වර්ෂ 2016 ක්වූ ජූලි 28 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝති උපහාර 30 දා

ජෝති උපහාර 30 දා

එච්. ආර්. ජෝතිපාලයන්ගේ 29 වැනි ගුණ අනුස්මරණය නිමිති කර ගනිමින් ඔහුගේ රසිකයකු වන සරත් කුමාර විසින් සංවිධානය කළ ජෝති උපහාර ගී ප්‍රසංගයක් මෙම මස 30 වැනිදා සවස ඔලබෝඩුව පාසල අසලදී පැවැත්වේ.

මෙහි ප්‍රධාන ආරාධිතයන් වශයෙන් චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු සහ ටෙනිසන් කුරේ සහභාගි වනු ඇත. සංගීතය මෙහෙයවීම දමිත් නන්දන ප්‍රමුඛ රශ්මි සංගීත කණ්ඩායමෙනි.


චිත්‍රපටයක් හා වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීම මගේ පැතුමයි

ප්‍රදිප් මානවඩු

ඔහුගේ නම ප්‍රදීප් මානවඩු. ඉතුරු විස්තර ටික අපි ඔහුගෙන්ම අසා දැනගනිමු.

මම සහාය අධ්‍යක්ෂවරයෙක්. හැබැයි රංගනයට තමයි මුලින්ම ආස කළේ. පාසලේදී නාට්‍ය බොහොමයක් රඟපෑවා. 2007 යෞවන සම්මාන සහතිකයක් ලැබුණා මගේ රංගනය උදෙසා. මායාදේවි, එහෙත් එහෙමයි වගේ වේදිකා නාට්‍යවල මෙන්ම වසූදා ටෙලි සිතුවම සහ වෝටර් චිත්‍රපටයේ මං මුල් කාලයේ රංගනයේ යෙදුණා. සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට මා කලඑළියට එන්නේ ජානක සිරිවර්ධන නිෂ්පාදනය කළ පිනි බිඳු නාට්‍යයෙන්. මං එහි අමරබන්දු නම් වූ චරිතයකුත් කළා. ඊට පසුව වස්සාන සිහිනයහි ජෙරම්, මලී හි විජයසිරි, ඇසිඩ් හි රතු මහත්තයා, ඉසුරු සංග්‍රාමයෙහි වීරකෝන්, වී පී අයි පී හි වීරසිරි ආදී චරිත රැසක් රඟපෑවා. වී වී අයි පී හැර අනෙක් නාට්‍ය සියල්ලේම සහාය අධ්‍යක්ෂවරයා වුණේ මං. රතු මහත්තයා චරිතය කරන්න ගිහිින් තමයි මරු වැඩක් වුණේ. මං ඒ චරිතයට ඇන්දේ සුදු සරම සහ සුදු ෂර්ට් එකක්. ඒ නාට්‍ය රූගත කළ ගමේ අය හිතුවේ ඇත්තටම ඡන්දය ඉල්ලන්න ආව කෙනෙක් කියලා. ඉහළ පිළිගැනීමක් ලැබුණා ගමෙන්.

මගේ ගම හලාවත, කරවිටාගාර ජී. සී. එස් කොෙර්යා විදුහලෙන් සහ හලාවත ආනන්දය තමයි මං ඉගෙන ගත් පාසල්. ගමේ ඉඳන් ඉස්සර පාන්දර තුනට හතරට විතර කොළඹ එනවා. සමහර දවස්වල කියනවා ෂූටිං හෙටට කල් ගියා කියලා. ඉතින් මොකද කරන්නේ ආයේ ගමේ යන්නේ නැතුව කොටුවේ නිදාගෙන පහුවෙන්දා ෂූටිං ගියා. ඔය වගේ මං කෑව කට්ටවල් නම් අනන්තයි. ඉදිරියේදී මං වේදිකා නාට්‍යයක් සහ චිත්‍රපටයක් කරන්න හිතාගෙන ඉන්නවා. මගේ ගමනට ශක්තියක් වූ ගිහාන් ප්‍රනාන්දු, ජානක සිරිවර්ධන, සුනන්ද සිල්වා සහ චාමර පීරිස් යන අයව මතක් කළ යුතුමයි.

ඡායාරූපය - සරත් පීරිස්