස්ත චිත්‍රපට හතළිස් නවයම නරඹන සැමවිට ම අපට හැඟෙන්නේ යෝජි යමාදා යනු ජීවිතය නැවත දැක ගත හැකි සිනමාකරුවකු බව ය.

1969 දී ‘Tora - San’ චිත්‍රපට මාලාව ආරම්භ වන්නේ ‘තෝරාසන් ද ලව්ලි ට්‍රෑම්ප්’ යන වෘත්තාන්තය සමඟිනි. එතැන් පටන් එය කෙතරම් අසීමිත ජනප්‍රියත්වයක් ලද්දා ද කිවහොත් සෑම චිත්‍රපටයක් ම නිර්මාණය වී අවසාන වනවිට ඊළඟ චිත්‍රපටයට පෙළ ගැසී තිබිණි. එහි ඒ සෑම චරිතයක් ම රඟපෑවේද එක ම නළු නිළි සමුහයකි.

මේ චිත්‍රපට මාලාව ගෙතී ඇත්තේ ‘ඊධපච’නමැති අහිංසකු මිනිසකු වටා ය. 1969 සමය වනවිට ජපානය දෙවන ලෝක මහා යුද්ධයෙන් සමතලා වී ෆීනික්ස් සත්වයා මෙන් අළු මතින් නැවත ගොඩනැඟෙමින් නැවුම් වකවානුවකට එළැඹෙමින් තිබුණු අවධියයි. එහෙත් මේ නව වාණිජකරණය හමුවේ ජපානය පැවැත්ම සකස් වූයේ වෙනස් ම ආකාරයකට ය. එනම් එහි සමාජ සම්බන්ධතා මේ වාණිජකරණය හමුවේ බිඳ වැටෙමින් පැවතිණ. මේ බිඳ වැටීම සම්ප්‍රදායික ජපන් ජාතිකයන්ට ඉවසුම් නොදෙන්නක් විය. ‘Tora - San’ නිර්මාණය වන්නේ මෙලෙස එක් පැත්තකින් මිනිසුන්ගේ අතීත කාමය නැවත සිහිපත් කිරීමේ කුතුහලය අවුස්සමිනි.

‘Tora - San’ චිත්‍රපට මාලාව ආරම්භ වන්නේ ඊධපච වසර ගණනාවකට පසුව ඔහු නැවත ගෙදර පැමිණීමෙනි. තෝකියෝවට නුදුරු කුඩා ගම්මානයක් වූ එය නාගරීකරණයෙන් සහමුලින් ම මිදී පවතී. ඔහු කුඩා කල ගෙදරින් පැන ගිය පසු ඒ කාලයේ අතරතුරදී සිදු වූ ස්වාභාවික විපතක් සමඟ ඔහුගේ පවුලේ සියල්ලන් ම මිය ගොසිනි. ඉතිරිව ඉන්නේ ඔහුට බෙහෙවින් ආදරය කළ සිතැත්තිය වූ එක ම අර්ධ සහෝදරිය පමණි. අර්ධ සහෝදරිය හා ඔහු අතර ඇති වන්නේ අතිශය හැඟුම්බර වූ සහෝදර ප්‍රේමයකි. තම හිතුවක්කාර සහෝදරයාට මේ සොහොයුරිය ‘සකුරා’ බෙහෙවින් ඇලුම් කරන්නී ය. ඔහුගේ සියලු වැඩකටයුතු ඉවසා සිටින ඇයත්, අගේ සැමියාත්, ඇගේ දරුවාත්, පන්සලේ භික්ෂුවත්, ඇබිත්තයාත් සහ මේ අවන්හලට නිතර ම පිවිසෙන කිහිපදෙනාත් චිත්‍රපටයේ සෑම විට ම විවිධ සිදු වීම්වලට දායක වෙති. මෙහි තිබෙන වැදගත් ම කාරණය වන්නේ මේ සෑම චිත්‍රපට මාලාවකට ම රඟපෑවේ එක ම නළු නිළි කණ්ඩායමක් වීම ය.

1969දී පමණ මාස හතරක සකුරාගේ දැරුවා ලෙස රඟපාන කුඩා දරුවා, කුඩා සාමණේර නමගේ චරිතය රඟපාමින් චිත්‍රපටය අවසාන වන විට අවුරුදු විස්සක තරුණයකු වී හමාරය. මේ වසර විස්ස ඇතුළත මේ චරිතය ලෝකයේ ඕනෑ ම තරුණයකු මුහුණ දෙන්නා වූ පාසල් යෑම, ගැටවර වියේ ආදරය ආදී විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිය ජීවිතය ගෙන යයි. මේ සෑම අවස්ථාවකදී ම ඔහුගේ පසුපස සිටින්නේ හිතුවක්කාර මාමණ්ඩී ය. ඒ ඊධපච ය.

වරක් මේ තරුණයා සිය ප්‍රේම සම්බන්ධය බිඳ වැටීම නිසා කැලයට දිව යන්නේ සියදිවිනසා ගැනීමට සිතා ය. ඒ සිදු වීම චිත්‍රපටයේදී ගොඩනැඟෙන්නේ ප්‍රේක්ෂකයාගේ හදවතේ දැඩිව කුතුහලය රඳවමිනි. එනම් මේ තරුණයා කුමන හෝ වේලාවක සියදිවිනසා ගනීවි යන සිතුවිල්ලෙන් ප්‍රේක්ෂකයා සිටින අවස්ථාවේ එය වැළකී යන්නේ කිසිවකුත් නොසිතූ අයුරිනි. මෙය යමාදාගේ සමස්ත චිත්‍රපට කරණයේ ම තිබෙන්නා වූ විශිෂ්ට ලකුණකි.

‘Tora - San’ චිත්‍රපට මාලාව ශ්‍රී ලාංකික නරඹන්නන්ට අලුත් අත්දැකීමක් වුවත් එය 1982 දී ශ්‍රී ලංකාවේ පළමු වරට ජපාන චිත්‍රපට උලෙළක් පැවැත් වීමේදී මුල් වතාවට ‘Tora - San’ චිත්‍රපටයක් තිරගත විය. එතැන් පටන් අපේ රටේ පැවැත්වෙන සෑම ජපාන චිත්‍රපට උලෙළකදී ම ‘Tora - San’ චරිතය ඇතුළත් චිත්‍රපටයක් තිරගත විය. පසු කලෙක යමාදා නිර්මාණය කළ වෙනත් චිත්‍රපට ද මේ සිනමා උලෙළ සඳහා ඇතුළත් ව තිබිණි. මේ චිත්‍රපට ඉළඇට කැඩෙන ජාතියේ විහිළුවලින් ද යුක්ත වූවත්, බොහෝ ‘Tora - San’ චිත්‍රපට ඊට වඩා වෙනස් වූයේ ජීවිතය පිළිබඳ සිතා බැලීමට අපව යොමු කරන බැවිනි.

තොරා සන් චරිතය එක් ආකාරයකට චාලි චැප්ලියන් හෝ රාජ් කපූර්ගේ ‘පාදඩයා’ගේ ම තවත් දිගුවක් ලෙස හැඳීන්වීම නිවැරැදි කාරණාවක් යැයි සිතේ. ඊට වඩා වෙනස්කම් ඇත්නම් එය වෙනස් වන්නේ ජපානයේ සමකාලීන සිදු වීම් මේ චිත්‍රපටයට ඇතුළත් කර ගන්නා නිසා ය.

‘Tora - San’ චිත්‍රපට මාලාවේ චිත්‍රපට දෙකක් සඳහා වෙනත් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් සහභාගි වුවත් එක ම තිරනාටක රචකයා වූයේ යොජි අමාදා ම ය. මුළු චිත්‍රපටය පුරා ම තිබෙන්නේ වාණිජකරණය වන ලෝකයක මානව සම්බන්ධතා පවත්වන්නට වෙහෙස වන කුඩා පවුලක් පිළිබඳ වෘත්තාන්තයකි. වර්තමාන සමාජය දෙස විමසිල්ලෙන් බලන කළ අපට වැටහී යනි ප්‍රධාන කාරණය නම් ‘Tora - San’ අපේ සමාජයේ කැඩපතක් නොවේ ද යන්නයි.