වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන වරද්දා දුන් ලෝක සිනමාවේ මහා උලෙළ

ඔස්කාර් සම්මාන දිනූ ලාබාළම අධ්‍යක්ෂක බිහිවෙයි

සම්මාන වරද්දා දුන් ලෝක සිනමාවේ මහා උලෙළ

ඇමරිකානු ජනාධිපතිට එරෙහිව ලොව සිනමාකරුවෝ එක්වෙති

89 වැනි ඇකඩමි සම්මාන උලෙළ හෙවත් ඔස්කාර් සම්මාන උලෙළ පසුගිය පෙබරවාරි 26 වැනිදා ලොස්ඇන්ජලීස්හි ඩොල්බි රඟහළේදී පැවැත්විණි. ලෝක සිනමාවේ ඉහළම සිනමා මංගල්‍යය ලෙසින් සැළකෙන ඇකඩමි සම්මාන උලෙළේදී මෙවර වැඩිම සම්මාන සංඛ්‍යාවකට නිර්දේශ ලැබූයේ, ඩේමියන් චාසෙල් විසින් අධ්‍යක්ෂණය කළ La La Land  චිත්‍රපටය යි. එය නිර්දේශ නාම 14ක් වෙනුවෙන් යෝජනා වී තිබුණි. එය ඇකඩමි සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ නාම සංඛ්‍යාවක් දිනා ගත් චිත්‍රපටය ලෙසින් වාර්තාව සම කරන්නක් විය. මීට පෙර All About Eve (1950) සහ Titanic (1997) චිත්‍රපට නිර්දේශ නාම 14 බැගින් හිමිකර ගෙන තිබුණි. La La Land විසින් යෝජිත නිර්දේශ නාම අතරින් සම්මාන 6ක් දිනා ගන්නා ලදී. La La Land චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඩේමියන් චාසෙල්හට හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය පිරිනැමුණු අතර 32 හැවිරිදි චාසෙල් ඇකඩමි සම්මාන උලෙළේ එම සම්මානයෙන් පිදුම් ලද ළාබාලතම අධ්‍යක්ෂවරයා වේ.

හොංකොං ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නළුවකු, නිෂ්පාදකයකු මෙන්ම ගායකයකු වන ජැකී චෑන්, බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට සංස්කරණ ශිල්පිනි ඇනී වී. කෝට්ස්, ලීන් ස්ටීල්මාස්ටර් සහ අමෙරිකානු සිනමාකරු ෆෙඩ්‍රික් වයිස්මාන් මෙවර ඇකඩමි සම්මාන උලෙළේ ගෞරව සම්මානයන් ගෙන් පිදුම් ලැබීය.

මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ කවුරුත් පුදුමයට පත්කළ විශාල අතපසුවීමක් සිදු විය. එනම් හොඳම චිත්‍රපටය වෙනුවෙන් වූ සම්මානය සඳහා ප්‍රථමයෙන් නිවේදනය කරන ලද්දේ La La Land චිත්‍රපටය වීමයි. වේදිකාවට නැඟි La La Land චිත්‍රපට කණ්ඩායම සම්මානය ලබා ස්තූති කතාවන් ගෙන් ද අනතුරුව සිදුවූ වරද හෙළිවීමෙන් පසු ඔවුන් විසින්ම හොඳම චිත්‍රපටය ලෙස Moonlight ප්‍රකාශයට පත් කරන ලදී. පසුව ඔවුන් අත තිබූ සම්මානය Moonlight චිත්‍රපටයේ අධ්‍යක්ෂ බෙරි ජේකින්ස් හට පිරිනැමීය.

එපමණක් නොව සම්මාන උලෙළ ආරම්භයට පෙර සිටම විවිධ අර්බුද ඇති වී තිබුණි. හොඳම විදෙස් චිත්‍රපටය වෙනුවෙන් ඉරානය නියෝජනය කරමින් නිර්දේශ නාම අතරට ඇතුළත්ව තිබූ The Salesman චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ අස්ගාර් ෆර්හාදි මෙවර ඇකඩමි සම්මාන උලෙළ වර්ජනය කළේය. මුස්ලිම් රටවල් හතකට අමෙරිකා එක්සත් ජනපදයට ඇතුල්වීම තහනම් කරමින් වර්තමාන අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති නියෝගය හේතුවෙන් අධ්‍යක්ෂ ෆර්හාදි මෙම තීරණයට එළැඹුණු අතර මෙවර ඇකඩමි සම්මාන උලෙළේ සම්මාන ප්‍රධානයට පෙර ඔහු ඇතුළුව හොඳම විදෙස් චිත්‍රපටය වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වූ අනෙකුත් අධ්‍යක්ෂවරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් කළේය. එනම් හොඳම විදෙස් චිත්‍රපටය වෙනුවෙන් වූ සම්මානය කවරකුට ලැබුණද එය ඔහු විසින් ලෝක සාමය, මානව අයිතීන් සුරකින සියලුදෙනා වෙනුවෙන් පුදකර සිටින බවයි. කෙසේ හෝ එම සම්මානය පිරි නැමුණේ අස්ගාර් ෆර්හාදි වෙතයි. එය ඔහු ලද දෙවන ඇකඩමි සම්මානය යි.

89 වැනි ඇකඩමි සම්මාන උලෙළ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බරපතල ලෙස විවේචනයට ලක් වූවක් විය. එම තත්ත්වය උලෙළ පුරාවට ගලා ගිය අතර ඇතැම් තරු මුස්ලිම් ජාතික සංක්‍රමණිකයන්ට එරෙහිව ඔහුගේ ක්‍රියාමාර්ගයට විරුද්ධව නිල් පැහැ රිබන් පටි පැළැඳ සිටිනු දක්නට ලැබුණි.