හොලිවුඩ් ගිය අපේ කෙල්ල
අලුත් සුභාවිත ගීයක් ගැන සොඳුරු සටහනක්
යොවුන් ප්‍රේමය බෙහෙවින්ම ආදරණීයයි. දෙදෙනකු අතර ඇතිවන්නා වූ අති සුන්දර මෙම
මානුෂීය හැඟීම කෙනෙකුට මේ යැයි විග්‍රහ කිරීමට තරම් අසීරු දෙයක්. තාරුණ්‍යය පසු කළ
සියල්ලන් සේම තාරුණ්‍යය අත්විඳින සියල්ලන්ම ද ප්‍රේමයෙන් විනිර්මුක්තව ජීවත් වේ
යැයි සිතිය නොහැකිය. කවදා කෙදිනක කෙලෙසක හෝ ප්‍රේමය, ආදරය පිළිබඳ හැඟීම් ඔවුහු අත්
විඳින්නාහ.
ප්‍රේ්මයෙන් බැඳී විවාහ පත් වී දරු මල්ලන් ලබා ජීවිතය අවසාන වන තෙක් තම ප්‍රේ්මය
සුරක්ෂිත කර ගන්නා මිනිසුන් සේම විවිධ බාධක සන්සිද්ධීන් නිසා ප්‍රේමය ජය ගත නොහැකිව
විරහව අත් විඳින්නන් ද පිළිබඳව ද අප කොතෙකුත් අසා ඇත. ප්‍රේමය වෙනුවෙන් දිවි
පිදූවන් මතු නොව වර්තමාන සමාජ තලය තුළ ද නැතුවා නොවේ.
ආදරයට කෙහේදෝ බාධා නැත්තේ කියා අපි නොයෙක් වර අසා ඇත්තෙමු. විශේෂයෙන් වර්තමාන සමාජ
ස්ථරය තුළ ප්‍රේමයට ආර්ථික වටිනාකමක් හිමිවනු සුලබ දෙයකි. ජාති, කුල මල බේද කෙසේ
වෙතත් ආර්ථිකය ඊට හරස් වීම මෙකල සුලබය. හේතුව සියල්ල මුදල මත තීරණය වීමය. අග හිඟකම්
එන විට ආදරය පස්ස දොරින් පළා යන්නේ ඒ නිසාය.
ආදරය සම්බන්ධයෙන් මෙවන් පූර්විකාවකට මඟ පෑදුණේ පසුගියදා පැවති රාජ්‍ය සංගීත සම්මාන
උලෙළේ හොඳම ගීතය වෙනුවෙන් නිර්දේශ වූ ගීත අතර තිබූ සුවිශේෂී ගීතයක් අහන්න ලැබීම
නිසාය. නිතර දෙවේලේ කන් පිරෙන්නට ඇසෙන ආදර අඳෙීනාවන් අතර සැබෑ විරහ වේදනාවේ හදවත
රිදවන කම්පනය මේ ගීතය තුළින් දැනුණ නිසාය. ගීතය ගායනා කරන ගායකයා වූයේ ඉන්දික
ලියනගේය. ශ්‍රාවකයෙකුට කිසියම් සංවේදනයක් සන්නිවේදනය කිරීමේ භාවාත්මක ගැඹුරු හඬක්
ඔහුට හිමිය. විශේෂයෙන් විරහව වැනි හදවත කම්පනය කරවන සංවේදනයක් දැනවීමේ අපූර්ව බවක්
ඒ හඬින් මතුව එයි. ඉන්දික මෙරට සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කලකට ඉහත ස්වාධීන
රූපවාහිනි සේවය සංවිධානය කළ අයි. ටී. එන් ස්වර්ණ සම්මානය නම් වූ රියැලිටි වැඩසටහන
හරහාය. එම තරගාවලියේ දෙවෙනි ස්ථානය දිනා ගත්තේ ඉන්දික විසිනි. මගේ මතකයේ හැටියට එම
තරගාවලියේ විනිසුරු මඬුල්ලේ පණ්ඩිත් අමරදේවයන් , ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, විශාරද
අමරසිරි පීරිස් වැනි මෙරට සංගීත ක්ෂේත්‍රයේ අත්දැකීම් සපිරි ප්‍රවීණතමයන් රැසක්
විණ. ඔවුන්ගේ අධීක්ෂණයෙන් කිරා මැන බලා ඉහළට ඔසවා තැබූවෙකුගේ දක්ෂතා හැකියාවන්
පිළිබඳ යළි යළිත් කීමට අවශ්‍ය නොවන්නේ මේ කෝණය තුළ හිඩැස් නොමැති බව සියලු දෙනාම
පිළිගන්නා බැවිණි.
ඉන්දික උපන්නේ බේරුවල දර්ගා නගරයේය. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කළුකර ඥානිස්සර මහා
විද්‍යාලයේ ප්‍රාථමිකය වූ වරාපිටිය කනිෂ්ඨ විද්‍යාලයෙනි. පහේ ශිෂ්‍යත්වය සමත්ව
මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට ඇතුළත් වූ ඉන්දික උසස් පෙළ දක්වා එහි අධ්‍යාපනය ලැබීය.
පාසලේදී සංගීතය විෂයක් ලෙසට හදාරමින් විද්‍යාලයේ කලා කටයුතු වෙනුවෙන් ද සිය
දායකත්වය සැපයූ ඉන්දික උසස් පෙළට තෝරා ගත්තේ ජීව විද්‍යා විෂයන්ය. සංගීතය පිළිබඳ
ඉන්දික තුළ වූ නිසඟ හැකියාවන් ඔප දමන්නේ ඔහුගේ සංගීත ගුරුවරයා වූ ප්‍රවීණ ගායන
ශිල්පී මිය ගිය මර්වින් පෙරේරා ගායන ශිල්පියා විසිනි. ශාස්ත්‍රීය සංගීතයේ රාග,
ගිටාර් වාදනය, හඬ පාලනය කිරිමේ අභ්‍යාස හා ක්‍රමවේද, ස්වර රටා වැනි බොහෝ දේ ඔහු
මර්වින් පෙරේරා නම් වූ සංගීතඥයාගේ ඇසුරේ වැඩෙමින් ලබා ගත්තේය. විවිධ සංගීත කණ්ඩායම්
හා එක්ව සින්දු කියමින් කල් ගත කළ ඔහුට තමන් උසස් පෙළ අධ්‍යාපනය ලැබූ ජීව විද්‍යා
අංශයෙන් රැකියාවක් ලැබුණේය. වර්තමානය වන විට ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කළමනාකාර
සහකාරවරයෙකු ලෙස කටයුතු කරන්නේය.
පාට හත ගෙන - සොහොන ළඟ
දේදුන්න මොකටද පායලා
ඇතෙක් බර වස්තුවට පෑගී
දිළිඳු ප්‍රේමය මියැදිලා
මල් මතක නෙළ නෙළා කුමටද
මල් වඩම් මත පලඳලා
ළසෝ ගින්නෙන් දවා හලුකර
කඳුළු ගඟුලට විසි කළා
හඬන මළ බෙර - ඉකිය විතරක්
හිතේ මුල්ලක ගුලි වෙලා
අඳුර අපි යමු නිදන කුටියට
සඳට මොකටද රැවටිලා
මෙවර රාජ්‍ය සංගීත සම්මාන උලෙළට ඉන්දික ඉදිරිපත් කළ මෙම ගීතය රචනා කර ඇත්තේ රජී
වසන්ත වෙල්ගම විසින්. රජී වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඔහු ගැන ඊට වඩා යමක් කියනවා නම්
ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ ගායනා කරන 'මේ තරම් සියුමැලි ද කළු ගල්' ගීතය
රචනා කළේ ඔහු විසිනුයි. ඔහුගේ ගීත රචනා කලාව පිළිබඳ විස්තරයක් මම හිතන්නේ ඉන් එහාට
අවශ්‍ය නොවෙයි කියලයි. රජී සහ ඉන්දික එකම කාලවකවානුවක මතුගම ප්‍රදේශයේ විද්‍යාල
දෙකක අධ්‍යාපනය ලැබූවන්. රජී අධ්‍යාපනය ලබා ඇත්තේ මතුගම ශාන්ත මේරි විද්‍යාලයෙන්.
ඉන්දිකගේ කටහඬ පිළිබඳවත්, දක්ෂතා පිළිබඳවත් රජී දැනගෙන ඉඳලා තියෙනවා. ඔහු මේ ගීතය
රචනා කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලබන සමයේදීයි. ප්‍රේමය,
විරහව පිළිබඳ රචනා කරන ලද මේ ගීතයට ඔහුට වස්තු බීජය වුණේ විශ්වවිද්‍යාලයේ ඔහුට සමීප
මිතුරෙකුගේ අත්දැකීමක්. මේ මිතුරා ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගියා. එහෙත් එක්තරා
අවස්ථාවක මේ ප්‍රේම සබඳතාවය බිඳී යනවා. ඔහු තීරණය කරලා තිබුණා මිය යන්න. මේ
මිතුරාගේ මරණය රජීට දැඩි කම්පනයක් ඇති කරනවා. ඇත්තටම ප්‍රේමය බිඳීම, විරහව, මරණය
වැලඳ ගන්නා තරම් හේතුවක්ද? ප්‍රේමය නම් වූ ප්‍රබල මානසික, ශාරීරික චර්යාව තම
මිතුරාට මරණය ළං කර දුන්නා. මේ සන්සිද්ධිය පොදුවේ ගත් කළ ඉතාම පොදු සිද්ධියක්. ඒත්
මේ සිද්ධියත් මරණයත් සමඟ ගළපමින් ඔහු සම්ප්‍රදායික නොවන වචන මාලාවක් ගොඩනැඟුවා.
වියෝ දුක හරියට මළ ගෙයක් වගේ නේද ? කියලා හිතෙන්න මේ පද, මේ හඬ, මේ තනුව අපූරුවට
ගැළපුණා. මෙරට ගීත ක්ෂෙත්‍රයේ සදා නොමැකෙන තනු හැදූ සංගීත ක්ෂේත්‍රයේ රෝහණ ලකුණ
රෝහණ වීරසිංහගේ තනු නිර්මාණය වියෝ දුක තීව්‍ර කරමින් ශ්‍රාවක සිත් රිදවන්නට හේතුවක්
වුණා. රජී, ඉන්දික වැනි අංකුර කලාකරුවන්ටත් රෝහණ වීරසිංහ වැනි ප්‍රවීණයෙකුගේ ස්වර
සංකල්පනා සැබෑ අත්වැලක් බවයි ඔවුන්ගේ හැඟීම. මේ ගීත අපේ ශ්‍රාවකන්ට අහන්න ලැබෙන්නේ
අන්තර් ජාලය හරහායි. ඉදිරියේදී මේ ගීතය ද සමඟ 'පාට ගෙන' නමින් ගීත 16 ක් ඇතුළත්
සංගත තැටියක් එළිදැක්වීමේ අදහසක් ඉන්දිකට තියෙනවා. සුභාවිත ගීතය වෙනුවෙන් පෙනී
සිටිමින් මෙරට ගීත ශ්‍රාවකයන් යළිත් සුභාවිත ගීතයේ සංහිඳියාවට එක් රොක් කර ගන්න වෙර
දරන ඉන්දික, රජී වැන්නන්ට අපේ සුභාශිංසන.
හේමාලි විජේරත්න
|