වර්ෂ 2016 ක්වූ ජූලි 28 වැනිදා බ්‍රහස්පතින්දා




වින්දනීය සිනමා සටහනක්

වින්දනීය සිනමා සටහනක්

සියලුම සම්මාන එකවර දිනාගත් Milos Forman

one flew over the cuckoo's nest

මීලෝෂ් ෆෝර්මන් (උපත - යාන් තෝමස් ෆෝර්මන්)
චෙක් ජනරජය
පෙබරවාරි 18, 1932
විශිෂ්ට චිත්‍රපට - වන් ෆ්ලූ ඕවර් ද කුකුස් නෙස්ට්, ඇමඩියුස්
(One Flew Over the Cuckoo's Nest Amadeus)

චෙකොස්ලොවාකියාවේ උපත ලද මීලෝෂ් ෆෝර්මන් නම් සිනමාවේදියා තම සිනමා දිවිය පුරාවටම යුරෝපීය සිනමාවට ආවේණික සෞන්දර්යාත්මක ප්‍රමිතීන් සමඟ ඇමරිකානු තේමාවලට ඔහු දැක් වූ අනන්‍ය සංවේදිතාව සංකලනය කරමින් තම නිර්මාණ පෝෂණය කිරීමට සමත් වූවා. අඛණ්ඩ කලාත්මක ජවයක් පිළිබිඹු කරන එමෙන්ම වඩා පුළුල් ජනප්‍රිය ආකර්ෂණය ද දිනාගත් නිර්මාණ පෙළකට හිමිකම් කියන ලොව සිනමාකරුවන් අතලොස්ස අතරට ෆෝර්මන් අවිවාදයෙන් ඇතුළත් වෙනවා.

නාසි බලයට යටත් වූ චෙකොස්ලොවාකියාවේ බාල විය ද, කොමියුන්ස්ට් පාලන සමයක මුල් කාලය ගැටවර විය ද ගත කළ ෆෝර්මන් දුෂ්කරතාවලට මුහුණ දෙන සැටි ඉගෙන ගත් අතර ඒ අත්දැකීම් තම සිනමා නිර්මාණවල ප්‍රස්තූතය (විශේෂයෙන් තම ජීවිතය පාලනය කරන්නට උත්සාහ කරන්නන්ට එරෙහි වන පිටස්තරයෙකු) හැටියට යොදාගන්නට ඔහු පසු කාලයේ සමත් වුණා.

ෆෝර්මන් උපත ලැබුවේ චෙකොස්ලොවාකියාවේ (අද චෙක් ජනරජය) කැස්ලොවි නම් ප්‍රදේශයෙයි. ඔහුගේ මව ඇනා ස්වැබෝවා ගිම්හාන අවන්හලක් පවත්වාගෙන ගිය අතර පියා රූඩෝල්ෆ් ෆෝර්මන් ගුරුවරයකු වුණා. ඔවුන් දෙදෙනාම දෙවන ලෝක යුද්ධ සමයේදී නාසි වද කඳවුර තුළදී මිය ගියා. යුද්ධය අවසාන වන විට 13 හැවිරිදි අනාථ දරුවෙකු වූ ෆෝර්මන් ඔහු ඉගෙන ගත් පාසලෙන් දොට්ට දැම්මේ දේශපාලන පක්ෂ නියෝජිතයෙකුගේ පුතෙකුට කොලොප්පමක් කළ නිසයි. ඔහුගේ නමට ඇතිවුණ මේ කැලල නිසා ෆෝර්මන්ට විශ්වවිද්‍යාලයකට ඇතුල්වීමට අපහසු වුණා. ඔහුව බාරගත් එකම සරසවිය වූයේ ප්‍රාග් ෆිල්ම් ඇකඩමියයි. 1950 දශකයේ මුල් භාගයේ ෆෝර්මන් ඒ වන විට අලුතෙන්ම ආරම්භ කර තිබූ ප්‍රාග් විශ්වවිද්‍යාලීය චිත්‍රපට ආයතනයට බැඳුණා. එහිදී ඔහුට චෙක් සිනමාවේ ස්වර්ණමය යුගයට දායක වූ ප්‍රධාන ශිල්පීන් රැසක් ඇසුරු කිරීමට ලැබුණා. ෆෝර්මන් ඔහුටම ආවේණික වූ දෘශ්‍ය ශෛල්‍යය ප්‍රගුණ කිරීමට මුලින්ම පෙලඹුණේ ඔහු එම ආයතනය තුළ ගත කළ මේ කාලයේයි. 1955 දී උපාධිය ලබා ගැනීමෙන් පසු ෆෝර්මන් කෙටි චිත්‍රපට කිහිපයක් නිර්මාණය කළා. තම ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය ඔහු නිෂ්පාදනය කළේ 1963 දී. බ්ලැක් පීටර් නම් වූ එම චිත්‍රපටය චෙකොස්ලොවාකියාවේ පුංචි නගරයක ජිවත් වුණු ගැටවරයකු ගැන කියවුණු සත්‍ය කතාවක් මත ගොඩ නැඟුණා. මෙම පළමු චිත්‍රපටයෙන්ම ඔහුට අන්තර් ජාතික පිළිගැනීමක් ලැබුණා. 1965 තිරගත වූ ලවිස් ඔෆ් අ බ්ලොන්ඩ් චිත්‍රපටයත් සමඟ ඔහුගේ නමට පැසසුම් රාශියක් නොයෙක් දෙසින් ගලා ආවා. මෙතරම් පිළිගැනීමක් ඔහුට තිබෙද්දීත් ෆෝර්මන් ගේ මීළඟ චිත්‍රපටය ෆයර්මන්ස් බෝල් (1967) චෙක් බලධාරින් විසින් තහනම් කළා. එයට හේතුව වූයේ ඔහු තම රටේ ගිනි නිවන හමුදාවේ නිලධාරිවාදය තම චිත්‍රපටය තුළින් හාස්‍යයට ලක් කළ බැවිනි. මෙසේ අවුරුදු ගාණක් ආධුනික ශිල්පියෙකු ලෙස කටයුතු කළ ෆෝර්මන් 1960 දශකය තුළ අන්තර් ජාතික කීර්තියට පත් අතලොස්සක් වූ චෙක් සිනමාකරුවන් අතරට තමාගේ නම ද එක් කර ගැනීමට සමත් වුණා.

1968 අගෝස්තුවේ සෝවියට් යුද්ධ ටැංකි ප්‍රාග් නුවරට ගිගුම් ෙමින් ඇතුළු වන විට ෆෝර්මන් හිටියේ පැරිසියේය. ඔහු තමාගේ ප්‍රථම ඇමරිකානු චිත්‍රපටය වූ ටේකින් ඕෆ් (1971) චිත්‍රපටය නිෂ්පාදනය සඳහා සැලසුම් කරමින් පැරිස් නුවර සිටියා. ෆෝර්මන් නීති විරෝධී ලෙස චෙකොස්ලොවාකියාවෙන් පිටත සිටියා යැයි සඳහන් කරමින් ඔහුගේ චෙක් චිත්‍රාගාරය ෆෝර්මන්ව අස් කළා. ඒ හේතුවෙන් ඔහුට නිව්යෝක් නුවරට සංක්‍රමණය වන්නට සිදු වුණා.

නිව්යෝක් නුවරට ගිය ෆෝර්මන් ටික කලකට පසු කොලම්බියා විශ්වවිද්‍යාලයේ චිත්‍රපට පිළිබඳ ඉගැන්වීමට පටන් ගත්තා. ඔහුගේ ටේකින් ඕෆ් චිත්‍රපටය 60 දශකයේ අග භාගයේ තරුණ විරෝධතා ව්‍යාපාර ගැන සමාලෝචනයක යෙදුණු නිර්මාණයක් වුවත් වාණිජ වශයෙන් අසාර්ථක වුණේ හොඳ විචාරක ප්‍රතිචාර මධ්‍යයේයි. නමුත් නිෂ්පාදක සෝල් සේන්ට්ස් සමඟ එක්වීමත්, ඔවුන්ගේ සුසංයෝගයේ ප්‍රතිඵලයක් ලෙස වන් ෆ්ලූ ඕවර් ද කුකුස් නෙස්ට් චිත්‍රපටය බිහිවීමත් සමඟම ඔහුට ඇමරිකාව තුළ තිබුණු පිළිගැනීම ස්ථාපිත වුණා.

මුලදී මුලදී යම් යම් අමාරුකම් තිබුණත් ෆෝර්මන් තමන්ගේ නව මව්බිමේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට පටන් ගත්තා. ඔහුට සාර්ථකත්වයක් ගෙන දෙමින් කෙන් කේසිගේ නවකතාවක අනුවර්තනයක් වූ ජැක් නිකල්සන් ප්‍රධාන චරිතය රඟපෑ වන් ෆ්ලූ ඕවර් ද කුකුස් නෙස්ට් ඔස්කාර් සම්මාන 5 ක් දිනා ගත්තේ හොඳම අධ්‍යක්ෂණය ද ඇතුළුවයි. මෙම ප්‍රබල චිත්‍රපටය ඇමරිකානු මානසික රෝහලක ඇතුල් ජීවිතය පිළබඳව ගොඩ නැඟුණු අතර එය ඇමරිකානු චිත්‍රපට ඉතිහාසයේ විශිෂ්ටතම කෘතිවලින් එකක් හැටියට පිළිගැනුණා. ඔස්කාර් ඉතිහාසයේ ප්‍රධාන සම්මාන 5 ම (හොඳම චිත්‍රපටය, අධ්‍යක්ෂණය, නළුවා, නිළිය, තිර නාටකය) දිනා ගැනීමට සමත් වූ චිත්‍රපට 3 අතරට එක්වීමට එයට පුළුවන් වුණා. එම ගෞරවය දිනා ගත් අනෙක් චිත්‍රපට දෙක නම් ඉට් හැපන්ඩ් වන් නයිට් (1934) සහ සයිලන්ස් ඔෆ් ද ලැමිබිස් (1991) යි. කුකුස් නෙස්ට් ඉමහත් විචාරක සම්මානයට පාත්‍ර වූ අතර මෙතෙක් ලෝකයේ බිහි වූ හොඳම සිනමා නිර්මාණ අතරේ මුල් තැනක් හිමි කර ගැනීමට සමත් වූවා.

ඔහු ලැබූ සාර්ථකත්වය දිගටම පවත්වාගෙන යාමට ෆෝර්මන් සමත් වූයේ 1979 දී තිරගත වූ හෙයාර් සහ ඊට අවුරුදු දෙකකට පසු නිපැයූ රැග්ටයිම් යන චිත්‍රපට යුගලය සමඟය. මේ චිත්‍රපට දෙකෙහිම වඩාත්ම සුවිශේෂී ලක්ෂණය වන්නේ ඒවා ඉතාමත්ම ඇමරිකානු තේමාවක් ගත් නිර්මාණ වීමයි. ඇමරිකානු ඉතිහාසයේ වැදගත් සංධිස්ථාන සනිටුහන් කරමින් නිමැවුණු මෙම චිත්‍රපට දෙකම අපට ඒ ඒ කාල වකවානු තුළ සිදු වූ සිදුවීම් තේරුම් ගැනීමට මහෝපකාරී වූවා.

1984 දී ෆෝර්මන් ඇමඩියුස් අධ්‍යක්ෂණය කළා. එහි වැඩි හරියක්ම රූපගත කිරීම් කෙරුණේ චෙකොස්ලොවාකියාවෙයි. අති විශිෂ්ට සංගීතඥයෙක් වූ මෝසාර්ට් හා ඔහුගේ ප්‍රතිවාදී ඇන්ටෝනියෝ සැලියේරි ගේ කතාව එම චිත්‍රපටයට පාදක වුණා. ප්‍රධාන චරිත රඟපෑවේ එෆ්. මරේ ඒබ්‍රහම් (සැලියේරි) සහ ටොම් හල්ස් (මොසාර්ට්). ඇමඩියුස් ඔස්කාර් සම්මාන 8 ක් දිනා ගත්තේ ෆෝර්මන්ට දෙවෙනි හොඳම අධ්‍යක්ෂ සම්මානයද ලබා දෙමින්. සෙසු චිත්‍රපටයත් අන්තර් ජාතික වශයෙන් මහත් පිළිගැනීමට ලක් වූයේ එයත් ඔහුගේ කුකුස් නෙස්ට් සමඟ ලොව හොඳම චිත්‍රපට 100 අතරට ඇතුළත් වෙමිනුයි.

989 ෆෝර්මන් වැල්මොන්ට් නිර්මාණය කළේ කොඩෙරලොස් ඩි ලාක්ලොස් ගේ නවකතාවක් වූ ඩේන්ජරස් ලියැසන්ස් හි අනුවර්තනයක් ලෙසයි. මේ නවකතාව ඇසුරෙන් එම කාල වකවානුවේම තවත් චිත්‍රපටයක් තිරගත වූ නමුත් ෆෝර්මන්ගේ චිත්‍රපටයට සැලකිය යුතු විචාරක ප්‍රශංසා ලැබුණා.

1996 දී ඔහු පීපල් වර්සස් ලැරි ෆ්ලින්ට් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කාම සඟරා රජෙකු වූ ලැරි ෆ්ලිමන්ට්ගේ ජීවිත කතාව ඇසුරෙනි. වුඩ් හැරල්සන් ප්‍රධාන චරිතය රඟපෑ මෙම චිත්‍රපටය සඳහා හොඳම අධ්‍යක්ෂ ඔස්කාර් සම්මානයට ෆෝර්මන් නිර්දේශ වූ අතර එයටත් හොඳ විචාරක ප්‍රතිචාර ලැබුණා.

1999 දී ෆෝර්මන් නිපැද වූ ජිම් කේරි ප්‍රධාන චරිතය රගපෑ ද මෑන් ඔන් ද මුන් චිත්‍රපටයට පාදක වුණේ විකට ශිල්පී ඇන්ඩි කොෆ්මන්ගේ ජීවන චරිතයයි. විචාරක ප්‍රතිචාර මේ චිත්‍රපටය සඳහා නම් එතරම් උණුසුම් වූයේ නැහැ.

ෆෝර්මන්ගේ චිත්‍රපට බොහෝමයක් කේන්ද්‍රගත වූයේ පිටස්තරයන්, වෙනස, අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස සහ පෞද්ගලික නිදහස මුහුණ දෙන ගැටලු මතයි.

ෆෝර්මන්ගේ මුල්කාලීන චිත්‍රපට අදටත් චෙක් ජනතාව අතර ප්‍රසිද්ධය. එම චිත්‍රපටවල සිදුවීම් සහ යෙදුම් අද වන විට සමාන්‍ය භාවිතයට එක් වී තිබෙනවා. උදාහරණයකට මැස්නවුට් (ලයිට් නිවන්න) යන යෙදුම ෆයර්මන්ස් බෝල් චිත්‍රපටයෙන් ආ එකක්. චිත්‍රපටය තුළ නිරූපණය කළ පොඩි පොඩි හොරකම්වලට යෙදුණු ඒ යෙදුම අනූව දශකයේ චෙක් ජන රජයේ සිදුවුණු ලාභ ලැබීම පිණිස පිරිහෙන ව්‍යාපාර මිලට ගෙන වත්කම් විකිණීමේ ක්‍රියාවලියටත් භාවිත කරන්නට පටන් ගත්තා.

ඔහුගේ මෑතකාලීන චිත්‍රපටවලින් දෙකකම ෆෝර්මන් අවධානය යොමු කළේ විසි වෙනි ශත වර්ෂයේ ඇමරිකානු සමාජයේ වඩාත් ආන්දෝලනාත්මක සහ අසම්මත චරිත දෙකක් වෙතයි. පීපල් වර්සස් ලැරි ෆ්ලින්ට් සහ මෑන් ඔන් ද මූන් සමඟ ෆෝර්මන් නැවතත් මහජන පරිකල්පනයේ මධ්‍යයට ආගමනය කළා. ඔහුගේ මුල්කාලීන චෙක් චිත්‍රපටවල සිට මෑත කාලයේ මෑන් ඔන් ද මූන් දක්වාම ඔහු නොවෙනස්ව පවත්වාගෙන ආ යථාරූපී එමෙන්ම පරිවර්තිත අදියුර ශෛල්‍යය අදටත් ලොව වටා ප්‍රේක්ෂකයින්ට වාගේම සිනමාකරුවන් තුළත් එකසේ උනන්දුවක් ඇතිකරවීමට හැකි මූලාශ්‍රයක් බවට පත් වී තිබෙනවා.

මීලෝෂ් ෆෝර්මන් ගේ තවත් සුවිශේෂිතාවක් වන්නේ ඔහු ලොව මෙතෙක් ගෝල්ඩන් ග්ලෝබ්, ඩිරෙක්ටර්ස් ගිල්ඩ්, බාෆ්ටා සහ ඔස්කාර් සම්මාන සියල්ලම එක චිත්‍රපටයක් සඳහා දිනාගත් අධ්‍යක්ෂවරුන් හත් දෙනා අතරට ඇතුළත්වීමයි. ඔහුට එම ගෞරවය හිමි කර දුන්නේ වන් ෆ්ලු ඕවර් ද කුකුස් නෙස්ට් චිත්‍රපටයයි. අනෙකුත් සය දෙනා නම් මයික් නිකල්ස් (ග්‍රැජුවේට් 1967), රිචඩ් ඇටෙන්බරෝ (ගාන්ධි 1982), ඔලිවර් ස්ටෝන් (ප්ලැටූන් 1986), ස්ටීවන් ස්පිල්බර්ග් (ෂින්ඩ්ලර්ස් ලිස්ට් 1993), ඇන්ග් ලී (බ්‍රෝක්බැක් මවුන්ටන් 2005) සහ ඩැනි බොයිල් (ස්ලම්ඩෝග් මිලියනයර් 2008) යන අයයි.

ෆෝර්මන් 1977 දී ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකු බවට පත් වුණා.

Personal Quote
මට ඩොලර් ලක්ෂයක් දෙන්න මං ලක්ෂයකට චිත්‍රපටය හදන්නම්, මට ඩොලර් මිලියන 10 ක් දෙන්න මං මිලියන 10 කට චිත්‍රපටය හදන්නම්, මට ඩොලර් මිලියන 100 ක් දෙන්න, මං ඒක වියදම් කරන්නම්.