|
||||||||||
එදා රසික රසිකාවන් මගේ කමිසයේ බොත්තම් ගලවා ගත්තාබොනිෆස් ප්‍රනාන්දු
සිරිමලී, සුවිනීත ලාලනී, සුහද දිවි පිදුම, සුදු සඳේ කළු වලා, සමාජේ අපි ඔක්කොම සමානයි, සුලලිත සෝබනී, සුදෝ සුදු, කලියුගය ආදී චිත්‍රපට රැසකින් පනහ දශකයේ අග භාගයේ පටන් හැටේ දශකයේ අග භාගය තෙක් ප්‍රේක්ෂක හද බැඳ ගත් ඔහු බොනිෆස් ප්‍රනාන්දුය. රිදී තිරයේ කඩවසම් නළුවකු ලෙසින් පෙම් කරමින් හා සටන්කාමී වීරයකු ලෙසින් රංගනයෙන් අප අතරට ආ බොනිෆස් ප්‍රනාන්දුගේ අලුත්ම තොරතුරු සොයා අපි පිය මැන්නේ ඔහු දැන් පදිංචිව සිටින 77/20, පහල මඩම්පැල්ල, අකරගම ලිපිනය සොයාගෙනයි. කලින් දන්වා තිබූ පරිද්දෙන් අපගේ පැමිණීම බලාපොරොත්තුව නිවසේ දොරකඩට වී රෝද පුටුවේ අසුන්ගෙන සිටි බොනිෆස් අපව පිළිගත්තේ දෙඅත් ඔසවා ආයුබෝවන් කියා පිළිගනිමිනි. එදා ප්‍රේක්ෂක හද බැඳ ගත් ආදරණීය පෙම්වතා, සටන්කාමී වීරයා මා අභියසය. * අපේ ආදරණීය තිරයේ පෙම්වතා, වීරයා කොහොමද ඉතිං මේ දවස්වල කල දවස ගෙවන්නේ?
රෝද පුටුවෙයි ඇඳෙයි තමයි. * රෝද පුටුවට සීමා වුණේ ගොඩක් කල් ඉඳලද? 2013 නොවැම්බර් 27 වැනිදා තමයි මගේ වම් කකුල දණහිස්සට උඩින් කපල අයින් කළේ. එදා පටන් මම රෝද පුටුවටත් ඇඳටත් සීමා වෙලා. * කකුල නොකපා බේරගන්න ක්‍රමයක් තිබුණෙම නැද්ද? කොළඹ මහ රෝහලේදී තමයි මගේ කකුල අයින් කළේ. කකුල ඇතුළෙන් නරක් වෙලයි තිබුණේ. ඒ වෙන කොටත් තුවාලය ගොඩක් උඩට ඔඩු දුවලා තිබුණ නිසා එයින් මගේ ජීවිතයට වෙන්න තිබුණ තර්ජනය අඩු කර ගන්න ප්‍රතිකාර කළා. අරුණ බාලගල දොස්තර මහතා තීරණය කළා කකුල දණහිස්සට උඩින් අයින් කරන්න. * කකුල කපන්න තරම් වූ ඇබැද්දිය මොකක්ද? 1961 දී සුලලිත සෝබනී චිත්‍රපටයේ රඟපාන්න ගිහින් වෙච්ච අනතුරක් තමයි ඒකට පහුකාලීනව හේතු වුණේ. මේ චිත්‍රපටයේ තිබුණා මමයි ලීනා ද සිල්වායි පෙනී සිටින ජවනිකාවක්. රූපගත කිරීම් සිද්ධ කළේ සිලෝන් ස්ටුඩියෝ එකේ. මට තිබුණා අඩි විස්සක විතර උඩක ඉඳලා බිමට පනින්න. මේ දර්ශනය මම තාත්විකව කරන්න ගිහිල්ලා ලිස්සලා වැටුණා. ඒ වැටීමේදී මගේ කකුලේ නහර අධික ලෙස තැලීම නිසා කකුලට ලේ ගමන් කිරීම ටිකෙන් ටික අඩු වුණා. කොතරම් ප්‍රතිකාර කළත් කාලයකට පස්සේ ඒ වැටීමේ අනිසි විපාක මතු වෙන්න පටන් ගත්තා. කකුල ඇතුළෙන් නරක් වෙලා තුවාලයක් හැදුණා. ඒක සුව නොවී ඇතුළෙන් සැරව ගලන්න පටන් ගත්තා. ඒ සමඟම කකුල ක්‍රමයෙන් නරක් වෙන්න පටන් ගත්තා. අන්තිමට වෛද්‍යවරු තීරණය කළා දනහිසට උඩින් කපා දමන්න. ඔන්න ඕකයි කකුල කපන්න හේතු වුණු සිද්ධිය. * දැන් ඔබේ ජීවිතය ගෙවිලා යන්නේ? මේ ගෙදරම තමයි. මගේ පුතාලා හතර දෙනාම සනෝජ් ඉන්දික, සුරේෂ් දිනේද්‍ර, ශම්මි අනුරුද්ද, සුනෙත් රදිත දැන් විවාහ වෙලා. දුව සුවේන්ද්‍රා දුෂ්මානි තවම අවිවාහකයි. ඇය තමයි මගේ හැම දෙයක්ම දැන් ඉෂ්ට කරන්නේ. මගේ ආදරණිය බිරිය නිමාලිට වුණත් මගේ හැම දෙයක්ම තනියෙන් කරන්න අපහසුයි. * චිත්‍රපට කීයක් විතර මේ වෙන කොට රඟපාලා ඇද්ද? මම මුලින්ම සිනමාවට ආවේ සිරිමලී චිත්‍රපටයේ රඟපාමින්. ඒ 1959 දී. මට මතක හැටියට මම අන්තිමට රඟපෑවේ 1996 දී විජයග්‍රහණය චිත්‍රපටයේ. මම හිතන හැටියට චිත්‍රපට දහ අටක විතර රඟපාලා ඇති. * සිරිමලී චිත්‍රපටයේ නළුවෙක් වීමේ අතීතය තවමත් මතකද? මම පාසලෙන් අස් වෙලා ඉන්න කාලේ ගීත රචක බෙනඩික් ප්‍රනාන්දු මාව එක්කගෙන ගියා රම්‍යලතා චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාන්න. ඊට පස්සේ මම මීරිගම ‘මිහිර’ සිනමා ශාලවේ මැනේජර් විදියට රස්සාව කළා. කොහොම හරි එක දවසක් මම ගියා ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ පිටපතක් ගේන්න සිනමාස් සමාගමට. එතනදි මට හමු වුණා සිනමාස් සමාගමේ ප්‍රොඩක්ෂන් මැනේජර් චාල්ස් පෙරේරා. චිත්‍රපටයක රඟපාන්න කැමති නැද්ද කියලා අහලා මාව හඳුන්වලා දුන්නා රොබින් තම්පෝට. ඒ හඳුන්වා දීම තමයි සිරිමලී චිත්‍රපටයට සම්බන්ධ වූ සිද්ධිය. * ඔබ ප්‍රධාන චරිතය රඟපෑ සිරිමලී චිත්‍රපටය රූපගත කළේ ඉන්දියාවේ? රූපගත කිරීම් කළේ දකුණු ඉන්දියාවේ ගෝල්ඩන් හා වාහිනී චිත්රාගාරවල. චිත්‍රපටයේ මගේ චරිතය රාජා. මම පෙම්වතා. මගේ පෙම්වතිය වුණේ සුජාතා විජේසේකර. * රොබින් තම්පෝ අධ්යක්ෂවරයෙක් කළේ ඔබ කියලා මට හිතෙනවා? ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ. සිරිමලී චිත්‍රපටය රොබින් තම්පෝගේ ප්‍රථම නිෂ්පාදනය වගේම ප්‍රථම අධ්‍යක්ෂණයත්. ඒ වගේම තමයි මම ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රථම චිත්‍රපටයත්, මගේ ප්‍රථම සහය අධ්‍යක්ෂණයත්. ඉතිං මේ සිරිමලී අපි දෙන්නට තකට තක. * චිත්‍රපට නිෂ්පාදකයෙක් වූ රොබින් තම්පෝව ඔබ ඉන්දියාවේදී අධ්යක්ෂවරයෙක් කළා? සිරිමලී චිත්‍රපටයේ මුලින්ම අධ්‍යක්ෂණය භාර වෙලා තිබුණේ සාමි මාස්ටර්ට (ඒ. එස්. ඒ. සාමි). මුලින්ම ෂූට් කළේ ආකාසෙ ආවාසෙ සූර්යා නැඟී ගිතයට අනුව කළ රඟපෑමක්. රඟපෑවේ මමත් සුජාතා විජේසේකරත්. ගීතයේ මුල් පදයට අනුව අහස දිහා බලාගෙන රඟපාන්න කිව්වා. ඒක ගැළපෙන්නේ නැහැ. මම කිව්වා පෙම්වතියගේ මුහුණ දිහා බලාගෙන රගපාන්නම් කියලා. ඒකට සාමි මාස්ටර්ට කේන්ති ගියා. රොබින් තම්පෝට මේ බව කිව්වා. අන්තිමට රොබින් තම්පෝ බොනිෆස් හරි කිව්වා. ඊට පස්සේ සාමි මාස්ටර් අධ්‍යක්ෂණයෙන් ඉවත් කරලා තම්පෝ අධ්‍යක්ෂණය භාර ගත්තා. * ඔබ රොබින් තම්පෝගේ චිත්‍රපටවලට කොටු වී සිටියා කියලා මට හැඟෙනවා? මට සිනමාවට එන්න උදව් කළේ ඔහු. ඒ කෙලෙහි ගුණ මම ළඟ තිබුණා. * ඔබ ස්ථිර පඩියක් වෙනුවෙන් රඟපෑ නළුවෙක්? ශ්‍රී මුරුගන්, නවකලා, සිනමාස් වගේ ප්‍රබල චිත්‍රපට සමාගම් අනුගමනය කළ ක්‍රියා කලාපයට අනුගත වෙමින් ආර්. ටී. චිත්‍රපට සමාගමත් ස්ථිර නළු නිළියන් කිහිප දෙනෙක් බඳවාගෙන හිටියා. ඒ අතරින් එක් කෙනෙක් මම. ඒ කාලේ මගේ මාසික වැටුප රුපියල් තුන්සියයක්. * රඟපෑ චිත්‍රපට අතරින් අදත් ඔබට විශේෂ චිත්‍රපට මොනවාද? සුවිනීත ලාලනී, සුහද දිවි පිදුම. * එවක ප්‍රෙක්ෂකයෝ ඔබේ රංගනයට වශී වෙලා කඳුළු ගංගාවල් දෝරේ ගැලුවාලු නේද? මට මතකයි සුදු සඳේ කළුවලා චිත්‍රපටය නරඹන විට කඳුළු සලන ප්‍රේක්ෂකයන්ගේ ප්‍රයෝජනයට ලේන්සු වෙලෙන්දෙක් සිනමා ශාලාවට යොදවන්නත් සිද්ධ වුණා. ඒ දවස්වල මා පැතූ දේ කෝ පාළු වී ලෝකයේ මං මුලා වෙන්නේ ගීතය ජෝතිපාලයන්ගේ හඬින් ගායනා කරන කොට මිනිස්සු රේඩියෝව බදාගෙන ඇඬුවා. * අද ඔබ සිනමාවෙන් රංගනයෙන් ඈත් වෙලා නිසාම ක්ෂේත්රයේ අය ඔබව අමතක කරලාද? එහෙම කියලමත් නෑ. මගේ හිතවතුන් අදත් මට කතා කරනවා. මමත් දන්න අයට උපන් දිනයට සුබ පතනවා. එයාලත් මට කතා කරනවා. ක්ලැරිස් ද සිල්වා, සුවිනීතා වීරසිංහ මට නිතර දුක සැප අහලා කතා කරනවා. ළඟදී දවසක සුවිනීතා මාව බලන්නත් ගෙදර ආවා. * එදා ඔබට ආදරය කළ රසිකයොත් අද ඔබට නැතුව ඇති? නෑ එහෙම වෙලා නෑ. එදා වගේම අදත් මට රසිකයෝ ලියුම් එවනවා. මට කතා කරනවා. සමහරු මාව බලන්න ගෙදරත් එනවා. මම රඟපැ චිත්‍රපටයක් රූපවාහිනියේ යනවා නම් කතා කරලා කියනවා සමහරු. මම රඟපෑ චිත්‍රපටවල ඩී. වී. ඩී. මට එවනවා. මේ ඒකාකාරී ජීවිතය තුළ මම ඒවා නරඹලා සතුටක් ලබනවා. රසිකයෝ නිතර කතා කරන කොට පුදුම සතුටක් දැනෙන්නේ. සමහර රසිකයෝ ඉන්නවා තෑගි භෝග අරගෙන මාව බලන්න එන අය. ඒ අතරින් මීරිගම චන්ද්‍රා, අම්පාරේ පියදාස, මඩම්පැල්ලේ මාෂල්, ෂනී, පාදුක්කේ ජයතිස්ස වගේ ගොඩක් රසිකයෝ නිතර එනව යනවා. අද මම ක්ෂේත්රයේ දකින්න නැති වුණත් මෙයාල මට දක්වන ආදරයේ කිසිම අඩුවක් නෑ. * එදා ඔබේ මුවට අමුතුම ආකර්ෂණයක් එක් කළ සිහින් දැලි රැවුල අදත් ඒ අතීතය සිහිපත් කරනවා? අද මට වයස අවුරුදු 83 ක්. එදා මට ආදරය කළ රසිකයෝ මගේ රැවුලටත් ආදරය කළා. මගේ රැවුල සමහරු අනුකරණය කළා. මම වගේ වෙන්න උත්සාහ කළ අයත් හිටියා. මට ආලය කරල මගෙන් ආදරය ඉල්ලලා ගෑනු ළමයින්ගෙන් ලියුම් අප්‍රමාණ මට ලැබුණා. විවාහ යෝජනා ආවා මට අද වගේ මතකයි. පාදුක්ක පැත්තේ හෝල් එකකට ගියා චිත්‍රපටයේ ප්‍රොමෝෂන් එකකට. එතනදි මාව වට කර ගත්ත රසිකයෝ රසිකාවියෝ මගේ ෂර්ට් එකේ බොත්තම් ටික ගලව ගත්තා. * ඒ වකවානුවේ ඔබ වගේම ඔබ රඟපෑ චිත්‍රපටත් විචාරකයන් අතර දැඩි විවේචනයට ලක් වුණා? ජයවිලාල් විලේගොඩ තදින් පහර ගහලා මම රඟපෑ චිත්‍රපට විවේචනය කළා. ඒකට ප්‍රධාන හේතුවක් වුණේ ඔහු දකුණු ඉන්දීය ආභාසය අපේ සිනමාව ආක්‍රමණය කර තිබීමට දැඩිව පහර ගහපු නිසා. මට මතකයි ඔහු මගේ උඩු රැවුල පවා විවේචනයට ලක් කළා. සුදෝ සුදු චිත්‍රපටයේ මම රඟපෑ ටිකිරි චරිතයට ඔහු මට යෝජනා කළේ අදිරි චරිතය ලැබිය යුතුයි කියලා. සුවිනීත ලාලනී චිත්‍රපටයේ විවේචනයට ඔහු උළුඳු වඩේ තෝසේ කියලා ලියලා තිබුණා විචාරයකට. තම්පෝට හොඳටම කේන්ති ගිහින් විලේගොඩට ගහන්නත් ගියා. * ඔබ රඟපෑ බොහෝ චිත්‍රපටවල සහය අධ්යක්ෂවරයාත් ඔබමයි. දෙබස් රචකයකු ලෙසත් ප්‍රඩක්ෂන් මැනේජර්වරයෙක් ලෙසත් ඔබ සිනමාවට දායක වෙනවා? සිරිමලී කරන්න ඉන්දියාවට ගිහින් ඉන්න කොට ඒක භාරව ගිය සහාය අධ්යක්ෂවරයා වුණේ චිත්‍රානන්ද අබේසේකර. ඔහු එවක වැඩ කළේ ජාතික ගුවන් විදුලියේ. එයාගේ නිවාඩු අවසන් වුණ නිසා හදිසියේ ලංකාවට එන්න සිද්ධ වුණා. ඒ අඩුව පුරවන්න තම්පෝ මහත්තයා සිරිමලී චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය මට භාර කළා. සුදෝ සුදු, සුහද දිවි පිදුම චිත්‍රපටවල මම ප්‍රඩක්ෂන් මැනේජර් විධියට වැඩ කළා. නළු නිළියන්ට හොඳට කෑමෙන් බීමෙන් පවා සංග්‍රහ කළා. මට මතකයි සුදෝ සුදු කරද්දී ගාමිණී ෆොන්සේකාගේ අඩුම ඩයට් එක (උදේ කෑම) රෝස් කුකුල්ලු භාගයයි, එළකිරී භාගයයි, ඉදිආප්ප විස්සයි. සුහද දිවි පිදුම කරන කොට එක නළුවෙක් දවසක් බුරියානි තුනක් ඉල්ලුවා. මම ඇහුවා ඇත්තටම කනවද කියලා. ඕව් කිව්වා. ගෙනත් දුන්නා. කොහොම හරි තුන් වෙනි බුරියානි එකත් අමාරුවෙන් කා ගත්තා. වැඩි වෙලාවක් ගියේ නෑ වමනේ දැම්මා. * බොනිෆස් ටෙලි නාට්‍ය රංගනයටත් පිවිසෙනවා. ලෝගුව, අප්සරා, චායා, සමුගනු එපා පුතුනේ ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවා. * ප්‍රොජෙක්ටරය තෙත ගෝනිවලින් වහලත් ඔබ රඟපෑ චිත්‍රපට එක දිගට හොල්වල පෙන්නුව යුගයක් තිබුණා? සිරිමලි චිත්‍රපටයේ මුල්ම රීල් එක අරගෙන තම්පෝ මමත් එක්ක දකුණු ඉන්දියාවේ වේලක්කන්නි පල්ලියට ගිහින් බාරයක් වෙලා ලංකාවට ගෙනත් පෙන්වන්න පටන් ගත්තා. ඊට පස්සේ ආයේ දෙකක් නැහැ. එළිවෙනකන් පිචර් එක දිව්වා. සුවිනීත ලාලනී, සුහද දිවි පිදුම චිත්‍රපටත් එහෙමයි. එල්ෆින්ටන්, බල්ලපාන වාසනා, ශ්‍රී ලංකා වෙන්නප්පුව හෝල්වල එදා මිනිස්සු වැල නොකැඩී චිත්‍රපටය බලන්න ආවා. ෂෝ ටයිම් කාලේ චිත්‍රපටය පෙන්වන කොට ඊළඟ දර්ශනයට ටිකට් දෙනවා. ඉවර වෙන කොටම ආයෙත් පටන් ගන්නවා. ප්‍රොජෙක්ටරය රත් වෙන එක අඩු කරන්න තෙත ගෝනිවලින් වහනවා. පික්චර් එක වැල නොකැඩී දුවනවා. * බොනිෆස් දක්ෂතා කිහිපයකින්ම පොහොසත් කලා ශිල්පියෙක්. ඔබ වඩාත් කැමැති නළුවෙක් ලෙස හඳුන්වනවාටද? ඔව්. මම නළුවෙක් ලෙස හඳුන්වනවාට කැමතියි. හැබැයි මම නළුකම හිතට ගත්තේ නැහැ. සිරිමලී චිත්‍රපටයේ පෝස්ටර් පවා මම ඇලෙව්වා. * ජ්‍යෙෂ්ඨ නළුවකු ලෙසින් අද තැනෙන චිත්‍රපට හා එදා තැනුණු චිත්‍රපට අතර ඔබ දකින්නේ මොන වගේ වෙනසක්ද? එදා කරපු චිත්‍රපට ආයෙත් දකින කොට ඒ කරපු චිත්‍රපට ගැන අතීතය මතක් වෙන කොට ප්‍රශංසනීය සතුටක් හිතට දැනෙනවා. එදා හැදුන චිත්‍රපටවල තේමාවක් තිබුණා. කතා ශරීරයක් තිබුණා. චිත්‍රපටයෙන් අවවාදයක් ලැබුණා. ලස්සන දෙබස්, ලස්සන සින්දු තිබුණා. එදා චිත්‍රපට බලපු ප්‍රේක්ෂකයෝ පාරේ ගියේ චිත්‍රපටයේ ගිය සින්දු මුමුනමින්. ඒචා එච්චර අඩුපාඩුකම් මධ්‍යයේ කරපු චිත්‍රපට වුණත් ඒ දිහා බලල අද තියෙන චිත්‍රපට බලන කොට ඇති වෙන්නේ මහ කලකිරීමක්. අද පවතින්නේ සිනමාව ද කියලත් හිතෙනවා. අද දකින්න තියෙන්නේ කුණුහරුප චිත්‍රපට. චිත්‍රපටයක් බලලා එදා වගේ ආදර්ශයක් ගන්න පුළුවන් චිත්‍රපට අද තියෙනවද? * ඔබ වඩාත් ඇලුම් කළ චිත්‍රපට නිෂ්පාදකයෙක් හා ඔබ අතර කලකිරීමක් ඇති වුණු දවසක් තිබුණා? ඔව්. මම ඒ නිෂ්පාදකයාව උපරිමයෙන් වැලඳ ගත්ත මිනිහෙක්. ඔහුට මාලිගා හදන්න මම උපරිමයෙන් දායක වූ කෙනෙක්. ඒ විරසකවීමට හේතු වුණේ මුදල් ප්‍රශ්නයක්. අපේ ගෙදර කඩෙන් බඩු ගත්තේ මාසේ අන්තිමට ණය පියවීමේ කොන්දේසිය මත. කොහොම හරි එක මාසයක මේ ණය පියවන්න මට මුදල් හදිස්සි වුණා. මම ඒ මුදල මට ලැබිය යුතු මුදලකින් පසුව අඩු කරගන්න කියා ඔහුගෙන් ඉල්ලා සිටියා. ඒත් ඔහු දැම්ම දෙන්න සල්ලි නැහැ කියලා මගේ ඉස්සරහම මොරිස් තවුසන් කාර් එකක් රුපියල් දස දහසකට අරන් බ්‍රෝකර්ට ඔහුගේ ගාස්තුව රුපියල් දෙදහසක් ගෙව්වා. මේ සිද්ධිය නිසා මට පුදුම කලකිරීමක් ඇති වුණා. මට නැහැ කිව්ව සල්ලි ඔහුට කාර් ගන්නත් බ්‍රෝකර්ට දෙන්නත් තිබුණා. මෙච්චර මම ඔහු වෙනුවෙන් කැප වෙලා හිටියත් ඔහු මට කළ ඒ දේට මට විශාල කලකිරීමක් ඇති වුණා. * ආයෙත් ඒ නිෂ්පාදක ඔබව හොයාගෙන ආවේ නැද්ද? අවුරුදු තිහකට විතර පස්සේ පහුගිය දේවල් අමතක කරලා දාමු. දැන් මගේ පුතාට උදවු කරන්න කියලා මාව හොයාගෙන ආවා. * ඔබ මෙන්ම ඔබේ දරුවොත් සිනමාවට එන්න උත්සාහ කළේ නැද්ද? සනෝජ් පුතාගේ අදහසක් තිබුණා රංගනයට එක්වන්න. ඒත් මම පුතාට පහදලා දුනනා අපේ සිනමාව දැන් ගරා වැටිලා තියෙන්නේ. ඒකට එන්න සුදුසු කාලය මේක නොවෙයි කියලා. * ඔබත් නිර්මාණ සොයා ගියාද? මේ බොනිෆස් පෙරේරා ඇප්ලිකේෂන් නළුවෙක් නෙවෙයි. ළඟට ආපුදේ බාරගන්න නළුවෙක් මිසක්. * අද වුණත් ඔබට කවුරුන් හෝ රඟපාන්න ආරාධනා කළොත්? කලාව කියන දේ හරියට අබින් කෑව වගේ නේ, රෝද පුටුවේ ඉඳන් හරි මම කලාවට සේවයක් තවදුරටත් කරන්න හැකි නම් මගේ ප්‍රාණ වායුව තිබෙනකන් මම ඒ දේ කරනවා. රෝද පුටුවේ ඉන්න චරිතයකට මට කතා කළොත් මම බාර ගන්නවා. * සිනමාවේ යුග කලාකරුවන් බිහිවීමක් ඔබ අපේක්ෂා කරනවා යැයි පැවසුවේ? එහෙම යුගයක් අපේ සිනමාවේ තිබුණා. ක්ලැරිස් - බොනිෆස් යුගය, විජය - මාලනී යුගය, ජීවන් - අනෝජා, සනත් - සබීතා අන්න ඒ වගේ යුග බිහිවීමක් අද අපේ සිනමාවේ දකින්න නැහැ. ඒ වගේ යුගයක් අපේ සිනමාවේ යළිත් ඇති වෙනවා නම් මම ගොඩක් ආසයි. * වරක් ඔබේ පියාණන් පැවසූ ඔවදනක් අදත් ඔබේ සිතේ පැලපැදියන් වෙලා? පූරුවේ වාසනාවකට නළුවකු වී ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ලැගුම් ගෙන සිටියත් කවදාවත් මධ්‍යසාර පානය කොට වැනි වැනි පාරේ එන්න එපා. තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කරන්න. මේ කියමන මගේ ඇඟේ ඇට මිදුලුවලටම කිඳා බැහැලා තියෙන්නේ. යම් විදියකට මධ්‍යසාර පාවිච්චි කළත් මගේ සීමාවෙන් නවත්ත ගන්න මට අදටත් සිහියට එන්නේ තාත්තාගේ ඔවදන. 077-6993077 දුරකතන අංකයට කතා කළොත් බොනිෆස්ගේ සුවදුක් විමසන්න ඔබටත් හැකි වේවි.
|
||||||||||