වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




අකුරු දෙකේ නාට්‍ය ප්‍රියකළ පෙරළිකාරයා

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 25

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

අකුරු දෙකේ නාට්‍ය ප්‍රියකළ පෙරළිකාරයා

ජයසේකර අපොන්සු

ජයසේකර අපොන්සු වේදිකා නාට්‍ය නළුවෙකි, රචකයෙකි එසේම නිෂ්පාදකවරයෙකි. 1971 දී (එනම් තරුණ කැරැල්ල හටගත් තීරණාත්මක වසරේදී) ඔහු දුුර පළාතක් වූ නුවරඑළියේ සිට කොළඹට ආවේ හුදෙක් නළුවකු වීමේ අභිලාෂයෙනි.

එකල නළුවකුට සම්බන්ධ විය හැකි රංග ආයතන දෙකක් කොළඹ පිහිටියේය. එකක් ලයල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවයි. අනික සුදර්ශී ආයතනයයි. පන්ති තත්ත්වය, අධ්‍යාපන පසුබිම, සමාජ පිළිගැනීම වැනි කරුණු අනුව මේ ආයතන දෙක දෙආකාර ස්වරුපයක් දැරුවේය. සුදර්ශියෙන් පුහුණු වන නාට්‍ය රංගගත වූයේ බෙරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදීය. එය ද බොහෝ විට ඒක දිනක දර්ශනයක් පමණි. හරි යන්නට හෝ වරදින්න අපොන්සු කොළඹ විත් එක් වුයේ සුදර්ශියටය. ඒ වගේම එහි දයා වයමන්, චන්ද්‍රා කළුආරච්චි, නීල් අලස්, රංජිත් සුරංග, සොමී රත්නායක, ප්‍රේමසිරි කල්පගේ. ඩේෂන් අමරසිංහ, නිහාල් සිල්වා යන අය යාවජීව සාමාජිකයෝ වූහ.

රැකියාවක් නොකළ ඔහු බොරැල්ල කොටා පාරේ බෝඩිමක ලැගුම් ගත්තේය. සොමී රත්නායක, රංජිත් සුරංග, ප්‍රේමසිරි කල්පගේ මෙහි සෙසු සගයෝ වූහ.

ඩබ්ලිව්. එම්. ඊ. කරුණාරත්නගේ 'ඇතුළත් ගැට පිටත් ගැට' අපොන්සු රඟපෑ මුල්ම නාට්‍යය විය. ඉන්පසු අපොන්සු නාට්‍ය දෙසිය ගාණක රඟපා ඇත. 'මහසාර' (රාජ පුරුෂයෙක්), 'මිනිිහෙක්' සහ 'ගමනක්', 'රන් ලන්තෑරුම', 'පරපුටුවෝ', 'ගමනේ යා', 'සිටුතුමා', 'බිංගේ', 'දෙව්ලෝ යනකං', 'නෙත් අඳ බිසව්', ' හතරෙ වාට්ටුව' ඉන් නාට්‍ය කිපයකි. බී සිරිතුංග පෙරේරාගේ 'සිටුතුමා' නාට්‍යයේ ඔහු චරිත 11 ක් රඟපෑම විශේෂත්වයක් විය. එසේම ජී. ඇල්. ආරියපාලගේ 'නරුමයෙක්' නාට්‍යයේ ආ එකම චරිතය අපොන්සු රඟපෑවේය.

'දෙව්ලොව යනකං' නාට්‍යයේ රඟපෑම් ධම්ම ජාගොඩ ද 'නෙත් අඳ බිසව්' නාට්‍යයේ රඟපෑම් ජෝ අබේවික්‍රම ද 'හතරේ වාටටුව' නාට්‍යයේ රඟපෑම් ගමිණී ෆොන්සේකා ද ප්‍රශංසාවට ලක් කළහ. ගාමිණී තමාගේ 'උතුමාණෙනි' චිත්‍රපටයට අපෝන්සු තෝරා ගත්තේ ඒ රඟපෑම් දැකීමෙනි.

1975 ජාතික නාට්‍ය උලෙළේ හොඳම නළුවා වූයේ අපොන්සුය. ඒ ' රන් ලන්තෑරුම' හා 'පරපුටුවෝ' යන නාට්‍යවල කළ රංගනය වෙනුවෙනි. ඔහු හොඳම නළුවා වූයේ රවීන්ද්‍ර රන්දෙණිය, සිරිල් වික්‍රමගේ (ඉඩම) හේමසිරි ලියනගේ (නරියා සහ කේජු) වැනි නළුවන් අබිබවා වීම විශේෂත්වයකි.

අපොන්සු විවිධ නාට්‍යකරුවන් සඳහා පිටපත් රචනා කළේය. 'පෙට්රුකා' (ජයා ටී. හේරත්) 'රන් කිරුළ' (ඩී. සුනිල්) 'මාෂා හා ශේන්' (රංජිත් සුරංග) 'හතරේ වාට්ටුව' (ජයශාන්ත වානගුරු) 'හිම කුරුල්ලෝ' (මියුරි සමසිංහ) ඉන් කීපයකි. මෙයින් ' රන් කිරුළ' 1976 ජාතික නාට්‍ය උලෙළේ හොඳම ස්වතන්ත්‍ර රචනය තෙවැනි ස්ථානය දිනා ගත්තේය.

සීමා බන්ධන (1977) අපොන්සු නිෂ්පාදනය කළ මුල්ම කැපී පෙනෙන නාට්‍යයි. එහි රචනය අපොන්සුගේ සමීපතම ඥතිවරයකු වන එම්. එඩ්වින් පීරිස්ගෙනි. අපොන්සු මෙහි ස්ත්‍රී භූමිකාවක් රඟදැක්වීම විශේෂත්වයක් විය. මියුරි සමරසිංහ, වසන්ති කොස්තා. ශ්‍රිය කළුබෝවිල, රත්නා සුමනපාල, ප්‍රියා රණසිංහ, සමන්ති ලැනරෝල්. නෙළුම් කළුබෝවිල සෙසු චරිත රංගනය කළහ. අපොන්සු පසු කලෙක 'තටු' නමින් ප්‍රතිනිර්මාණය කළේ මෙම නාට්‍යයයි.

එය යළි නිපදවන ලෙස අපොන්සුට කියා ඇත්තේ ප්‍රවීණ නාට්‍යකරුවකු වන ජයන්ත චන්ද්‍රසිරිය.

'තටු' අනාථ නිවාසයක තතු කියයි. එහි පාලිකාව එලිසබෙත් මේරි නම් වූ අවිවාහක වයෝවෘද්ධ කාන්තාවකි. පීටර් ඇගේ සහායකයා වෙයි. අනාථ නිවාසේ අනාථ දැරියෝ කීප දෙනෙකි. ඔවුන් ශාරීරිකව මෙන්ම මානසිකව ද සිටින්නේ සීමා බන්ධනයන්ට යටත්වය. සියලු දෙනා නුදුරු දිනෙක පවත්වන්ට අපේක්ෂිත අනාථ දින උත්සවයට ලක ලෑස්ති වෙති. මෙදින මිනිසුන් අනාථ කරන සංගමයේ ලොකු ලොක්කන් පැමිණෙන බව පාලිකාව කියා සිටී. කතාව විකාශනය වන්නේ මේ සිදුවීම් මැද්දේය. පවතින දරදඬු පාලනයටත් අනාථ යුවතියන්ට ස්වකීය ආශා පසිඳගන්ට ඉඩක් නොමැත. මේ නිසා කෙනකු සිටින්නේ විශ්‍රාන්තියෙනි. තවත් කෙනකු තුළ වෛරිය පැසවෙයි. ඔවුන්ගේ ඒකායන අභිලාෂය සිර ගෙදරක් බඳු මේ ජීවිතයෙන් මිදී පලා යන්ටය. මෙහි අනාථ නිවාස සහයකයාගේ අවශ්‍යතාව වන්නේ ද එයම බව පෙනේ. ඔහුට විඳින්නට සිදු වන්නේ අනේක දුක් ගැහැටය. ගැරහුම් අවමන්ය. ඔහුට නිසි වෙලාවට කුසට අහරක් නැත. නිවාඩුවක් නැත. ප්‍රමාණවත් වේතනයක් නැත. පාලිකාව ඔහුගේ ශ්‍රමය සූරාකන්නේ හිත්පිත් නැති ආකාරයටය. අවසානයේ සහයකයාගේ ද සහය ලැබ අනාථ තරුණියේ නිවාසයෙන් (කඳවුරෙන්) පලා යති.

'තටු' නාට්‍යයේ වන අනාථ නිවාසය, පාලිකාව, සහායකයා, අනාථ තරුණියන් හා ඔවුන්ගේ ජීවන අපේක්ෂා ද සංකේතාත්මකය. එලිසබෙත් මේරි අධිරාජ්‍යවාදයේ රූපකයකි. මේ අනාථ දැරියන් යටත්විජිත විපාකය. සහායකයා අනාථ නිවෙසට සේවය සඳහා පැමිණ ඇත්තේ 1948 දී බවක් කියැවෙයි. එය ද සංකේතානුරූපීය.

අපොන්සු ස්ත්‍රී භූමිකාව රැඟීම සඳහා මාස 8 ක කාලයක් පුුහුණු වූයේ 'ටුට්සි' නම් වූ චිත්‍රපටයේ ඩස්ටින් හොෆ්මාන්ගේ ස්ත්‍රී නිරූපණය කිසියම් ආවේශයක් ඇතිකළාදැයි මා අපොන්සුගෙන් ඇසූ කල්හි ඔහු කියා සිටිියේ තමා එම චිත්‍රපටය දැක නොමැති බවකි. 'තටු' අපොන්සු විසින් මුදල් ආයෝජනය කර නිපද වූ නාට්‍යයකි. එහි සාර්ථකත්වය අපොන්සුට ඉඩමක්, නිවෙසක්, මෝටර් රියක්, දුරකථනයක් ගන්නට හේතු වාසනා විය.

'පාතාලයේ සොල්දාදුවෝ' (1983) අපොන්සුගේ තවත් ප්‍රකට නාට්‍යයකි. නාගරික මුඩුක්කු සමාජයේ වෙසෙන අව-මිනිසුන්ගේ ජීවිත පිළිබඳ කිසියම් විවරණයක් මෙම නාට්‍යයෙන් සිදු වෙයි. මෙහි රොබට් නොහොත් බඹරා නම් වූ ප්‍රධාන චරිතය රඟපාන්නේ ද අපොන්සුය. තිලක් කුමාර රත්නායක, දීපානි සිල්වා, නිමල් යටිවැල්ල, අවන්ති අපොන්සු, රහල් බුලත්සිංහල සෙසු චරිත රංගනය කළහ.

ගුණදාස අමරසේකර වරක් ආරාධනාවකින් තොරවම මෙම නාට්‍යය නරඹන්ට පැමිණියේය. එවක බොහෝ සිංහල නාට්‍යය ඔහුගේ නිර්දය දෝෂ දර්ශනයට ලක්ව තිබිණි.එහෙයින් නාට්‍ය කණ්ඩායම තරමක තැතිගත් ස්වරූපයකින් එදින නාට්‍යය රංගනය කළහ. අමරසේකර දින කීපයකට පසුව ස්වකීය විචාරය පළ කර තිබිණි. එය කිසිවකු අපේක්ෂා නොකළ ආකාරයේ ප්‍රශංසනීය විචාරයකි. මේ නාට්‍යයෙන් තමා ලද චමත්කාරය දින කීපයක් යනතුරුම තමා අත්හැර නොගිය බව අවංකවම හෙළි කළ යුතු යැයි එහිලා අමරසේකර කියයි. ඔහු මෙසේ ද කියා සිටියේය.

''අද මේ සමාජයේ විසීම කටුක අසහනයක් වී ඇත්තේ අන් හැම දේකටම වඩා ඒ අරභයා සමාජය විසින් අනුගමනය කරනු ලබන කුහකවතයි. ඒ කුහකවත නිසා බඩ වඩා ගැනීමට අවස්ථාවක් පාදාගෙන ඇත්තෝ සිදුවුණ සියල්ලටම ආවඩති. සෙස්සන්ගෙන් ටික දෙනෙක් තමන් වෙත දුක් පැමිණෙතැයි බියෙන් ඇසත් කනත් පියාගෙන සිටිති. වැඩි දෙනකු අවට ඇති ව්‍යාජය විනිවිද දැකීමේ අසමත් බැවින් අර කුහකවතේ ග්‍රහණයට ඉබේම බිලි වී ඇත.

'පාතාලේ සොල්දාදුවෝ' වැනි කලාත්මක නිර්මාණ බිහිවීමේ නම් එවැනි ආලෝකධාරාවක් ඉඳහිටවත් දකින්නට ඇත්නම් මේ අසහනය ඉවසා දරා සිටීම එතරම් අපහසු නොවනු ඇතැයි මට සිතේ. ජයසේකර අපොන්සු මේ නාට්‍ය නිර්මාණය සඳහා යොදා ගන්නා බස ගැන ද සඳහන් කළ යුතුය. මෙහි ඇත්තේ නාගරික මුඩුක්කු බසයි. එහෙත් ඒ බසට නාටේ‍යීචිත කාව්‍යමය ස්වරූපයක් දීමෙහි ඔහු සමත්ව ඇත. අප දෙඇස් කඳුළින් තෙමන අතර මුවඟට සිනාවක් නැඟීමේදී ඒ බසට නාට්‍යකරුවා විසින් අත්පත් කර ගන්නා ලද විශිෂ්ට ජයග්‍රහණයකි. එකම අශ්ලීල පදයක් හෝ දෙපැත්ත කැපෙන කුණුහරුප වචනයක් හෝ මුළු නාට්‍යය තුළම නොවූ බව අප විසින් සිහි කළ යුතුය.

1984 ජාතික නාට්‍ය උලෙළේදී 'පාතාලේ සොල්දාදුවෝ' නාට්‍යයට හොඳම නාට්‍යය, හොඳම නිෂ්පාදනය (ස්වීය), හොඳම රචනය (ස්වීය) හා හොඳම නළුවා ඇතුළු සම්මාන 12 ක් හිමිවීම සුවිශේෂ සංසිද්ධියකි. ඒ වසරේ 'ගැලිලියෝ' හා 'පුන්තිලා' යන නාට්‍ය දෙක උලෙළ සඳහා ඉදිරිපත් නොකිරිණි. එසේ වී නම් තරග ප්‍රතිඵල වෙනස් මුහුණුවරක් ගනු නිසැකය. එසේම බොහෝ රසිකයන් බලාපොරොත්තු දල්වාගෙන සිටියේ 'මායාදේවි' නාට්‍යය වසරේ හොඳම නාට්‍යය විය හැකි බවයි. ඒත් එයට හිමි වූයේ හොඳම ස්වීය රචනය ( 2 ස්ථානය) හොඳම සහය නිළිය, විනිශ්චය මණ්ඩලයේ විශේෂ ත්‍යාගය හා කුසලතා කීපයක් පමණි.

බන්දුල ජයවර්ධන, හෙන්රි ජයසේන, සෝමලතා සුබසිංහ, ජයසුමන දිසානායක, ට්‍්‍රලිෂියා ගුණවර්ධන, ආචාර්ය අනුර වික්‍රමසිංහ, ආර්. එල්. විමලධර්ම මෙවර විනිශ්චය මණ්ඩලය නියෝජනය කළහ.

'පාතාල සොල්දාදුවෝ' මෙලෙස සම්මාන ලැබිම සුදර්ශී ආයතනය ලද විශිෂ්ට ජයකි. මෙම ආයතනයට සම්බන්ධ නාට්‍යකරුවකු ඊට පෙර හෝ පසු හොඳම නාට්‍ය සඳහා සම්මාන හිමිකර ගත්තේ නැත.

ඇත්ත වශයෙන්ම 'තටු' නිෂ්පාදනය වූයේ 'පාතාලේ සොල්දාදුවෝ'ට පසුවය. ඉනික්බිතිව 'තටු' සාර්ථකත්වය මත අපොන්සු ඉදිරිපත් කළ සියලු නාට්‍ය අකුරු දෙකේ නාට්‍ය විය. 'ඉරි', 'ගුරු', '31', 'සේරු', 'හොරු', තරුව විකිණෙයි','සකෝ' ඊට නිදසුන්ය. 'රජු' අපොන්සුගේ නවතම නාට්‍ය නිර්මාණය වෙයි.

'ඉරි' නාට්‍යයේ තේමාව ගැන අපොන්සු මෙසේ කියයි.

'මිනිස්සු සමාජයේ ජිවත් වන්නේ නෙයෙක් ඉරි ඇඳගෙන පොහොසතා ඉරි ඇඳ ගන්නේ දුප්පතාගෙන් වෙන්වන්ට. උගතා,නූගතාගෙන් වෙන් වන්න ඉරි ඇඳ ගන්නවා. රදලයා, කුලහීනයා සම්බන්ධයෙනුත් එසේමයි. අපි කවුරත් මේ ඉරිවල කොටු වෙලයි ඉන්නේ. ඒ එක පැත්තක්. අද ඉන්න රුපියලත් කෝටියත් අතර හිරවුණු මිනිස්සු. රුපියලක්වත් නැති එකා එදිනෙදා ජිවිතය ගැටගසා ගැනීමේ සටනක නිරත වී සිටිනවා. කෝටියකටත් වඩා අතේ සල්ලි තියන එකා ඒව කර කියා ගන් දෙයක් නැතිව ළතවෙනවා. ඒ තවත් පැත්තක්. අද මිනිස්සු මුදල් ඉදිරියේ දණින් වැටෙන්නේ මිනිස්කමත් මරාගෙන. මෙබඳු සමාජ ක්‍රමයක මානව දයාව කියන්නේ හුදෙක් වචන මාත්‍රයක් පමණයි. මම 'ඉරි' නාට්‍යයෙන් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ එවන් තේමාවක්.'

අපොන්සු තම රංග ප්‍රතිභාව ටෙලි නාට්‍ය මාධ්‍යයෙන් ද ප්‍රකට කර ඇත. 'චරිත තුනක්' ටෙලි නාට්‍යයේ ඔහු කළ රංගනය(සනා ලෙස) ඊට නිදර්ශනයකි.

අපොන්සු පාසල් නාට්‍ය කීපයක් ද ඉදිරිපත් කර ඇත. 'සමනල්ලු','පාට පාට ලෝකයක්', 'සෙනෙහසේ', 'මායා', 'සූටික්කා' ඔහු රචනා කර නිෂ්පාදනය කළ ළමා නාට්‍ය අතර වෙයි. පරාක්‍රම කොඩිතුවක්කු 'සමනල්ලු' නාට්‍ය අරභයා මෙසේ ලියා ඇත.

'සමනල්ලු නාට්‍යය ළමයා වෙත ඉදිරිපත් කළ ප්‍රබල අත්දැකීමක් විය. පණ්ඩිතමානි සැරසිල්ලෙන් තොර වූ මෙම නාටකය හරයෙන් ද එහි විලාසයෙන් ද, අදීන කල්පනාවක හා අව්‍යාජ උත්සාහයක ප්‍රතිඵලයක් බව කිව යුතුය. අධික වේදිකා සැරසිලි හෝ සියුම් වේෂ නිරූපණය වෙනුවට ප්‍රබල රංගනය කෙරෙහි දැඩි ආත්ම විශ්වාසයක් තබාගෙන නිෂ්පාදනය කළ මේ නාට්‍යය සැබැවින්ම දෙතුන් දෙනකු එක්ව සීමිත කාලයක් තුළ නාටකයක් මවන්නේ කෙසේදැයි කියා දුන් ආදර්ශ රූපයක් හා සමාන විය'.

ජීවන පැවැත්ම උදෙසා කබල් චිත්‍රපට හා ටෙලි නාට්‍යවල විසූක දස්සන ඉදිරිපත් නොකර තම ජීවිතයම වේදිකා නාට්‍ය රචනය, රංගනය හා නිෂ්පාදනය උදෙසා කැප කළේ නම් අපොන්සුගේ නිර්මාණාත්මක ශක්‍යතා තව තවත් වර්ධනය වන්ට ඉඩ තිබිණැයි සිතමි.