වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




බුද්ධික දමයන්ත හැම්ලට් සමඟ ඉන්නද? නහින්නද?

බුද්ධික දමයන්ත හැම්ලට් සමඟ ඉන්නද? නහින්නද?

ලෝකයේ ඕනෑ ම අධ්‍යක්ෂවරයකුගේ හීනයක් වන්නේ ශේක්ස්පියර්ගේ නාට්‍යයක් කිරීමයි. එංගලන්තයේ වගේ රටක ශේක්ස්පියර්ගේ නාට්‍යයක රඟ නොපෑවොත් ඔහුව නළුවකු විදියට පිළිගන්නේත් නැහැ. මම වේදිකා නාට්‍යයක් අරගෙන විදේශවල තිබෙන නාට්‍ය උලෙළවලට සහභාගි වුණාට පස්සේ ඔවුන් මගෙන් විමසන්නේ “උඹ ශේකස්්පියර්ගේ නාට්‍යයක් කළේ නැත්තේ ඇයි?” කියලයි.

‘අධිපතියාගේ මරණ මංචකය’, ‘දවස තාම ගෙවුන් නෑ’, ‘බන්සි මැරිලා නැහැ’, ‘මාස්ටර් හැරල්ඩ්’, ‘පුංචි ආදර බල කිරීමක්’, ‘සිංදු කිරිල්ලී’, ‘චේ ගුවේරා සහ තුන්දෙනෙක්’, ‘6457’ ආදී වේදිකා නාට්‍ය රැසක් ලාංකේය ප්‍රේක්ෂකයාට රැගෙන පැමිණි සම්මානනීය වේදිකා නාට්‍ය ශිල්පී බුද්ධික දමයන්තගේ නවතම වේදිකා නාට්‍යයේ මංගල දැක්ම මේ මස 03 වැනිදා සහ 04 වැනිදා පස්වරු 6.45ට හැව්ලොක් ටවුන්හි ලුම්බිනි රඟහලේ දි වේදිකා ගතවෙයි. මේ දිග හැරෙන්නේ ‘හැම්ලට්’ වේදිකාවට නැඟීම පිළිබඳ බුද්ධික දමයන්ත සමඟ කළ සංවාදයකි.

ඔබට ‘හැම්ලට්’ වේදිකාවට නඟන්න අදහසක් පහළ වන්නේ කෙසේ ද?

ලෝකයේ ඕනෑ ම අධ්‍යක්ෂවරයකුගේ හීනයක් වන්නේ ශේක්ස්පියර්ගේ නාට්‍යයක් කිරීමයි. එංගලන්තයේ වගේ රටක ශේක්ස්පියර්ගේ නාට්‍යයක රඟ නොපෑවොත් ඔහුව නළුවකු විදියට පිළිගන්නේත් නැහැ. මම වේදිකා නාට්‍යයක් අරගෙන විදේශවල තිබෙන නාට්‍ය උලෙළවලට සහභාගි වුණාට පස්සේ ඔවුන් මගෙන් විමසන්නේ “උඹ ශේක්ස්පියර්ගේ නාට්‍යයක් කළේ නැත්තේ ඇයි?” කියලයි. එලෙස විමසන්නට තරම් ශේක්ස්පියර් නාට්‍ය කලාවට කරලා තිබෙන්නේ දැඩි බලපෑමක්.

එහෙම නම් ඔබ ‘හැම්ලට්’ වගේ නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නේ විශේෂ හේතුවක් ඇතිව ද?

මා ‘හැම්ලට්’ වැනි වේදිකා නාට්‍යයක් කිරීම ආරම්භ කරන්නේ මගේ නාට්‍ය කලාවේ මුහුකුරා ගිය වයස් කාලයේදියි. එවැනි කාලයක වුණත් ශේක්ෂ්පියර්ගේ නාට්‍යයක් කරන එක පහසු දෙයක් නොවෙයි. ඒ ‘හැම්ලට්’ සඳහා විශාල වියදමක් දැරිය යුතුයි. විශාල මහන්සියක් දැරිය යුතුයි. ඒ වගේ ම විශාල පිරිසක් මේ නිර්මාණයට දායක කර ගත යුතුයි. අද වගේ කාලයක එවැනි කටයුත්තක් කිරීම බොහොම අපහසු වැඩක්. එවැනි කාලයක මා ශේක්ස්පියර්ගේ නාට්‍යයක් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ වාර්තාවක් පිහිටු වීම නොවෙයි. කාලයක පටන් ශේක්ස්පියර්ගේ නාට්‍යයක් කිරීමට මගේ සිතේ තිබුණු අදහසයි මේ සඵල වන්නේ.

මීට පෙර ‘හැම්ලට්’ අප හමුවට පැමිණෙන්නේ පිටපතක් ලෙසයි?

1970 වසරේ පටන්මයි අපේ සිංහල විභාගය ඇතුළුව විවිධාකාරයෙන් විෂය නිර්දේශයට ‘හැම්ලට්’ ඇතුළත්ව තිබෙන්නේ. ඒ අනුව වසර පනහක් තිස්සේ විභාග අපේක්ෂකයන් විභාගවලට ‘හැම්ලට්’ ලියන්නේ පොතක් ආශ්‍රයෙන්. ‘හැම්ලට්’ වේදිකා නාට්‍යයක් ලෙස නිෂ්පාදනය වූ බව අසා තිබෙන්නේ ගාමිණී හත්තොටුවේගම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී යමක් කළ බව පමණයි. එය බන්දුල විතානගේ පරිවර්තනයක් විදියට පළ කළත්, මෙතෙක් එය වෘත්තීය නිෂ්පාදනයක් ලෙස කරළියට පිවිස නැහැ.

එවැනි නිර්මාණයකුයි ඔබ මෙලෙස කරළියට ගෙනෙන්නේ?

‘හැම්ලට්’ කරළියට රැගෙන එන්නට මට දරන්න වුණේ මහත් වෑයමක්. ගිය වසරේ අගෝස්තු මාසයේ පටන්, තරුණ පිරිසකුත් සමඟ සතිපතා පුහුණු වීම් කිරීමට මට විශාල සටනක් කිරීමට සිදු වුණා. එහි ප්‍රතිඵලයක් විදියටයි ‘හැම්ලට්’ 03 වැනිදාට ලුම්බිනියේදී වේදිකා ගත වන්නේ. ඒත් මේ වනතුරුත් ‘හැම්ලට්’ වේදිකා නාට්‍යය සඳහා මට නිෂ්පාදකවරයකු සොයා ගැනීමට නොහැකි වුණා. මේ වනවිට ‘හැම්ලට්’ සඳහා ගිය වියදමත් විශාල ප්‍රමාණයක්. මගේ අතේ තිබෙන මුදල්වලිනුයි මේ තාක් දුර මේ නිර්මාණය අරගෙන පැමිණියේ. මේ සඳහා ඉදිරියටත් වියදම් රැසක් අප ඉදිරියේ තිබෙනවා.

‘හැම්ලට්’ වේදිකා නාට්‍යය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නිෂ්පාදකයකු සෙවීමට ගත් වෙහෙස පළ නොදැරූ බව ද ඔබ ඔය පවසන්නේ?

පසුගිය දවස්වල මා විවිධ ආයතනවලට, අමාත්‍යාංශවලට ‘හැම්ලට්’ නාට්‍යය සඳහා උදව් ගැනීමට සිතාගෙන ගියා. එහි ගියාට පසුව අපට සිදු වී තිබෙන්නේ, ඔවුන්ගේ දුක් ගැනවිලි ඇසීමටයි. සංස්කෘතික අමාත්‍යාංශයට ගියාම මගේ දුක කියන්න ඔවුන්ගේ දුක මට කියනවා. තරුණ සේවා සභාවට ගියාම මගේ දුක කියන්න, ඔවුන්ගේ දුක මට කියනවා. හැමතැන ම තිබෙන්නේ දුකයි. ඉතිං අප කුමක් ද කරන්නේ. මේ වගේ අවස්ථාවල මගේ මතකට නැඟෙන්නේ හැම්ලට් කියූ “ඉන්න ද? නහින්නද?” කියන කියමනයි.

මෙවර ඔබගේ නිර්මාණයක් වූ ‘හැම්ලට්’ සඳහා රංගනයෙන් දායක වන්නේ වෙනස් ම පිරිසක් නේද?

‘හැම්ලට්’ සඳහා විශාල තරුණ පිරිසක් රංගනයේ නියැළෙනවා. ඒ වගේ ම මෙවර මේ නිර්මාණ කටයුත්ත සඳහා වෘත්තිමය වශයෙන් වෙනත් රැකියාවල නිරත වන අය රැසක් රංගනයෙන් සහභාගි වීමත් විශේෂත්වයක්. ඒ අතර වෘත්තියෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, පරීක්ෂකවරුන්, ගුරුවරුන් ආදින් කොටසකුත් ‘හැම්ලට්’ නාට්‍යය සඳහා රංගනයෙන් දායක වෙනවා. සංගීතය ඇතුළු අනෙක් කටයුතුවලටත් බොහෝදෙනෙක් සහය වෙනවා.

වෙනත් වෘත්තිකයන් වේදිකා නාට්‍යයකට සහභාගි කර ගැනීම වෘත්තිය නළු නිළියන්ට වඩා පහසුවක් සලසනවා ද?

ඔවුන් මෙතැනට පිවිසෙන්නේ බොහෝ ප්‍රමාණයක් ප්‍රශ්න අඩුවෙන්. ඔවුන්ට ටෙලි නාට්‍ය පිළිබඳ ප්‍රශ්න නැහැ. ඒ නිසා සවස රැකියාව අවසන් කර බොහොම සැහැල්ලුවෙනුයි ඔවුන් නාට්‍යය පුහුණුව සඳහා පැමිණෙන්නේ. ජයනාත් බන්ඩාර කියන්නේ ප්‍රකට ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඔහු මෙතැනට පිවිසෙන්නේ මේ කටයුත්ත පිළිබඳ ආදරයකින් හා නිදහසකින්.

ඔවුන් ගැන ඔබගේ අදහස පෙළ ගැසී තිබෙන්නේ වෙනස් ම ආකාරයකින් වගෙයි?

එක දිගට ම මාස හයක් විතර මේ කටයුත්තේ නියැළීම පහසු කාර්යයක් නොවෙයි. ඔවුන්ට සල්ලි සොයන්න නම් වෙනත් මාර්ග ඕනෑතරම් තිබෙනවා නේ. එහෙම තිබියදිත් වේදිකා නාට්‍යයක පුහුණු වීම්වලට මහන්සි වෙනවා කියන්නේ සැලකිල්ලට භාජනය විය යුතු කාරණයක්. අද වගේ කාලයක එවැනි පිරිසක් මෙවැනි වැඩක නිරත වීම සතුටට කරුණක්. විශේෂයෙන් ම තරුණ පිරිසක් එතැන ඉන්නවා කියන්නේ අප වඩාත් සතුටට පත්විය යුතු කාරණයක්. ඒ කියන්නේ බුද්ධිමත්, මීට වඩා ජීවිතයේ වෙන තැනක් සොයන පිරිසකුත් අප අතර තවමත් ඉන්නවා. වර්තමානයේ ඉන්න ඔක්කොම අපතයන් යැයි වීසි කළාට දැනුම සොයන අලුත් පරම්පරාවකුත් අප අතර ඉන්නවා.

ඔබ ශේක්ස්පියර්ව දකින්නේ කොහොම ද?

ශේක්ස්පියර් නාට්‍ය තිස්හයක් ලියලා තිබෙනවා. ඔහු ‘හැම්ලට්’ ලියන්නේ මීට වසර පන්සියයකට කලින්. පැතිකඩ විසිහයකිනුයි ඔහු ජීවිතය දැක තිබෙන්නේ. ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවකු මෙන්ම ජනප්‍රි නාට්‍යකරුවා වන්නේත්, ලෝකයට බලපෑම් කළ නාට්‍යකරුවා වන්නේත් ඔහුයි. මේ වනවිටත් ඔහුගේ ‘හැම්ලට්’ නාට්‍යය ආශ්‍රයෙන් විවිධ නිර්මාණ බිහි වෙමින් පවතිනවා. එවැනි විශාල බලපෑමක් කළ මේ නාට්‍යකරුවාගේ නාට්‍ය කෘති බොහොම රසවත්. සර්වකාලීනයි. ‘හැම්ලට්’ ඔස්සේ මීට වසර ගණනකට පෙර ශේක්ස්පියර් කතා කරන්නෙත් අයුතු ලෙස ලබා ගන්නා බලය රැක ගැනීමට මිනිස්සු නිරන්තරයෙන් දරන වැය වෑයමයි. ඒ වගේ ම ඒ ඔස්සේ හඹායෑම නිසා සිදු වන විනාශයයි මේ නාට්‍යයේ තිබෙන්නේ. ඔහු මේ නිර්මාණ ලියා ඇත්තේ අදට නොව හෙටටයි. ඒ නිසයි නිර්මාණකරුවන් අදටත් ඔහුගේ නිර්මාණ කපමින්, කොටමින් විවිධ ආකාරයෙන් විවිධ ස්වරූපයෙන් සමාජයට අරගෙන එන්නේ.

ලෝකයේ නිර්මාණකරුවන් ශේක්ස්පියර්ගේ නිර්මාණවලට දක්වන්නේ මහත් ගෞරවයක්?

ලෝකයේදි ශේක්ස්පියර්ගෙන් තොර නාට්‍ය කලාවක් ඇත්තේ නැහැ. ඒ වගේ ම ඔවුන් මේ නිර්මාණ කරන්නේ මහා පරිමාණයෙන්. ඒත් අපේ සමහර අය අප ‘හැම්ලට්’ වගේ නිර්මාණයක් කරනවා කියලා කිව්වට පස්සේ ඒ දෙස බලන්නේ උපහාසයෙන්. ඔවුන් ඒකට ගරහන්න ඒ දෙස බලනවා මිසක්, ඒ නිර්මාණය දෙස සුබවාදීව, කළ යුතු දෙයක් ලෙස නොවෙයි බලන්නේ. වැඩක් කරන අපටත් මේ විදියට වැඩක් කරන්න අපහසු නම් මතු පරම්පරාව කොහොම කරාවිද කියන ප්‍රශ්නය අපේ සිතේ පැන නැඟෙනවා. මේ සියල්ල අමතක කර ශේක්ස්පියර් ගැන සිතුවොත් ඔහුගේ නිර්මාණ අතරින් දිගු ම නාට්‍යය වන්නේ ‘හැම්ලට්’. එය පැය පහක් පමණ දීර්ඝයි. එහෙත් එය පැය දෙක හමාරකට ලඝු කරලයි අප වේදිකා ගත කරන්නේ.

මෙතරම් දීර්ඝ නිර්මාණයක් ඔබ පැය කිහිපයකට ලඝු කළේ කෙසේ ද?

ලෝකයේ කළ නිර්මාණවලදි ඒ ඒ නිර්මාණකරුවන් ‘හැම්ලට්’ විවිධ ආකාරයෙනුයි අරුත් ගන්වා ඇත්තේ. මා ‘හැම්ලට්’ හරහා උත්සාහ ගන්නේ බලය හා දේශපාලන අරුතක් මතු කිරීමටයි. ශේක්ස්පියර්ගේ ‘හැම්ලට්’ මගේ අදහස ඉස්මතු වන අයුරින් කපමින්, කොටමින් අවශ්‍ය ආකාරයට මා සකසා ගත්තා. එය අධ්‍යයනයක ප්‍රතිඵලයක් මතයි සිදු වුණේ.

ඔබ ‘හැම්ලට්’ වේදිකාවට නඟන්නේ පාසල් ළමයින් මූලික කරගනිමින් ද?

‘හැම්ලට්’ සෘජුව ම සම්බන්ධ වන්නේ අධ්‍යාපනයත් සමඟයි. ඒ ඔස්සේ දිගු ගමනක් යන්නත් අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මා පාසල්වල නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරුන්ට ‘හැම්ලට්’ නැරැඹීමට ආරාධනා කරනවා. මේ මඟින් හෝ තමන්ගේ පාසල් ළමයින්ට ‘හැම්ලට්’ පෙන්වන අදහසක් ඔවුන්ගේ සිතේ ඇතිවේවි යැයි මා සිතනවා.