වර්ෂ 2016 ක්වූ ජූලි 28 වැනිදා බ්‍රහස්පතින්දා




කර්තෘගේ අණින් සුනිල් සාන්ත නිවහනට

කර්තෘගේ අණින් සුනිල් සාන්ත නිවහනට

1977 මහා මැතිවරණය සූදානම්ය. ලේක්හවුසිය තුළ පැවතියේ දැඩි උණුසුමකි. යූ. ඇන්. පී. රජයක් ප්‍රාර්ථනා කළ ජාතික සේවක සංගමයත් විශේෂයෙන් කර්තෘ මාණ්ඩලිකයන් වූ ධර්මදාස බොතේජු, ප්‍රභාත් මානවසිංහ. දයාරත්න රණසිංහ, වීිරසිංහ වෘත්තීය සමිති ක්‍රියාකාරයකු වූ සෝමසිරි ද පත්‍ර මුද්‍රණය කිරීම නැවැත්වීමේ මහ අරගලයක් දියත් කර තිබුණි. මැතිවරණය අත ළඟ තිබියදී වර්ජනය මහා පරිමාණයෙන් දියත් වී කර්තෘ මණ්ඩලයේ වැඩි දෙනෙක් එළියට බැස්සෝය.

සෝමවීරත්. මමත්, කරුණාරත්න සපුතන්ත්‍රීත් වැඩ අවසන් වී කොටුවේ සිට පිටකොටුවට යන තෙක් කතා කරමින් පැමිණ තේ බී විසිර යන සම්ප්‍රදායක් තිබුණි.

'සෝමේ, රන්ජිත් මට වර්ජනය කරන්න බැහැනේ. අපි ශ්‍රී. ල. නි. ප හිතවත්තු. අපි හෙට ඉඳලා හමු වෙන එකක් නෑ. ඔයගොල්ලන්ගේ තීරණය ඒ විදිහටම ගන්න' එදා පිටකොටුවෙන් කැලණිය බස් එකට නඟිද්දී සපුතන්ත්‍රී අපට කිවේය.

එ. ජා.පයට හිතවත් පිරිස වැඩ වර්ජනය කරමින් මැකලම් පාරේ රොද බැඳ ගත්හ. රජයට විරුද්ධව පුංචි පත්තරයක් පිට කිරීමට කර්තෘවරු, කර්තෘ මාණ්ඩලිකයෝ කතිකා කර ගත්හ. 'ජනතා' පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකුව සිටි ව්‍යාපාර ලෝකය ජය ගනිමින් සිටි විජය රාමනායක (චිත්‍රපට නිෂ්පාදක) වර්ජකයන්ට සංග්‍රහ කිරීමෙන්ද, පුංචි පත්තරය මුද්‍රණය කිරීමට අනුග්‍රහ දැක්වීය. එය මුද්‍රණය කළේ මගේ පියාගේ මුද්‍රණාලයෙනි. නොම්මර එකේ යූ. ඇන්. පී. කාරයෙකු වූ තාත්තා සොච්චම් මුදලකට එය කර දුන්නේ සතුටිනි.

මැද කොළඹ ආසනයට තරඟ කළ ආර්. ප්‍රේමදාස මහතාගේ ලොකුම හා අවසන් ප්‍රචාරක රැළිය කොස්ගස් හන්දියේ පැවති දිනය මට අද මෙන් මතකය. මේ ප්‍රචාරක රැලියට කතා කිරීමට හා ගායක ගායිකාවන් හා නළු නිළියෝ තමාගේ වාරය එනතුරු කොස්ගස් හන්දියේ අප නිවසේ රැඳී සිටියහ.

එදින සිදු වූ සුවිශේෂ සිද්ධියක් මට අමතක නොවේ.

රැස්වීම පටන් ගැනීමට තිබුණේ පැය කිහිපයකි. ප්‍රේමදාස මහතාගේ මෝටර් රථය අප නිවස ඉදිරියේ නතර විය. එතුමා සමඟ ටී. එම්. සංඝදාස, ඇලෝෂියස් මුදලාලි ද පැමිණ මට කතා කළේය.

'අද රෑ 8 ට විතර රුක්මණී දේවි ඒවි. ඔයා ගෙදරට ගෙනියලා සංග්‍රහ කරන්න. මම තාත්තට කියලා ඇති. එයාව මම කියන වෙලාවට සංඝදාස එක්ක ස්ටේජ් එකට එක්කන් එන්න. යන කොට ඇලෝෂියස් මුදලාලි දෙන ලියුම් කවරය රුක්මණීගේ අතටම දීලා මම දුන්නා කියන්න.'

මම හිස සැලුවෙමි. වේලාව 8 ට කිට්ටු විය. කොස්ගස් හන්දියේ කට කපලා සෙනඟය. විටින් විට ජෝති, මිල්ටන් පෙරේරා, එම්. එස්, මොරිස්, ක්‍රිස්ටෝපර්, ලතා ගීත ගයති. අජන්තා විජේසේනගේ රථයෙන් රුක්මණී පැමිණියාය. මම ඇය හොඳින් දන්නා නිසා අතින් අල්ලා ගෙට ගෙන ගියෙමි. පේ‍්‍රමදාස මහතාගේ කීම පරිදි සංඝදාස ඇය කැඳවාගෙන යෑමට වෙලාවටම පැමිණියේය. මම ඇය සමඟ පයින්ම වේදිකාව දෙසට ගියෙමි. දෙපැත්තේ සෙනඟ උතුරා යන තරම්ය. ඔවුන්ගේ ප්‍රතිචාර මැද ඇය සැමට නිහතමානී සිනාවක් පාමින් ඉදිරියට ගියාය.

වේදිකාවේදී ප්‍රේමදාස මහතා ආචාර කොට ඇය පිළිගත් විට මහ ජනසන්නිපාතය ඔල්වරසන් හඬ දුන්හ. ඇය ජනතාවට ආචාර කළාය.

රුක්මණී දේවිය දැවැන්ත රැස්වීමේදී කතා කළේ හෝ ගීත ගැයුවේ නැත. එය ප්‍රේමදාස මහතා වෙනුවෙන් පැමිණ සිටියා පමණි. නැවත වේදිකාවෙන් බැස මා හා සංඝදාස සමඟ ඇය අප නිවසට ආවාය. උණු තේ කෝප්පයකින් සප්පායම් වී අජන්තා විජේසේනගේ මෝටර් රියට ගොඩ වනවාත් සමඟ ඇලෝෂියස් මුදලාලි ලියුම් කවරයක් මා අත තැබීය. මම එය රුක්මණී දේවියට දුන්නේ 'ප්‍රේමදාස මහත්තයා මේක ඩේසි අක්කාට දෙන්න කිව්වා' කියාය.

'සල්ලිද? මම ප්‍රේමදාස මහත්තයාගේ වැඩකට ඇවිත් සල්ලි ගන්නේ නැහැ' ඇය නිහතමානීව එය ප්‍රතික්ෂේප කළාය. කාරය පිටත් විය. මම ලියුම් කවරය ඇලෝෂියස් මුදලාලිට දී වේදිකාවට ගොස් රැස්වීම අවසන් වූ පසු ප්‍රේමදාස මහතාට මෙසේ කිවෙමි.

'ඩේසි අක්කා කිව්වා මහත්තයාගේ වැඩකට ඇවිත් සල්ලි ගන්නේ නෑ කියලා'

'එයා මට ලොකු ගෞරවයක් තියෙන්නේ. අපේ ආණ්ඩුව ආවම මම ඩේසි අක්කාව බලා ගන්නවා' ප්‍රේමදාස මහතා අසල සිටි වින්සන්ට් පෙරේරාටත් ඇසෙන ලෙස කීවේය.

1977 මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් කළ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජය යටතේ ලේක්හවුසියේ නව සභාපතිවරයා ලෙස රණපාල බෝධිනාගොඩ මහතා පත් වී ආවේය. කලක් ලේක්හවුසියේ 'ඔබ්සර්වර්' පුවත්පතේ වෙළඳ දැන්වීම් කළමනාකරුව සිටි ඒ මහතා 1973 ලේක්හවුසිය රජයට පවරා ගැනීමත් සමඟ ඉල්ලා අස් විය. ඔහු කලාකාමී හදවතක් ඇති කිසිවෙකුටත් බිය නැති පාලකයෙකි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ උදේට තේ පානය කළ ඉතාම සීමිත පිරිසේ බෝධිනාගොඩ හා ආනන්ද තිස්ස ද අල්විස් මහතුන් අනිවාර්යෙන්ම සිටි බව අප අසා තිබුණි. මේ දෙදෙනාම ඊට ප්‍රථම ජයවර්ධන මහතාගේ විශ්වාසවන්තම ලේකම්වරුන් ලෙස කටයුතු කොට තිබුණි. මේ දදෙනාම ආදි ආනන්දියන් නිසා තම උගත් පාසලට උපරිම සහයක් දැක් වූහ.

'සරසවිය' පුවත්පතට බෝධිනාගොඩ මහතා හදවතින්ම ඇලුම් කළේය. 1964 මුල්ම සරසවිය සම්මාන උලෙළ සංවිධාන කිරීමේදී පෙරමුණේ සිටි නිලධාරියා ඔහුය. එදා සරසවිය චිත්‍රපට උලෙළ සහ චිත්‍රපට සතිය පැවැත්වීමට සිනමා ශාලාවක් සෙවීමේ අසීරු කර්තව්‍යය, අභියෝගය ජය ගත්තේ බෝධිනාගොඩ මහතා විසින් යැයි ඔහු අප සමඟ පවසා තිබුණි. කොළඹ කිසිදු සිනමාහලක් (ලේක්හවුසිය ඉදිරිපිට තිබූ රීගල් සිනමාහල පවා ලැබී නැත) නොලැබුණු විට බෝධිනාගොඩ මහතා ග්‍රෑන්ඩ්පාස් හී අසෝක සිනමා හල ඒ සඳහා ලබා ගත්තේ එහි අධිපති මදනායක මහතාගේ මිත්‍රත්වය නිසාය. බෝධිනාගොඩ මහතා සභාපති වූ පසු ඇරඹූ සරසවිය උලෙළවලට පැමිණි ඇමතිවරුන්ට පවා ඒ අතීත සිද්ධිය මතක් කොට දෙමින් හෙතෙම අපමණ සතුටක් ලැබුවේය. පැරණි නළු නිළියන් බෝධිනාගොඩ මහතාට තිබුණේ ගෞරවය මුසු වූ ආදරයකි.

වසර 17 ක් අඛණ්ඩව සරසවිය කර්තෘ පදවිය දැරූ විමලසිරි පෙරේරා මහතා නව රජය පත්වීමෙන් පසු ඔහු තම සගයන් සමඟ පිටව ගියා මිස නැවත ලේක්හවුස් පඩි පෙළ නොනැග්ගේය. නව සරසවිය කර්තෘ ලෙස පත් වූයේ කලින් සිළුමිණ, ජනතා හා දිනමිණ කර්තෘ මණ්ඩලවල කටයුතු කළ ධර්මදාස බොතේජු මහතාය. මැතිවරණයට සතියකට පෙර පත්‍ර මුද්‍රණය කිරිම නතර කිරීමේ සටනේ පෙරමුණ ගත් බොතේජු මහතා මුද්‍රණ අංශය අසල තිබූ වාහනයක නැගී වේගවත් කතාවක් කළ ආකාරය මට අදත් මැවී පෙනේ. බොතේජු මහතා ඉහ වහ ගිය මානව දයාවෙන් යුතු. වහා උණුවන හදවතක් ඇති මිනිසෙකි. ඔහු අමාරුවේ වැටුණු සිය සගයන්ට හැකි හැම උපකාරයක්ම කළේය. ඔහුගේ හොඳ හිත අනිසි ලෙස ප්‍රයෝජනයට ගත් ඇතමෙකු සරසවිය මුල් පුටුව උදුරා ගැනීටම පිඹුරු පත් සකස් කළේය. ප්‍රවීණ සංගීතඥ සුනිල් සාන්ත අසරණව පුංචි මඩුවක ජීවත් වන බව ජාඇල සමූහ වාර්තාකරු බොතේජු මහතාට පවසනු මම අසා සිටියමි. බොතේජු මහතා මා කැඳවූයේය. ඔහු තම මේසයට තට්ටු කරමින් දුම්වැටියක් දල්වා ගත්තේය.

'පුතේ ජාඇලට ගිහින් සුනිල් සාන්ත ගැන මුකුත් ලියමුද?'

'බොතේජු මහත්තයා, සුනිල් සාන්ත ගැන කාලෙකින් සරසවියට ලියලා නැහැ. එයා හිතුවක්කාර,කාටවත් බය නැති, නැවෙන්නෙ නැති මිනිහෙක්' මම කීවෙමි.

'මමත් අහල තියෙන්නේ එහෙම. ගුවන් විදුලියේ පැත්තක නොගිහින් ජාඇල පොලේ කරවල විකුණලා තියෙනවා. සුනිල්ට ඉන්න තැනක් නැහැලු. පින් සිද්ධ වෙනවා පුතේ අපි හොඳ ලිපියක් ලියමු' බොතේජු මහතා කීවේය.

මගේ කැමරා සගයා බන්දු සෙවීමට ඩාක් රූම් එකට ගිය අතර කර්තෘතුමා ජාඇලට යාම වාහනයක් ලබා ගැනීමට ට්‍රාන්ස්පෝට් මැනේජර් රවි වීරක්කොඩිට කතා කළේය. බන්දු වෙනත් වැඩකට ගොසිනි. සිළුමිණ ඡායාරූප ශිල්පී රාජා පෙරේරා ඒ වෙනුවට ආදේශ කළේ ඡයාරූප කර්තෘ බොනී ප්‍රනාන්දුය.

ජාඇලට යාමට හොඳ වාහනයක් නොතිබුණ අතර පත්‍ර බෙදාහරින කේම්බ්‍රිජ් රථයක පිහිට අපට ලැබිණ. රාජාත්, මාත් අමාරුවෙන් රියදුරු අසුනේ හිඳ ගත්තෙමු.

'ජාඇලට යන කොට හොඳ පණ ගිහිල්ලා තියෙයි' රියදුරු ඩිංගිරි අප්පුහාමි මැසිවිලි නැඟීය.

අපි සුනිල් සාන්තයන් සොයා ජාඇල දෙහියාගත දේවස්ථානය අසල පාරකින් හැරී පුංචි නිවසට ගියෙමු. සුනිලුන් සිටි ඒ කුටිය කුකුළු කොටුවකට සමානය. ඔහු මේසයක් උඩ රේඩියෝවක් තබාගෙන එය අලුත්වැඩියා කරමින් සිටියේය.

'මේ ගෙදර ඉඳගන්න පුටු නැහැ. ඔය බූරු ඇඳෙන් ඉඳගන්න. මේ රේඩියී එක ගෙනියන්න අයිති කාරයා දැන් එනවා. මට තව විනාඩි 10 ක් දෙන්න' ඔහු ගැඹුරු හඬින් කීවේය.

ඔහු රේඩියෝව රෙපයාර් කරමින්ම අප සමඟ කතා කරයි. හරියට කාලෙක ඉඳලා දන්නා කෙනෙකු සේය.

'ඔය අපි නිදා ගන්න හැටි තමයි. මමයි පුතාලයි නිදා ගන්නේ ඔතන. අර පුංචි කාමරේ නෝනයි දුවයි නිදා ගන්නේ. මගේ පුතාලා පාඩම් කරන්නෙත් ඔතන.

'

පින්තූරයක් ගත්තට කමක් නැද්ද? සුනිල් මහත්තයා' රාජා පෙරේරා විදුලි බුබුළක් ප්ලෑෂ් එකට හයි කර ගන්නා ගමන් ඇසීය.

'කමක් නැහැ. මගේ පුංචි මාලිගාව රටට පෙනෙන්නට එපායැ' ඔහු සිනාසුණේය.

'ඔබ ගැන අහලා තියෙන විදිහට ඔබ හිතුවක්කාරයෙක්. මුරණ්ඩු කෙනෙක්. තම මතයේම එල්බගෙන සිටින්නෙක්. ඒක නිසානේ ගුවන් විදුලියේ පැත්ත පළාතකට නොගිහින් පොලේ කරවල වික්කේ.'

'ඒ කාලේ මම නොසෑහෙන්න දුක් වින්ඳා. මුදල් අතින් අන්තිමටම ගරා වැටිලා හිටිය කාලේ පුවත්පත් අරමුදලකින් තමයි යාන්තම් නැඟී හිටියේ. ඒකට උදව් කළේ ඩී. බී. ධනපාල මහත්තයා. මම පොලේ කරවල වික්කා. රෙදි වෙළදාම් කළා. වඩු වැඩ, පින්තූර වැඩ, රේඩියෝ, පැට්‍රෝමැක්ස් ලාම්පු, ලයිටර්, භූමිතෙල් උඳුන්, බයිසිකල් රෙපයාර් කළා. ඉන් පස්සේ කාර් වැඩට බැස්සා. අර එළියේ තියෙන බග් ෆියට් කාර් එක මම අර ගත්තේ රුපියල් 1750 කට. මේකේ බාස් මම. මේ කාර් එකේ හැම ඇණයක් මුරිච්චියක් ගැනම මම දන්නවා. ඇත්තටම මට කියලා ඉඩමක් ගෙයක් දොරක් නැහැ. ඉතුරු කර ගත්ත මුදලක් නෑ. මේ ටකරං ගහපු පරණ කුකුළු කොටුව නවාතැනට ලැබුණේ'.

'මගේ නෝනා මේ ළඟ ඉස්කෝලෙක උගන්වනවා. මගේ පුතාල තුන් දෙනාම පේරාදෙණියේ විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු විද්‍යාව ඉගෙන ගන්නවා. ඔහු කතාව නිම කළේ රේඩියෝව අලුත්වැඩියා කොට එය පසෙක තබා කබල් පුටුවට බර දෙමිනිි.

පාසල ඇරී පැමිණි සුනිලුන්ගේ බිරිඳ ලීලාවන් අපට තේ සාදා අග්ගල ගෙඩි කිහියක් සමඟ අපට පිළිගැන් වූවාය.

'මම පුතාලට කැම්පස් ගෙනි යන්න අග්ගලා හැදුවා' ඇය කීවාය

පසුදා උදේ මම සුනිලුන් ගැන ලියූ විශේෂාංග ලිපිය බොතේජු මහතා අතට පත් කළෙමි. ලිපිය කිය වූ ඔහු 'සුනිල් සාන්තට උන් හිටි තැන් නැතිවේද?' ශීර්ෂ පාඨය දැමුවේය.