වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සානයේ සඳ

ජීවිතේ බල්බ් එකක් වගේ

තවත් කාලයක් ගෙවී ගිය පසු තරුණයන් දෙදෙනෙකු කිසියම් පරණ කෝන්තරයක් අලලා බහින්බස් වීමක යෙදෙනු පෙනිණ. මේ වන විට මත්දියර ඔවුන්ගේ සිත් කිසියම් අසාමාන්‍ය තත්ත්වයකට ද පත් කර තිබුණි. බහින්බස් වීම ක්‍රමක්‍රමයෙන් අවලාද තත්ත්වයෙන් උද්වේගකර වන්නට විය. පිරිසක් එකිනෙකාගේ පැත්ත ගනිමින් ද තවත් පිරිසක් ගැටුම සමනය කරන්නට ද උත්සාහ ගනිමින් සිටියහ. බොහෝ අය නොහඳුනන නිසා සන්දේශ් ගැටුමට සම්බන්ධ වන්නට ගියේ නැත. තවත් මොහොතකින් කෙනෙකුගේ අතපය ද දිග හැරෙන්නට වුවත් එය දැඩි ප්‍රහාරාත්මක තත්ත්වයක් නොවීය.

මෙතෙක් කතාව

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට 'ඩවුන් සින්ඩ්‍රොම් නැමැති බුද්ධි හීන ආබාධයෙන් පෙලෙන සොහෙයුරෙකු සිටී. ඔහුගේ දඩබ්බර ක්‍රියාකාරකම් දකින සන්දේශ්ගේ දෙමව්පියෝ ඔවුන්ගේ විවාහයට එතරම් කැමැත්තක් නොදක්වති. එහෙත් සන්දේශ් දෙමව්පියන්ගේ කැමැත්ත නොසලකා ඇය හා විවාහවීමට තීරණය කරයි. දිනක් සන්දේශ් මිහිරි හමුවීමට ගොස් ඒ බව සැලකර සිටියි එහෙත් දෙමව්පියන්ගේ අකමැත්ත හේතුවෙන් ඇය විවාහය පිළිබඳ තීරණයකට එළඹීමකට පසුබට වෙයි.

පසුව උසස් අධ්‍යාපනය උදෙසා ඕස්ට්‍රේලියා බලා යන සන්දේශ් නතාශා නැමැති රූමත් ශ්‍රී ලාංකික තරුණියක් හඳුනාගෙන ඇය හා පෙමින් බැඳේ. මේ අතර ඔහුගේ පියාගේ මරණය සිදුවිමේ හේතුවෙන් ඔහු යළිත් ලංකාවට පැමිණේ. එහිදී සන්දේශ්ට යළිත් පැරණි පෙම්වතිය වන මිහිරි මුණගැසේ. තම ආබාධිත සොහොයුරා මියගිය බව මිහිරි පවසන අතර සන්දේශ් පවසන්නේ තමන්ට නතාශා නැමැති අලුත් පෙම්වතියක් ඕස්ට්‍රේලියාවේදී මුණ ගැසුණු බවයි.

(අද එතැන් සිට)

සන්දේශ් නතාශා ගැන තවත් බොහෝ දේවල් පවසා සිටියේය. ඔහුගේ වදන් සැහැල්ලුවෙන් අසා සිටින බව පෙනුණත් ඇගේ හදවතේ එක් කොනක කිසියම් බරක් ද රැඳී තිබුණේය. තමාගේත් සන්දේශ්ගේත් එක් වීමට මෙතෙක් තිබු බාධකය දැන් ඉවත්ව ඇත්තේය. එහෙත් ගෙවී ගිය කාල පරිච්ඡේදයත් සමඟ ඇති වු විපර්යාසයක් නිසා දැන් පැමිණ ඇත්තේ වෙනත් බාධකයකි. හදවතේ තැන්පත් වී ඇති සොඳුරු මතකයන් සමග එන විදියකට උපේක්‍ෂාවෙන් ජිවිතයට මුහුණ දීම හැර වෙන කුමක් කරන්නදැයි ඇයට සිතිණ.

සන්දේශ්ගේ සතුට වෙනුවෙන් ඔහු පිළිබඳව මෙතෙක් තිබු සියළු දේ මුදාහරිමින් ඇය, අපරිමිත දයාවෙන් යුතුවම ඔහුගේ මුහුණ දෙස බැලුවාය.

"ඔයා හොඳයි සන්දේශ්, ඔයාට කවදාකවත් වරදින එකක් නැහැ. ‍වෙඩින් එක මටත් කියන්න"

මිහිරි එසේ කීවේ දෑස් තුළ රැඳුණු කඳුළු පටල අතරින්ය.

පියාගේ හත් දවසේ බණ අසන්නට සුදුවතින් සැරසී මිහිරි ද පැමිණ සිටියාය. ඇය සන්දේශ්ගේ නිවසින් පිට වී ගියේ රාත්‍රී ආහාරය ද ගැනීමෙන් පසුවය. මෙදින නිවසේ තිබු කලබලකාරී ස්වභාවය නිසා ඔහුට ඇය සමඟ වැඩි කතාබහක යෙදෙන්නට අවස්ථාවක් ලබාගත නොහැකි විය.

හත් දවසේ බණින් තෙදිනකට පසු සන්දේශ් යළිත් ඕස්ට්‍රේලියාව බලා පිටත් විය. පියාගේ මලගෙදර සම්බන්ධ හා වෙළඳ ව්‍යාපාරයේ කටයුතු කිසියම් ආකාරයකට නිරවුල් කර ගැනීමට කළ උත්සාහයත් නිසා පැවති තෙහෙට්ටුව ඕස්ට්‍රේලියාවට පය තැබීමෙන් පසු ඔහු කෙරෙන් බොහෝ දුරට තුරන් වී ගියේය.

''තාත්තා ඔච්චර ඉක්මනට නැතිවෙයි කියලා අම්මා හිතුවෙත් නෑ''

පියාගේ අවමංගල්‍යය කටයුතු ගැනත් ලංකාවේ අළුත් විස්තර ගැනත් සන්දේශ් තුසිත් මාමා හා මාලතී පුංචි සමඟ බොහෝ දේවල් කතා කළේය.

''ඒ වුණාට මැරෙන්න හිටපු වයසකුත් නෙමෙයි. '' මාලතී පුංචිගේ කටහඬ තවමත් දුක්බරය.

'' ඔහොම තමයි ජිවිතේ. බල්බ් එකක් වගේ කොයි වේලාවේ ගහල යනවද දන්නෙ නෑ''

"අම්මා ගෙදර තනියෙන්. එකයි මට දුක "

'' තව අවුරුද්දක්වත් නෑනෙ ඔයාගෙ ස්ටඩීස්වලට. ඒ ටිකත් ඔහොමම ගෙවිල යයි. ඊට පස්සෙ අම්මගෙ පාළුව යන්නත් එක්ක ලේලිව එක්කරගෙන ගිහින් අම්මට බාර දෙන්න බැරියැ'' එසේ කීවේ මාලතී පුංචිය.

''හැබැයි වැඩේ තියෙන්නේ නැන්දම්මයි ලේලියි පැටලෙයිද දන්නෙ නෑ''

'' අනේ පව්, ඒ කෙල්ල එහෙම නෑ. අපේ අක්කා ගැනත් මං දන්නවනෙ''

පියා පිළිබඳ සංවේගදායි මතක සටහන් සිත තුළින් කෙමෙන් වියැකෙමින් තිබියදී තුසිත් මාමාගේ නිවසේත්, අධ්‍යාපන ආයතනයේත්, නාතාශාගේ ඇසුර අතරේත් සන්දේශ්ගේ දිවිය සුපුරුදු පරිදි ගෙවී යන්නට විය.

දිනක් සන්දේශ් අධ්‍යාපන ආයතනයේ දී හඳුනාගත් ලාංකික මිතුරෙකුගේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී විය. සංග්‍රහය තිබුණේ මිතුරා පදිංචිව සිටි නිවසේ ගෙවත්තේය. නොයෙකුත් වර්ගයේ මස්, මාළු, අල ගිනි තැටියක් මත පිලිස්සෙමින් තිබිණ.

තරමක ශිතලක් අවට පැතිර තිබුණද ගිනි උදුනෙන් නැගුණු රස්නය නිසා සැමට දැනෙමින් තිබුණ සුවදායක උණුසුමකි. විසි දෙනෙකුට ආසන්න තරුණ තරුණියන් පිරිසක් ගෙවත්තේ සිටියහ. මනාව පදම් කොට සුදුළුණු ,තුන පහ, සෝස් වර්ග තවරා සැකසුණු මස් මාංශ පිරිස රස බලමින් සිටියේ ආශාවෙනි. බොහෝදෙනෙකු අතේ මත් දියර වීදුරුය. තරුණියන් අත වැඩිපුර තිබුණේ රතු වයින්ය‍

සන්දේශ් බොහෝ අය හඳුනාගත්තේ එහිදීය. වෙලාව රාත්‍රී එකොළහ පසු වී තිබුණි.

''උඹලා දන්නවද, මූ ළඟ ඉන්නව නං හදිස්සියකට ප්ලේන්ටියක් හදාගන්න පුළුවන්" තවකෙකු පෙන්වමින් එසේ පැවසුවේ විනෝදයට බර කටකාර තරුණයෙකි. ඔහුගේ නම සමීරය.

'' ඇත්තද''

"ඇයි, මුගේ දණහිසේ වතුර ති‍යෙනවා. හිතේ කහට තියෙනවා, බඩේ ගින්දර තියෙනවා, ඇඟේ සිනී තියෙනවා. බඩු ඔක්කොම හරි "

ඔහු එසේ කීමත් සමඟම පිරිස උස් හඩින් සිනාසෙන්නට විය.

'' එතකොට කිරි තේ එකක් නං?''

'' ආ ඒකට නං පේෂලාට කියන්න වෙනවා. ''

සිනාහඩ පෙරටත් වඩා උස්විය. සමීර එසේ පැවසුවේ අසළ සිටි විශාල පපුවක් සහිත තරබාරු තරුණියක් පෙන්වමිනි. ඇය සිනාසෙමින්ම පිඟානේ තිබු පිළිස්සුණු අල ගෙඩියකින් සමීරට දමා ගැසුවාය.

''අපේ නෝනා නං හරිම අරපිරිමැස්මෙන් වැඩ කරන ගෑණියෙක්'' ඒ වෙනත් අයෙකි.

'' ඇයි, උඹ කොහොම ද එහෙම කියන්නේ?''

"මේ ළඟදී දවසක කුස්සියේ උයන කොට සීනි සම්බෝල ටිකක් බිම වැටුණා. එතකොට එයා මට කියනවා, ඩාලිං ඉක්මනට පාන් කෑල්ලක් ගෙන්න කියලා "

රාත්‍රීය ගෙවී යමින් තිබුණේ විනෝදයෙනි. බියර් කෑනයක් අතැතිව සියළු කතාබහ අසමින් සන්දේශ් සිටියේ අසල තිබු යකඩ ගරාදි වැටකට හේත්තු වී ගෙනය.

තවත් කාලයක් ගෙවී ගිය පසු තරුණයන් දෙදෙනෙකු කිසියම් පරණ කෝන්තරයක් අලලා බහින්බස් වීමක යෙදෙනු පෙනිණ. මේ වන විට මත්දියර ඔවුන්ගේ සිත් කිසියම් අසාමාන්‍ය තත්ත්වයකට ද පත් කර තිබුණි. බහින්බස් වීම ක්‍රමක්‍රමයෙන් අවලාද තත්ත්වයෙන් උද්වේගකර වන්නට විය. පිරිසක් එකිනෙකාගේ පැත්ත ගනිමින් ද තවත් පිරිසක් ගැටුම සමනය කරන්නට ද උත්සාහ ගනිමින් සිටියහ. බොහෝ අය නොහඳුනන නිසා සන්දේශ් ගැටුමට සම්බන්ධ වන්නට ගියේ නැත. තවත් මොහොතකින් කෙනෙකුගේ අතපය ද දිග හැරෙන්නට වුවත් එය දැඩි ප්‍රහාරාත්මක තත්ත්වයක් නොවීය.

අයෙක් දැඩි කෝපයෙන් යුතුව අනෙකාව වරෙක් පසෙකට තල්ලු කරනු ලැබීය. බලාපොරොත්තු නොවු පරිද්දෙන් ඔහු විසි වී ගියේ සන්දේශ් ‍දෙසටය. ඒ මොහොතේ සන්දේශ් සිටියේ යකඩ ගරාදි වැට අසලය. තල්ලු වී ගිය තැනැත්තා තරමක් තරබාරුය. වාරු නැති වී පසුපසට ගිය ඔහු සන්දේශ්ගේ ගතේ හැපිණ. තරුණයාගේ හැඩි දැඩි සිරුරේ බර උසුලාගත‍ නොහැකිව ඊළඟට සන්දේශ් වැට මතින් පහළට වැටිණ.

වැට තිබුණේ බෑවුමක් මතය. බෑවුම අඩි විස්සක් පමණ උසින් යුතු විය. පහළ තිබුණේ ගල් ඇතිරූ මාවතකි.

බලාපොරොත්තු රහිතව පාර මතට වැටුණු සන්දේශ්ට දැනුණේ අප්‍රමාණ වේදනාවකි. වේදනාව නැගුණේ පිටකොන්ද දෙසිණි.

ගෙවත්තේ තරුණයින් අතර තිබු ගැටුම නැවතිණ. සිදු වු දේ කිසිවෙකුට සිතා ගත ‍නොහැකි විය. පිරිසක් අසළ තිබු පඩිපෙළ බැස පහළ වැටී සිටි සන්දේශ් දෙසට දිව ගියහ.

සන්දේශ් සිටියේ උසුලාගත නොහැකි වේදනාවකිනි. පිරිස අසළ සිටි අයෙක් වහා කුලී ගිලන් රථයකට ඇමතුමක් ලබා දුන්නේය. වැඩි වේලාවක් නොගොස්ම එතැනට පැමිණි ගිලන් රථයට සන්දේශ් ඇතුළත් කරනු ලැබීය. ඒ සමඟම රිය රෝහලක් කරා අධික වේගයකින් ඇදී යන්නට වූයේය.