වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

ප්‍රේක්ෂක ආදරය

ජනප්‍රිය නළු ආක්ෂේ කුමාර් රඟ දක්වන 'Jolly LLB 2' හාස්‍යෝත්පාදක චිත්‍රපටය මේ දිනවල ඉන්දියාවේ ඉහල ආදායම් උපයමින් තිරගත වෙනවා. මෙය ඉන්දියානු නීති ක්ෂේත්‍රය උපහාසයට ලක්කරන චිත්‍රපටයක්. ඉන්දියානු රුපියල් කෝටි 30ක පිරිවැයකින් නිමවී ඇති මෙම චිත්‍රපටයේ ආදායම පසුගිය 19 වැනිදා වන විට රුපියල් කෝටි 165 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.

පසුගියදා මේ සම්බන්ධයෙන් එක මාධ්‍යවේදියෙකු ආක්ෂේගෙන් ප්‍රශ්න කර තිබුණේ ඔහුට වඩා වැදගත් වන්නේ ආදායමද නැත්නම් ප්‍රේක්ෂක ආදරයද යන්නයි.

"ප්‍රේක්ෂක ආදරය, අනිවාර්යයෙන්ම. අපි ඕනෑවටත් වඩා මුදල් උපයා තිබෙනවා. ඒ පමණක් නොවෙයි, හොඳ රචනයක්, දක්ෂ අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදන ආයතනයක් හා කටයුතු කිරීමට ලැබීමත් වැදගත්." ආක්ෂේ පිළිතුරු දුන්නා. මේ අතර, 'Jolly LLB  චිත්‍රපට මාලාවේ තෙවැනි අදියරකුත් නිර්මාණය වන බව චිත්‍රපටයේ නිෂ්පාදන ආයතනය වන Fox Star Studios' හි ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.


වරුන්ට ඡන්දය නෑ

බොලිවුඩ් නළු වරුන් ධවාන් ලඟකදී පොඩි අකරතැබ්බකට මුහුණපාලා. "බ්‍රිහාන්මුන්බායි නගරසභා ඡන්ද විමසීම" පසුගියදා මහරාශ්ඨය පුරා පැවතුණා. බොහෝ නළු නිළියන් එහිදී තම ඡන්දය ප්‍රකාශ කළා. වරුන් ද වගකියයුතු නගරවැසියෙක් ලෙස තම ඡන්දය ප්‍රකාශ කිරීමට තමන්ට අදාළ ඡන්ද මධ්‍යස්නයට ගියා.

වරුන් තම සහෝදරයා වන රෝහිත් ධවාන්ද සමඟ ඡන්ද පෝලීමේ ද සිට තම වාරය පැමිණි විට එය ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වුවත් මධ්‍යස්ථාන නිලධාරීන් පවසා ඇත්තේ ඔහුගේ නම ඡන්ද හිමි නාමලේඛනයේ නොමැති බවයි. ඔහු එම ලේඛනය පුරාම තම නම සෙවූ නමුත් එය එහි තිබී නොමැති බවයි ආරංචි. වරුන් කිහිප දෙනෙකුටම දුරකථනයෙන්ද අමතා මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කළද අවසානයේ ඔහුට ඡන්දය ප්‍රකාශ නොකරම ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටවීමට සිදු වෙලා.


සරසවිය හොඳම නිළිය අන්ජලී පාටිල් බර්ලින් උලෙළට

මෙවර සරසවිය හොඳම නිළිය අන්ජලී පටිල් සහ හින්දි නළු රාජ්කුමාර් රාඕ රංගනයෙන් දායක වුණු තිරගත වීමට නියමිත දේශපාලනික හාස්‍යොත්පාදක චිත්‍රපටයක් වන 'නිව්ටන්' පසුගියදා බර්ලින් හි පැවති 67 වන බර්ලින් චිත්‍රපට උලෙළේදී මංගල දර්ශනය පවත්වා තිබෙනවා.

මෙහිදී මෙම චිත්‍රපටයට කලාත්මක අතින් ඉහල චිත්‍රපටයන්ට පිරිනැමෙන CICAE නම් සම්මානය හිමි වුණා. රාජ්කුමාර් මේ ගැන සිය ට්විටර් ගිණුමේ මෙලෙස සඳහන් කර තිබුණා. "මෙම චිත්‍රපටයට මේ සම්මානය ලැබීම මට මහත් සතුටක්. ඒ වගේම මම චිත්‍රපටයට සම්බන්ධ වූ සියල්ලන්ටම සුභ පතනවා."


බොලිවුඩයේ අලුත්ම තරුව

සුහේල් නෙයාර් තරුණ බොලිවුඩ් රංගන ශිල්පියෙක්. . 'Udta Punjab' චිත්‍රපටයේ 'ජසී' ගේ චරිතය අති දක්ෂ ලෙස රඟපෑම නිසා ඔහු ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයට සේම විචාරක පැසසුමටත් පාත්‍ර වුණා.

මෑතකදී සුහෙල් සිය පළමු ජාත්‍යන්තර තලයේ චිත්‍රපටය සමඟත් එක වූ බවයි ආරංචි. 'Hotel Mumbai' නමින් තිරගත වන මෙම චිත්‍රපටය ඇන්තනි මාරස් නම් අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක්. 2008 වසරේ මුම්බායිහි සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය අලළා මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. මෙම ප්‍රහාරයට ගොදුරු වූවන් සහ එයින් දිවි ගලවාගත් පිරිස ගැන මෙහිදී සාකච්ඡා වන බව කියවෙනවා.


බොලිවුඩ් වඳුරාගේ උපන්දිනය

කරන් සිං ග්‍රෝවර්ගේ 34 වැනි උපන්දිනය යෙදී තිබුණේ පසුගිය පෙබරවාරි 23 වැනිදාටයි. පසුගිය වසරේ අප්‍රේල් මස බිපාෂා බාසු සමඟ විවාහයෙන් පසු දෙදෙනා එකට සමරන ප්‍රථම උපන් දිනය වුණෙත් එය යි. ඒ නිසා කරන්ට වගේම බිපාෂාටත් මේ උපන්දිනය තම ජීවිතයේ විශේෂ දිනයක් වුණා.

ඉතින් මේ වෙනුවෙන් උපන්දින උත්සවයක් විශේෂ අයුරින් පවත්වන්න තීරණය කළේ බිපාෂා. ඒ ගැන වැඩි විස්තර නොකියාම ඇය කරන් සමඟින් නිවාඩුව ගත කරන්න ගියේ සුන්දර ගෝවා වෙත. එහිදී මිතුරු මිතුරියන් පිරිවරා උපන්දින උත්සවය පැවැත් වුණා. මේ විශේෂ උපන්දින උත්සවය බිපාෂා සංවිධානය කළේ කරන්ට හොර රහසේ.

ඇය ඔහු වෙනුවෙන් විශේෂ ටීෂර්ට් එකක් නිර්මාණය කර තිබුණා. ඔහුගේ රුව සහිත ටීෂර්ට් එකක  "Monkey Prince"  (වඳුරු කුමාරයා) යනුවෙන් මුද්‍රණය කර තිබුණා. උපන්දින සාදයට සහභාගි වූ අනෙකුත් අයත් කරන්ගේ රුව සහිත Monkey's Birthday  (වඳුරාගේ උපන්දිනය) ලෙසින් සඳහන් වු ටිෂර්ට්වලින් සැරසී සිටියා.