|
|
මගේ ගීතවලට රඟපාන්න ලේසියි එදා බොහෝ නිළියන් පැවසුවාමෙවර රණතිසර සම්මාන දිනූ සුජාතා අත්තනායක
“මොක ද කියන්නේ අදත් නඟිමු ද තරගයට ගස්?” රංජනීගේ යෝජනාවට සුජාතා එකපයින් කැමැති ය. වටපිට බලන අක්ක, නගෝ සෙමෙන් සෙමෙන් බිලිං ගස අසල කුරුමානං අල්ලන්නේ අම්මාගේ දසුන කොයිවේලෙහි මුළුතැන්ගෙයි පෑල දොරෙන් මතුවේදැයි සිතමිනි. ඒ පමාවෙන් රංජනී නංගී බිලිං ගසට නඟින්නේ සුජාතා අක්කා පරදන්නට ය. සුජාතාට ද කුරුමානං ඇල්ලීම අමතක වන්නේ ඒ වනවිටත් බිලිං ගසේ ඉහළට නඟින රංජනී දුටුවන ම ය. දෙදෙනා ම හරි හරියට බිලිං අතුඅතර ඉඳ ගනිමින් බිලිං ගෙඩියක් කඩා ගෙන හපන්නේ ඇඹුල් රස නිසා මුහුණු ඇද වෙද්දී ය. ඒ අතර ඈත අහසේ ඉඟිලෙන කුරුල්ලන් ගණන් කරන්නට ද ඔවුහු අමතක නොකරති. දහවලේ අහස් ගැබ එහා මෙහා සැරිසරන වලාකුළුවල හැඩයට නමක් දෙන්නට ද ඔවුහු වෙහෙසෙති. ඒ අතර සුජාතාට මුළුතැන්ගෙය දෙස බැලුණේ ඉබේම ය. සුපුරුදු ලෙස පෑල දොරෙන් එබිකම් කළේ අම්මාගේ උවන නම් නොවේ. ඈ යළිත් වරක් ඒ දෙස බැලුවේ සිතේ ඇතිවුණු සැකය හරියට ම හරිදැයි දැන ගැනීමට ය. “තාත්තා......” සුජාතාගේ කටින් එළියට පැන්නේ එක්වර ම ය. පඩිපෙළ බැස බිලිං ගස ළඟට එන්නට තාත්තාට මඳ වේලාවක් ගතවන බව සුජාතා දනියි. ඈ ගසෙන් බසින්නට පටන් ගත්තේ දෙවරක් නොසිතාම ය. ඒත් රංජනී තවමත් බිලිං ගස මුදුනේ ය. තාත්තා බිලිං ගස ළඟට ආවේ අඩියට දෙකට ය. ඒ වනවිටත් රංජනී නංගී බිලිං ගසෙන් බැස තිබුණේ බොහොම පොඩි දුරකි. ඈ එක්වර ම ගසෙන් බිමට පැන්නා ය. ඈව ඇදගෙන වැටිණි. ඈ ඇද වැටුණේත් තාත්තා එතැනට පැමිණියේත් එක විටෙම ය. ගස් නැඟීමේ වැරැද්දට තාත්තාගෙන් ඈට ගුටි බැට ලැබිණි. සුජාතාත් ඒ අසල ම සිටියේ ගැහි ගැහී ය. ඒ ඊළඟ වැරැදිකාරිය වන්නේ ඈ වග දත් බැවිනි. “ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගේ දෙයක් තමයි නංගිට වුණේ.” අතීතයේ දවසක් ගැන එලෙස මතකයට නැඟුවේ සුජාතා ය. එහෙත් අද අප අසල සිටින්නේ ඒ එදා සිටි දඟකාර දැරිය නොවේ. බොහොම හික්මීමකින් වචන හසුර වන, සරල බව ජීවිතයට ඈදා ගත් සුන්දර කාන්තාවකි. ඈ සුජාතා අත්තනායක ය. ගායිකාවක ලෙස වර්තමාන පරම්පරාවගේත් හදවත දිනාගත් ඈ පරම්පරා ගණනාවකගේ ම ආදරයට පාත්‍ර වූ ගී රැජිනකි. අදටත් ගීතයක් ඇසෙන විට ඒ ඇසෙන්නේ ඇගේ මියුරු ස්වරය වග අපට කියන්නට උවමනා නොවේ. ඒ තරමට ම ඇගේ මියුරු ස්වරය අපගේ හදවතේ ජීවමාන වී ඇත. සුජාතා අත්තනායක ඇයට ම ආවේණික වූ මධුර මනෝහර ගායන ශෛලියකින් ගයන්නී ය. එවැනි ගී රැජිනක පසුගියදා පැවැති සරසවිය සම්මාන උලෙළේදී ඇගයීමට ලක්විණි. ඒ ජීවිතයේ එක් වරකට පමණක් හිමි වන රණතිසර සම්මානයෙන් පිදුම ලබමිනි. ඊට පෙර ද ඈ සරසවිය සම්මාන උලෙළේදී හොඳම ගායිකාව ලෙද දෙවරක් කිරුළු පළන් බව මගේ මතකයේ ලියැවී ඇත. එවැනි මියුරු ස්වරයක වත්මන් තොරතුරු විමසනු රිසියෙන් අපි ඇගේ නුගේගොඩ පිහිටි නිවෙස වෙත ගමන් කළේ හිරු කඳු මුදුන් අතරින් ඔමරි පාමින් අස්ථාන ගත වන මොහොතේ ය. කට්ටිය හන්දියෙන් හැරී මඳ දුරක් ගියතැන හමුවන ඇගේ සොඳුරු නිවහනේදී සුපුරුදු ලෙස ම බොහොම සෙනෙහසින් සුදුවතෙන් සැරැසී සිටි ඇය අපව පිළිගත්තා ය. “ජීවිතය සුපුරුදු ලෙස ම ගලාගෙන යනවා.” කලකට පසුව හමු වූ නිසා ම මම ඇගෙන් විමසීමි. ඇය සුවපහසු ලෙස අසුනේ හරිබරි ගැසුණා ය. “මට දැන් ජීවිතේ ගැන දුකක් නැහැ. මා දැන් නිරාමිස සුවයෙනුයි කාලය ගත කරන්නේ. ජීවිතය දෙස උපේක්ෂා සහගත ව බලමින් මේ ගෙවන ජීවිතය සිතට ගෙනෙන්නේ සතුටක්.” ඒ උපේක්ෂාව ඇගේ උවනේ සටහන් ව තිබිණි. මේ මැයි මාසය වනවිට සුජාතා අත්තනායක නම් අපේ ගී රැජිනට අවුරුදු හැත්තෑ පහකි. ඇගේ කලා දිවියට හැට හතකි. ඈ නවරත්නගේ අතගෙන වසර පනහකි. “නොදැනී ම දීර්ඝ කාලයක් ගෙවී ගිහින්.” “මගේ ජීවිතයේ මේ එළැඹෙන විශේෂ දවස් වෙනුවෙන් ධර්ම දේශනයක් පවත්වලා මගේ හිතවතුන්ටයි, කලාකරුවන්ටයි කෑම කටක් දෙන්නයි මා සිතාගෙන ඉන්නේ. ඊට පෙර මොකක් හෝ දෙයක් වේවි ද කියලා කියන්න බැහැ. ජීවිතේ කියන්නේ තණ අග තිබෙන පිණි බිඳුවක් වගේ.”
ජීවිතයේ සැබෑ ස්වරූපය
“කල් තියා සූදානම් වන එදිනට කිරීමට නියමිත මේ විශේෂිත කටයුත්ත කුමක් ද?” “මේ වනවිට මා ගීත පන්දහසක් පමණ ගයලා තිබෙනවා. මේ දවස්වල මා කරන්නේ පළමුවෙන් ම ඒ ඒ විවිධ අවධිවල ගැයූ ගීත වර්ගීකරණයකට ලක් කිරීමයි. ඒ අනුව මා පළමුවෙන් ම ගැයූ ගීත පන්සියයක් ඇතුළත් පොතක් මැයි මාසයේ මගේ උපන්දිනයට එළිදැක්වීමටයි මා සිතාගෙන ඉන්නේ. ” එලෙස පවසනවාත් සමඟ ම ඈ ගැයූ මධුර ගීතයක පදවැල් කිහිපයක් මගේ සිතට පිවිසියේ මටත් හොරා ය.
“ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ සූර චෞරයා චිත්‍රපටයේදී ගැයෙන ඒ අපූරු ගීතය මුමුනන විට සුජාතා අත්තනායක ගී රැජින ගැයූ ‘පුංචි දවස්වල’, ‘පරවුණු මල්වල සුවඳ’, ‘මීදුම් වලාවන්’, ‘ආරේ මන්දිරේ’, ‘මාගේ මතකේ’, ‘ගුවන් තොටිල්ලේ’, ‘චන්ද්‍රා මේ රෑ පායා ආවා’, ‘පිරුණා හද සන්තානේ’, ‘ජීවන විල මැද’, ‘හතර වටින් කළු කරගෙන’, ‘බොලං පොඩි නංගි’, ‘ආගන්තුක කුරුල්ලා’, ‘පුතුනේ මේ අහගන්න’ ‘දුනුකෙයියා මලක් වගේ’ ආදි තවත් ගීත කිහිපයක් මුවඟට පිවිසෙන්නේ ඉබේම ය. ඇගේ ජීවිතයේ සංදිස්ථානයක් වූ ගුවන්විදුලියට සුජාතා පිවිසෙන්නේ සත්වයසැති වියේදී ය. එකල ස්වදේශීය සේවයේ තිබුණු ‘විචිත්‍රාංගයක්’ නමැති ගුවන්විදුලි වැඩසටහනේ පළමු වරට ගී ගයන මේ දැරිය වෙළෙඳ සේවයේ ‘ආධුනික පැය’ වැඩසටහනට ඉදිරිපත් වී ජයග්‍රහණය කරා ගමන් කරන්නීය. “ගායක-ගායිකාවන් බිහිවීමේදී එදා ගුවන්විදුලිය හරහා සිදු වුණු මෙහෙය සුළු පටු නැහැ නේද?” “ආධුනික පැය’ වැඩසටහනෙන් පසුව ‘ජයග්‍රාහක පෙළපාලිය’ වැඩසටහනට මා ගැයූ ‘සාදු දන්ත දා’ ගීතය ගැයූ ආකාරය මට මේ අවස්ථාවෙදිත් මැවි මැවි පෙනෙනවා. ඒ ගායන තරගයෙන් මම පළමු තැනට තේරුණා. එය මගේ ජීවිතයේ මා ලැබූ විශිෂ්ට ජයග්‍රහණයන්ගෙන් එකක්. අද වර්තමානයේ පරපුර අතර මතකයේ සිටින ගායක - ගායිකාවන් හැමෝම වගේ බිහි වුණේ ගුවන්විදුලියෙන්. ගායකයකු හෝ ගායිකාවක වෙන්න නම් එහි තිබෙන පරීක්ෂණවලින් සමත් විය යුතුයි. එහෙම නැතිව අද වගේ සිතුණ ගමන් ගායකයකු වීමට ඒ කාලයේ බැහැ.” සුජාතාගේ නිවෙසේ ම වූයේ සංගීතවත් පරිසරයකි. සුජාතාගේ පියා වූ පෙරේරා පොලිසියේ රැකියාව කළ ද කලාවට බෙහෙවින් ආදරය කළ රසවතෙකි. ඉදිරිපස තබා ඇති හාන්සි පුටුවට වී ඔහු මුමුනන ගීතයක පද අසා සිටීමට සුජාතා දැක් වූයේ දැඩි කැමැත්තකි. එමෙන් ම තාත්තා වයන තබ්ලාවේ හඬට ඈ පෙම් බැන්ඳේ කුඩා කලම ය. ටවර් හෝල් නිළියක වූ විමලා කාන්තා සුජාතාගේ මවයි. ඒ නිසා ම රංගනය, නර්තනය, ගායනය, වාදනය සුජාතාට නුහුරු දේවල් නොවේ. මේ වනවිට ගායන ලොවේ ජය කෙහෙළි නැංවුව ද ඈ රංගනයේ නියැළුණේ ගායනයටත් කලිනි. ඒ ‘විදුර’ නාටකයේ වැඩිහිටි චරිතයක බාල කාලයයි. එවැනි පරිසරයක හැදුණු වැඩුණු සුජාතාගේ කැදැල්ල එක ම රස ගුලාවකි. ඉඳහිට සිය පියාගේ අභිමතය පරිදි දමන සංගීත සාජ්ජය මුළු කැලණි පුරවරයට ම ඇසිණි. එවැනි සාජ්ජයකදී සුජාතාගේ අක්කා ප්ලෝරි දේවි සර්පිනාව වයන්නී ය. ධර්මසිරි අයියා ශිල්ප දක්වන්නේ තබ්ලාව වැයීමෙනි. බාල මල්ලී සුසිල් තාලයට වයන බොංගෝ එක ගායනයට ගෙනෙන්නේ අපූරු කලඑළියකි. සුජාතාත්, තාත්තාත් එක්ව ගයන ගීයට අලගු තබන්නී විමලා ය. රංජනීගේ නර්තනය ඒ අවස්ථාව තව තවත් අලංකාර කළා ය. “ඒ කාලය ගෙවුණේ බොහොම සුන්දරවයි.”
“ඒ සුන්දරත්වය තවමත් මගේ සිතේ තිබෙනවා. අපේ තාත්තා නීති දාලා අපට සැදුවත් බොහොම
සුන්දර කෙනෙක්. ඒත් ඔහු මම ගායිකාවක් වෙනවාට විරුද්ධ වුණේ නැහැ. පසු කාලයේ අද ඔහු ජීවතුන් අතර නොසිටියද සුජාතා අත්තනායක ගායිකාවක ලෙස පැමිණි දිගු ගමනේ ඔහුගෙන් ලද අත්වැල සුළුකොට තැකිය නොහැකිය. ඒ ඈ ආ දිගු ගමනේ යෝධ සෙවණැල්ල වූයේ ඔහු බැවිනි. 1956 වසරේ එස්.එම්. නායගම්ගේ ‘සොහොයුරෝ’ චිත්‍රපටයේ ‘සුරතල් මගේ පොඩි මුව පැටියා’ ගීතය ගයමින් චිත්‍රපට පසුබිම් ගීතයට පිවිසෙන සුජාතා මේ වනවිට චිත්‍රපට තුන්සිය පනහකට අධික නිර්මාණ ප්‍රමාණයක ගී ගයා ඇත. ‘පරසතු මල්’ චිත්‍රපටයේ ‘පරවුණු මල්වල’ ගීතයට හා ‘කල්‍යානි ගංගා’ චිත්‍රපටයේ ‘පුතුනේ මේ අහගන්න පුතුනේ’ ගීතයට චිත්‍රපට පසුබිම් ගායනය වෙනුවෙන් ඈ හොඳම ගායිකාව ලෙස සරසවිය සම්මානයෙන් පිදුම් ලබන්නට තරම් වාසනාවන්ත වූවා ය. “කලකට පසුව ලැබුණු සරසවිය සම්මානය ගැන මොන වගේ හැඟීමක් ද ඔබගේ සිතේ පිළිසිඳ ගන්නේ?” “මේ සම්මානය මට ලැබෙන්න තිබුණේ මීට කලින්. වසර කිහිපයක් සරසවිය සම්මාන උලෙළ පැවැත්වුණෙත් නැහැ. කොහොම වුණත් ප්‍රමාද වී හෝ ඒ සම්මානය ලැබීම ගැන සිතේ තිබෙන්නේ උපේක්ෂා සහගත හැඟීමක්. ඒ ගැන කතා කරන්නෙත් උපේක්ෂාවෙන්. මේ වනවිට මා ගයන්නෙත් කලාතුරකින්. එහෙම දිගින් දිගට ම නොගැයුවත් මට ලැබෙන මහජන සම්මානයේ නම් අඩුවක් නැහැ. පිරිත් පින්කමකට සහභාගි වුණත් හැමෝම මාව වටකරගෙන කතා කරන්නේ මා ගැයූ ගීත ගැනයි. ඒ ගැන සිතන විට මගේ සිතේ උපදින්නේ අහිංසක සතුටක්. ඒත් කිසිම දෙයක උපරිමයට යන්න මා කැමැති නැහැ. අදත්, හෙටත් ඒ විදියටමයි මා කාලය ගත කරන්නේ.” එකල චිත්‍රපටයකට පසුබිම් ගීතයක් ගයද්දී චිත්‍රපටයේ ඒ අදාළ චරිතය රඟපාන නිළිය ද එතැනට පිවිසීම සාමාන්‍ය සිදුවීමකි. “අද නම් එහෙම වන්නේ නැතිතරම්” “එදා එහෙම නොවෙයි. ඒ චරිත කළ සුමනා - රෝයි, ක්ලැරිස්, සන්ධ්‍යා, ජීවා, නීටා, විජිත මල්ලිකා වගේ නළු නිළියෝ මා ගයද්දි එහි පැමිණෙනවා. ඔවුන් පැමිණ පැය කිහිපයක් පමණ ගීතය ගයනවා අහලා තමයි එතැනින් යන්නේ. ඒ වගේ වෙලාවකදි ඔවුන් පවසන්නේ ‘අක්කේ, ඔයා ඔය ගීතය ගයන විදිය ඇහුවට පස්සේ මගේ චරිතය රඟපාන්න මට පහසුවක් දැනෙනවා. මට හොඳට රඟපාන්න අදහස් පහළ වෙනවා’ කියලයි. එහෙත් අද තිබෙන තාක්ෂණයේ දියුණුවත් එක්ක එහෙම වෙන්නේ නැහැ.” සුජාතා ගැයූ බොහෝ ජනප්‍රිය ගීත ඇතුළත්ව ඇත්තේ චිත්‍රපටවල ය. ඇගේ මධුර ස්වරය ඒ නිර්මාණ සඳහා නැතිව ම බැරි ස්වරයක් වූයේ නිතැතිනි. “එහෙත් අද චිත්‍රපට පසුබිම් ගී ගයන ගායන ශිල්පීන් හා ශිල්පිනියන් ඉන්නේ බොහොම අඩුවෙන්. ඒ ඇයි?” “අපි ඒ ගීත ගැයුවේ භාවමය ප්‍රකාශනයකුත් සමඟයි. සෑම නිතරම ගීතය ගයන විට අපේ සිතේ ගීතයේ ඒ අවස්ථා ගැන මවා ගැනීමකිනුයි ගීතය ගයන්නේ. ඒ ඒ අවස්ථාවලට උචිත ආකාරයෙන් ඒ භාවමය හැඟීම අප ගත්තේ හඬෙන්. එහෙත් අද බොහෝදෙනා ගීතය ගැයීම පමණයි කරන්නේ. ඉන් ප්‍රකාශ විය යුතු භාවමය හැඟීම ඒ ගීතයේ ඇතුළත් වන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි අද ගයන කටහඬවල්වල කිසිම ගැඹුරක් නැහැ. ඔවුන් ගයන ගීතවල පදවැල්වල අග පැහැදිලිව ඇහෙන්නේ නැහැ. වර්තමානයේ දක්ෂ තරුණ ගායක - ගායිකාවෝ ඉන්නවා. නිරෝෂා, ශශිකා, නෙලූ, සමිතා, උරේෂා, උමාරියා ඒ අතරින් ඉන්න කිහිපදෙනෙක්.” “එනමුත් ගායකයන්ගේ හඬවල් නම් නැතිතරම්” “ඒ සිටියත් ඒ අය කරන වරදකුත් මා මේ සමඟ ම කියන්නම්. මේ අයගෙන් බොහෝ අය ගයන්නේ ඉහළ ස්වරයෙන්. මම සිතන්නේ මේ පුරුද්ද අපේ තරුණ අයට ඇවිත් තිබෙන්නේ හින්දි චිතපටවල ගායනාවලින් බවයි. එලෙස ඉහළ ස්වරයෙන් ගයන්නේ එවැනි චිත්‍රපටවලයි. ඔවුන්වයි අපේ අය කොපි කරලා තිබෙන්නේ. රාජස්ථාන්, පකිස්ථාන් ගායික-ගායිකාවන්ගේ ස්වරය කොහොමත් ඉහළයි. ඒ වගේමයි ඔවුන් පහළ ස්වර ගයන්නෙත්. එහෙත් අපේ අය අරගෙන තිබෙන්නේ ඔවුන් එහෙම ඉහළ ස්වරයෙන් ගැයීම එක පමණයි. ඔවුන් පහළ ස්වරයෙන් ගයන එක අපේ අය කොපි කරලා නැහැ. මේ තත්ත්වය ඔවුන් හදා ගත යුතුයි. ඉහළ ස්වරයෙන් ගයද්දි ගායනය හොඳයි. ශ්‍රෘතිය බස්සවන්න ඕනෑ. මේ හඬවල්වල පිරිමි ගතියක් එන්න ඕන නේ. ඉහළ ස්වරයෙන් ම ගයන්න ගියා ම ඒ ස්වරයේ එන්නේ ගැහැනියකගේ හඬක්. ඒ කාරණය සිතට ගත්තා නම් ඔවුන් නිවැරැදි අයුරින් ගයාවි.” අපේ තරුණ පරපුරේ තිබෙන අඩුපාඩුවක් ප්‍රවීණ ගායන ශිල්පිනි සුජාතා අත්තනායක පෙන්වා දෙන්නේ සුහද සිතෙනි. “මේ විදියට දිගට ම ගැයුවොත් කාලයක් යද්දි ඔවුන්ට ගයන්න වෙන්නේ ඉහළින්මයි. පහළ ස්වර ගයන්න බැරිව ම යාවි. ඒ අයගෙන් සමහර අය පහළ ස්වර ගැයුවත් ඒ ස්වරය හරියට ම ගැයෙන්නේ නැහැ. ඒ නිසා ඒ වැරැද්ද ඔවුන් ඉක්මනින් ම හදා ගත යුතු දෙයක්.” සුජාතා සිය දක්ෂතාව ලඝු කළේ ගායනයට පමණක් නොවේ. ගුරුවරියක ලෙස අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක ලෙස මහඟු සේවයක් සංගීතය හරහා ඉටු කළා ය. “ඔබ තවමත් සංගීත කටයුතුවල නියැළෙනවා.” “ඔව්. මගෙන් සංගීත අධ්‍යාපනය ලබන්න ළමයින් පිරිසක් මෙහි එනවා. ඔවුන්ට මා සංගීතය උගන්වනවා. ඒ වගේ ම ගායනයට පිවිසුණු අලුත් ළමයි එයාලා ගයන සමහර ගීතවලට මට කියලා සංගීතය නිර්මාණ කර ගන්නත් අමතක කරලා නැහැ. ඒ වගේ මා සංගීතය නිර්මාණ කළ ගීත කිහිපයක් ම පසුගිය දිනවල ඔවුන් එළිදැක්වූවා. තවත් ගීත කිහිපයකට ම සංගීතය නිර්මාණය කිරීමට මට භාර දී තිබෙනවා. ඒ කටයුතුත් ළඟදීම අවසන් කළ යුතුයි.” සුජාතා අත්තනායක අනෙක් ගායක ගායිකාවන් අතරින් වෙනස් වන විශේෂත්වය නම් ඈට භාෂා කිහිපයකින් ම ගී ගැයීමට හැකිවීම ය. සිංහල, දමිළ, මරාටි, බෙංගලි, නේපාල්, උරුදු ආදි භාෂා කිහිපයකින් ම ඇය ගී ගයන්නී ය. දමිළ භාෂාව කතා කිරීමට ද, හින්දි භාෂාව ලිවීමට හා කියැවීමට ද, කතා කිරීමට ද ඈ සතු හැකියාව අප පුදුමයට පත්කරයි. හින්දි හා දමිල චිත්‍රපට නැරැඹීම හා ගීත ඇසීම ඇගේ එක් විනෝදාංශයකි. පසුගිය දිනවල එලෙස එක්තරා රූපවාහිනියක නැරැඹූ වැඩසටහනක් නිසා ඇගේ සිතේ ඇති වුණේ ශෝකයකි. “ඒ ගීතය ගැයුවේ මා අගය කරන තරුණ ගායන ශිල්පිනියක්. එහිදි ඈ ගීත කිහිපයක් ම ගැයුවා. එහි මගේ ගීතයකුත් තිබුණා. මුලින් ගීතය ගැයූ ගායන ශිල්පිනියගේ නම සඳහන් කළත් ඊට පසුව ඈ ගැයූ මගේ ගීතයේ නම සඳහන් කළේත් නැහැ. සියලු ම ගීත ගැයුවේ එක ම ශිල්පිනියක විදියටයි එතැනදි කතා වුණේ. මේ ගැන මා හිරු රූපවාහිනියට පැවසුවාට පස්සේ ඒ ගැන ඔවුන් මගෙන් සමා ඉල්ලුවා.මගේ සිතට බොහොම ශෝකයක් දැනුණා. ” මෙලෙස පැමිණෙන දුක සැප බෙදා ගනිමින් සුජාතා අසල ම ඉන්නේ ආදරබර සැමියා නවරත්න ය. සංගීත විද්‍යාලයේ පටන් බැඳී හාදකම අදටත් එලෙසම ය. ගහට පොත්ත සේ බැඳුණු මේ යුවළගේ සබැඳීයාව සංසාර ගත පුරුද්දකට සිදු වූ දෙයක් ලෙස හැඟෙයි. ඒ සැඳෑවියට පිළිපන්න ද ඔවුන් අතර වන සොඳුරු ආදරණීය බව මොහොතකට හෝ විඳගන්නට අපට වාසනාව ලද බැවිනි. “ගී රැජිනියනේ ඔබට දීර්ඝායුෂ!” හදවතින් ම පතමින් අපි ඒ සොඳුරු යුවළට සමුදුනිමු.
|



පෙරේරා පවුලට සිටි දඟකාර ම දැරිය වූයේ සුජාතා ය. ඈ කුඩා කල පටන් ම දක්ෂ දැරියක වූයේ
ගී ගයන්ට, නටන්නට පමණක් නොවේ. ගස් නඟින්නට ද ඈ දැක්වූයේ එවැනි ම සමත්කමකි. නිවෙස
පිටුපස තිබුණු බිලිං ගස අතු පතර දා සරුවට වැඩී තිබිණි. ඒ ගසේ මුල සිට ම අතුවල
අගිස්ස දක්වා ම වූයේ බිලිං පොකුරු ය. පොකුරු පොකුරු ලෙස හට ගැණුණු බිලිං ගෙඩි බිලිං
ගසට ගෙනාවේ අමුතු ම සුන්දරත්වයකි. සුජාතා බිලිං ගස දෙස ම බලාගෙන උන් කල්පනාවෙන්
මිදුණේ රංජනී නංගි ගැසූ බිලිං ගෙඩිය සිය ගත දැවටීමෙනි.
ඕ අපට පසක් කර දෙන්නී ය. ඈ තවමත් වර්තමානයේ සංගීතය නම් අමාව
පානය කිරීමට කැමැති දරුවන්ට ශිල්ප ඥානය නම් මහා සයුරේ කිමිඳෙන්නට මඟ හසර කියාදෙන
ගුරුවරියයි. එවැනි කර්තව්‍යයක නියැළෙන සුජාතා අත්තනායක නම් කෝකිලාව එළැඹෙන හැත්තෑ
පස්වැනි වියේදී සිදු කිරීමට නියමිත විශේෂ කටයුත්තකට මේ දැන් සිට ම සූදානම් වන්නී ය.
දි තාත්තා
මා ගැයූ ගීත අහලා බොහොම සතුටු වුණා.”