වර්ෂ 2016 ක්වූ ජූලි 28 වැනිදා බ්‍රහස්පතින්දා




FUN MUSIC

FUN MUSIC

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

දයාසිරි - සජාඩ් සුසංයෝගය

සිත හඬවලා ඔබ දුර ගියා ඉතින්
නෑ එන්නෙ නෑ ඔය රුව මැකී ගිහින්
උණුසුම් සුසුම් කොපුලේ වෙලී
කඳුළැල් ඇඳී නෙතින්
ඉවසන්න බෑ මට ඉන්න බෑ
සුසුමක් තරම් දුරින්
සිත හඬවලා ඔබ දුර ගියා ඉතින්

මගෙම වන බව සිතා
ළං වුණා මං හොරෙන්
ආදරේ බොළඳ යැයි
වැටහුණේ දැන් තමයි
ඔබ මං තරම් මා ඔබේ තරම්
ආදරේ නෑ ඔයා
ඔබෙ රුව පෙනෙයි නෙත ළඟ මැවෙයි
රෑ සිහිනයෙන් පවා

පපුතුරේ හැංගීලා
දෙතොල හිරි හැරි හැටි
මා ළඟට ළං වෙලා
නුඹ දුන්නු හසරැළි
ඇති දැන් රිදුම් මට ඉන්න බෑ
ඔබ ඉන්නවා වගේ
නුඹෙ ගුණ කියූ මිතුරනුත් නෑ
මං තනිවුණෙ ලොවේ
සිත හඬවලා . . .


ගායනය - දයාසිරි ජයසේකර සමඟ සජාඩ් හසන්
සංගීතය - සජාඩ් හසන්
මියුසික් වීඩියෝවේ නිර්මාණය - @සිනමා ෆැක්ට්‍රි ප්‍රඩක්ෂන්
රඟපෑ නළු නිළියන් - දර්ශන් ධර්මරාජ් සමඟ
මැණික් විජේවර්ධන
නිර්මාණයෙහි සම්බන්ධීකරණ කටයුතු - හිරාන් චන්ද්‍රසේන

දර්ශන් ධර්මරාජ්ව අප සාමාන්‍යයෙන් මියුසික් වීඩියෝ තුළින් දක්නට ලැබෙන්නේ නැහැ. දර්ශන් නම් කියන්නේ ඔහුට ඒවා සඳහා ආරාධනා ලැබුණ මුත් ඒ ගැන දෙවරක් සිතා බලන බවයි. ඔහු මෙම වීඩියෝවට එකතු වුණේ නිෂ්පාදන ආයතනයේ දැඩි ඉල්ලීමක් පිට. ඒ වගේම මේ දර්ශන්ගේ දෙවැනි වීඩියෝව. බත්තරමුල්ල ප්‍රදේශයේ රූ ගැන්වුණ මෙම ගීතය සජාඩ් සහ දයාසිරි එකමුතුවෙන් නිර්මාණය වූ පළමු ගීතයයි. සජාඩ් තමයි දයාසිරිට මේ ගීතය ගැන කියලා තියෙන්නේ. වරක් දෙවරක් නොව කිහිප වරක්ම දයාසිරිට සිත හඬවලා ගැන කිව්වත් දයාසිරිගේ කාර්යබහුලත්වය නිසා වැඩේ මඟහැරිලා. නමුත් දයාසිරි ඉතාම කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ මේ ගීතයට හඬ මුසු කරන්න. කොහොම හරි නොපසුබට උත්සාහය නිසා සජාඩ්ට හැකි වෙලා බොරැල්ල ජොනෙත් ශබ්දාගාරයට දයාසිරිව ගෙනල්ල මෙයට හඬ මුසු කරගන්න. වීඩියෝව නිර්මාණය කරනදා අධ්‍යක්ෂවරයාට අවශ්‍ය වෙලා තියෙනවා කෘත්‍රිමව දුමක් නංවන්න. ඒ සඳහා අයිස් කැට භාවිත කරලා කොහොම හරි ඒ දර්ශන ටික නිම වෙද්දී අයිස් කිලෝ හත අටක් ගේන්න වුණාලු. අමුතුම තේමාවක් යටතේ නිර්මාණය වූ මෙම වීඩියෝව සඳහා අන්තර් ජාලය හරහා ඉහළ ප්‍රතිචාර ලැබෙන බව සජාඩ් සරසවියට සඳහන් කළා.