|
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්ජගත් චමිල නෙවෙයි නේද?
'මට වෙලාවකට මේ ඔක්කොම ගසා දාල යන්න හිතෙනවා බං. ඒත් ගිහිල්ලා මොනවා කරන්නද?' සුජිත් පැවසුවේය. අවන්හලට ඇතුළු වන විට ඇසුණු ඝෝෂාවට කිසිදු පිළිවෙළක් නැත. උස් හඬින් පාරම් බාන්නෝද, කොක් හඬලා සිනා සෙන්මෝද, තනියම නර්මාලාප දොඩවන්මෝ ද මේසය සංගීත භාණ්ඩයක් කොට ගයන්නෝ ද පිරි අවන්හලේ අඩ අඳුර අතරින් කෙළවරක් සොයා ගිය සුජිත් හා චාමර එහි වූ හිස් අසුන් දෙකක වාඩි ගත්හ. 'සද්දේ' චාමර පැවසුවේ උස් හඬිනි. 'වැඩක් නෑ. ටික වේලාවකින් අපේ සද්දෙත් ඒකට එකතු වෙනවා' අවන්හලේ නැඟෙන ඝෝෂාවට දෙමිතුරන්ගේ සංවාදය එක් වූ පසු ඔවුනොවුන්ට හැර සෙස්සන්ට එය තව මොහොතකින් තේරුම් ගත නොහැකිය. ඇසෙන්නේ කරච්චලයකි. එහෙත් එකිනෙකාට සමීප වූවන්ට එය රස හෝ නීරස වීම පෞද්ගලික කාරණයකි. මානවීගෙන් සමුගත් චාමර සුජිත් සොයා ගියේය. සුජිත් උන්නේ නුගේගොඩ කාමරයකය. ඔහු එහි පදිංචිව සය වසරකට වැඩිය. ඇඳක්, විදුලි පහනක් පොත් පෙලක් එහි සුජිත්ගේ අඩුවැඩියට තිබිණි. 'ෆෝන් එකත් ඕෆ් කරගෙන' අඩක් විවර වන දොරෙන් ඇතුළු වන විටම චාමර පැවසුවේ දොස් හඬිනි. කාමරය පුර පැතිරුණේ පුස් ගඳකි. ටික දවසකින් දොරගුළු විවර කරන්නට නැතැයි ඔහුට සිතිණ. 'මං කෝකටත් කියලා හොයන්න ආවේ' 'පහුගිය දවස්වල මං මෙහෙ හිටියේ නෑ' සුජිත් ඇඳ විට්ටමට හේත්තු වී බිත්තියේ ඔළුව තබා ගත්තේය. චාමර කාමරයේ ජනේලය විවෘත කරන්නට සැරසිණ. 'ඔහේ තිබිච්චදෙන්' අනතුරුව චාමර ඇඳේ කොනක වාඩි විය. 'ෆෝන් එකට මක් වෙලාද?' චාමර යළිත් කතා කළේය. සුජිත් ටික දවසකින් රැවුල කපා නැති වග පෙනෙයි. 'බිල ගෙව්වේ නෑ බං. අද ඒකත් කපලා' සුජිත් කතා කළේ කලකිරීම මුසු වූ හඬකිනි. 'අයියා කෑවද?' ඔව් බං. උඹ ගාව සල්ලි තියෙනවද?' 'ටිකක් තියෙනවා. මොනව හරි කරමුද?' ඔහු හිස සලා ආරාධනාව පිළිගත්තේය. 'පහුගිය ටිකේ සම්පූර්ණයෙන් ආර්ථිකේ ඇණ හිටියා බං. වැඩක් තිබුණෙත් නෑ. මේ කාමරේ සල්ලි ගෙව්වෙත් නෑ. අද උදේ අයිති ගෑණි පොඩි බර බරයක් දැම්මා මේ දවස්වල කාමරේ වැඩි ගාණට ඉල්ලනවා කියලා' ඔහු සරම හිසෙන් ගලවා ඇඳට විසි කරමින් බෝල කූඩුවේ එල්ලා තිබූ ඩෙනිම් කලිසමක් ඇඳ ගත්තේය. අනතුරුව එයට ගැළපෙන කමිසයක් ඇඳ ගත්තේය. 'වෙලාවකට හිතෙනවා බං ඔක්කොම දාලා ගිහින් ගමට ගිහින් හේනක් කොටන්න. එක එකාට පාච්චල් වෙන් නැතුව' චාමර සුජිත්ට එසේ කතා කරන්නට ඉඩ හැර බලා සිටියේය. අනතුරුව සුජිත් දොරේ යතුර අතට ගෙන කාමරයෙන් එළියට බැස්සේය. බිම් කළුවර සතර වට ඇවිද තිබුණ ද මහා මාර්ගයේ විදුලි පහන් එය පළවා හැරියේය. කාමරය තිබූ අතුරු පාරෙන් මහ මඟට පිවිසි ඔවුහු නගරයේ කෙළවරක වූ අවන්හල කරා ගියේ එයින් පසුවය. 'මගේ අතේ නම් ගොයියෝ සතයක් නෑ' සුජිත් පැවසුවේ අසුනකට බර දෙමිනි. 'නිරන්ජන් කාරයාට මං කෝල් එකක් දුන්නා. පස්සේ කතා කරහන් කියලා ෆෝන් එක තිබ්බා' සුජිත් පැවසුවේ බලාපොරොත්තුවක් බිඳ වැටුණු අයුරිනි. 'වැඩක ඉන්ඩ ඇති' චාමර පැසුවේ සුජිත් අස්වසන්නටය. චාමර කොළඹ ආවේ පත්තරයක තිබූ දැන්වීමකටය. අලුත් ටෙලි නාට්‍යයක් සඳහා නළු නිළියන් අවශ්‍ය යැයි එහි පලව තිබිණ. එහි වූ විස්තරය අනුව ගිය ඔහුට එහි සිටියකු පැවසුවේ රඟපාන්නට අවශ්‍ය නම් මුදලක් ගෙවිය යුතු වගය. ගෙවන්නට මුදලක් ඔහු සතුව තිබුණේ නැත. බලාපොරොත්තු සිඳ ගත් ඔහු ආපසු යන්නට හැරිණ. සුජිත් මුණ ගැසුණේ එතැනදීය. ඔහු පැමිණ සිටියේ මිතුරකු හමුවීමටය. චාමර සුජිත් හා කතා කළේ අහම්බෙනි. 'මල්ලිට ඕන නළුවෙක් වෙන්නද? මේ ඉන්ඩස්ට්‍රී එකට එන්ඩද' චාමර සිනාසුණා පමණි. 'එනවා මගේ වැඩක් තියෙනවා' ඔහු සුජිත්ට එක් වූයේ එහෙමය. මුල් දවසේ ඔහු ලැගුම් ගත්තේ ද සුජිත් ජීවත් වූ කාමරයේය. රඟපෑම ඉඳහිට කළ චාමර සුජිත්ගේ ගුරුහරුකම් මැද ඔහුට සහාය විය. රැවුම් ගෙරවුම්, තර්ජන සියල්ල කරබාගෙන උගත් චාමර ඉක්මනින් සුජිත්ගේ විශ්වාසදායක සගයා විය. 'සුජිත් අයියා මානවී අක්කාගේ වැඩේට අත ගහනවද?' චාමර ඇසුවේ අවන්හලේ ටික වේලාවක් කල් හැරීමත් සමඟය. ඒ වන තෙක් කතා කළේ සුජිත්ය. පසුගිය කාලය ඇතුළත සිදු වූ විපත් සියල්ල කාට හෝ කියා සිත සදා ගත යුතු යැයි සුජිත් කල්පනා කළා වැනිය. ඔහු කියන සියල්ල චාමර අසා සිටියේය. සොයුරියගේ විවාහය, අතරමඟ සිදු වූ ප්‍රහාරය, වියදම් ඒ සමඟ එක දිගට වැඩ අහිමි වීම මේ සියල්ල ඔහු අසරණයකු බවට පත් කර තිබිණි. සුජිත් යනු ලක්ෂ ගණනක් වැය කරන ව්‍යාපාරයක එක් මිනිසකු පමණි. ඔහු නතර වුවාට කර්මාන්තය නතර වන්නේ නැත. සුජිත් වෙනුවට තව කෙනකු යොදා ගත යුතුය. සුජිත් වැඩ කළ ටෙලි නාට්‍යයට පසුව සහමුලින්ම කර ගැසුවේ චාමරය. චාමරගේ පැනයට සුජිත් මොහොතක් නිහඬව බලා සිටියේය. අනතුරුව ඔහු වීදුරුවේ සියල්ල එකවර කටේ දමා ගෙන එය යළි පුරවා ගත්තේය. 'මං ඒ නවල් එකට හරි කැමැතියි. කාලෙකට ඉස්සරත් මං හිතන්නේ ඔය පොත ගැන කාට හරි කිව්වා. මං හිතන්නේ මානවිට තමා' අනතුරුව ඔහු යළි මොහොතක් නිහඬව සිටියේය. 'මට දැන් කවුරු හරි මොනවා හරි බාර දෙනවා නම් මං කරන්න ඕනෑ. උඹ දන්නේ නෑ බං මං එච්චරට වැටිලා ඉන්නේ' සුජිත් පැවසුවේය. කලකට ඉහත තමා ගමෙන් පිටත් වූ අයුරු ඔහුට මතකය. පාසලේ දක්ෂම ශිෂ්‍යයන් අතර ඔහු සිටියේය. මධ්‍ය මහා විද්‍යාලයට ශිෂ්‍යත්වයට ගිය ඔහුට පියා වියදම් කළේ පුළුවන්කමකට නොවේ. විශ්ව විද්‍යාලයට ඇතුළු වූ දා ඔහුට ලැබුණේ ඉහළම තැනකි. ශිෂ්‍ය සංගමයට එක් වුණේ එහිදීය. නගරයේ පැවැති ශිෂ්‍ය අරගලයත් සමඟ විශ්ව විද්‍යාලය දින කිහිපයක් වසා දැමිණ. ශිෂ්‍ය අරගලයේ මුලින්ම සිටියෙකු ලෙස ඔහුගේ රූපය ටෙලිවිෂනයේ ප්‍රවෘත්තිවල පෙන්වා තිබිණ. ටික දවසකින් ගමට ගිය ඔහුට ගම්මුන් තමා දෙස බලන්නේ අපරාධකාරයෙකු සේ බැව් වැටහිණ. සුජිත් යළි කොළඹ ආවේය. දවසින් දවස විශ්ව විද්‍යාලය අරින දවස කල් ගියේය. දවසකට දෙකකට සයිඩ් සපෝට් එකකට යහළුවකුගේ ටෙලි නිර්මාණයකට උදව් කළ ඔහු එයටම සින්න විය. 'දන්නවද සුජිත් අයියේ එහෙම නම් ඉතින් මේ චාන්ස් එක අත අරින්න එපා කියලයි මම කියන්නේ?' චාමර බලාපොරොත්තු සහගත බවක් පළ කළේය. 'උඹ දන්නවනේ මානවීව ගෙනාවේ මම. අපේ සම්බන්ධකම් ඔක්කොම උඹ දන්නවනේ'. සුජිත් එතැනින් එහා කියන්නට ගිය දේ ගිල ගත්තේය. චාමර බලා සිටියේ ඔහු යළි කතා කරන තුරුය. 'ඒ ඔක්කොම පැත්තක තියෙද්දෙන්, දැන් මානවී අක්කාට පුළුවන්. මෙනවා උනත් අයියට ටෙලිඩ්‍රාමා එක දුන්නනේ. නැත්නම් එයාට වෙන අය ගන්න තිබුණනේ' එවර චාමර කතා කළේ ජංගම දුරකතනය නාද වූ හෙයිනි. ඔහු එයට කණ තියා කතා කරන්නට තැනුවත් හතර වටේ ඝෝෂාව බාධා කළේය. ඔහු දුරකතනය රැගෙන අවන්ලෙන් එළියට ගියේය. සුජිත් අවන්හල සිසාරා ඇස් යැව්වේ හඳුණන මුහුණක් දැක ගනු රිසියෙනි. ඔහු පහරකෑමට ලක් වූයේ ද අවන්හලක සිට එන ගමනකිනි. 'බිල ගේන්නද, තව මොනවත් ගන්නවද?' සුජිත් වට පිට බලනු දුටු සේවකයා ඇසුවේය. නිතර යන එන ගනුදෙනුකරුවකු වූ සුජිත් ඔහුට හුරුපුරුදුය. 'දෙන්නකෝ සර් අපටත් චාන්ස් එකක්. අඩුම ගණනේ වේටර් කැරැක්ටර් එකක් හරි' මෙවැනි ඉල්ලීම් එමටය. බොහෝ දේට සිනාසී අනුමැතිය දීම සුජිත්ගේ සිරිතය. වේටර් තරුණයා යන්නට හැරිණ. හදිසියේම වාගේ සුජිත් ඔහු නවත්වගෙන ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටියේය. 'මල්ලිගේ නම මොකද්ද?' 'චමිල' ජගත් චමිල නෙවෙයි නේද?' 'නෑ! නෑ ' ඔහු සිනාසෙමින් පැවසුවේ අත වූ බන්දේසිය කිහිලි ගන්වා ගනිමිනි. 'ඉන්නේ කොහේද?' 'බත්තරමුල්ලේ බෝඩිං වෙලා' 'ටෙලි නාට්‍යයකට ගත්තොත් මේ ජොබ් එක කරන්නේ කොහොමද?' 'මේවා හිතේ සංතෝසෙට කරන ඒවා නෙවේ සර්. කියන්ඩකෝ කොහොම හරි එන්නම්' තරුණායගේ ඇස් බලාපොරොත්තුවෙන් දිලිසෙනු ඔහුට පෙනිණ. චාමර යළි අසුනට පැමිණියේය. 'වන් ෆෝද රෝඩ් කියලා තව වටයක් ගහමු' ඔහු සුජිත් දෙස බලමින් යෝජනා කළේය. 'ඊළඟ ෂොට් එකේ අපි රෝඩ් එකට තමා' සුජිත් සිනාසෙමින් අවන්හලේ සේවකයාට අනුමැතිය දුන්නේය. 'මානවී අක්කා කතා කළේ' චාමර සුජිත්ට පැවසුවේය. 'මං කිව්වා අයියත් ඉන්නවා කියලා. අයියා වැඩේට කැමතිද කියලා ඇහැව්වා' සුජිත් ඒ ගැන අසා සිටියේ උනන්දුවක් නැති ගාණටය. 'අද උඹට කොහෙන්ද සල්ලි' එකවරම සුජිත් ඇසුවේය. 'මානවී අක්කා දුන්නා' 'අපි මේ බොන්නේ ඒ සල්ලිවලින්ද?' සුජිත් ඇසුවේ වියරු සිනහවක් සමඟය. 'ඔව්. දැන් මට කිව්වා අයියට ඇවිත් හම්බු වෙන්න කියලා. මට කිව්වා අයියට සල්ලි ඕනෑ නම් කියන්න කියලා' 'කියපං මට එයාගේ සල්ලි ඕනෑ නෑ කියලා' සුජිත් උන් තැනින් නැඟී සිටියේය. 'මං කිව්වා සුජිත් අයියා එයාගේ ටෙලිය කරනවා කියලා' 'උඹ කොහොමද එහෙම කියන්නේ. මං තාම හරියට වචනයක් දුන්නේ නැතුව' චාමර හිස කැසුවේය. සුජිත් ඔහුගේ උරහිසට අත තිබ්බේය. 'කියපං එයාට, මං වැඩේ කරන්නං ගනුදෙනුත් එයත් එක්කම බේර ගන්නං කියලා' අවන්හලේ සේවකයා චමිල එතැනට පැමිණියේය. ඔහු අත බිල් පත ද විණි. චාමර එය ගෙවා දමන්නට සැරසිණ. 'මල්ලි චමිල, උඹ ලෑස්ති වෙලා හිටපං. මං ඉක්මනින් උඹට කතා කරන්නම්' සුජිත් චමිලගේ මුහුණට එබෙමින් කියා සිටියේය.
|