|
ක්‍රිකට් තරුවක් අතුරුදන්
සාර්ථක වාණිජ චිත්‍රපටයක් වූ ‘ඩේසීබෝයිස්’ අධ්‍යක්ෂක රෝහිත් ධවාන් ගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණය, Dishoom හෙට (29 දා) සිට තිරගත වීමට නියමිතයි. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ඩේවිඩ් ධවාන් ගේ පුත්‍රයකු වන රෝහිත් මෙහි කතාව සහ සම-තිරරචකයකු ද වෙයි. ත්‍රාසජනක - ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි ජෝන් ඒබ්‍රහම්, වරුන් ධවාන්, ආක්ෂේ ඛන්නා, ජැකලින් ෆර්නැන්ඩස් සහ සාකිබ් සලීම් ප්‍රධාන චරිත නිරූපණය කරති. සජීඩ් නාදියාද්වාලා (හවුස්ෆුල්, තමාෂා, ෆැන්ටම්) සහ සුනිල් ලල්ලා විසින් නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටය ‘නාදියාද්වාලා ග්‍රෑන්ඩ්සන් එන්ටර්ටේන්මන්ට්’ නිෂ්පාදනයක් වන අතර ‘ඊරෝස් ඉන්ටර්නැෂනල්’ විසින් බෙදාහරිනු ලබයි. චිත්‍රපටයේ ගීත හතම ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක ‘ප්‍රීතම්’ විසින් නිර්මාණය කර ඇති අතර, කුමාර්, මයුර් පුරි සහ අශිෂ් විසින් ගීත රචනය කර ඇත. පසුබිම් සංගීතය ‘අභිජිත් වගානි’ විසිනි. ක්‍රිකට් තරගාවලියක අවසන් තරගය ඉන්දියාව සහ පකිස්තානය අතර පැවැත්වීමට දින නියම කර තිබියදී හොඳම ඉන්දියානු ක්‍රීඩකයා (විරාජ්) හදිසියේ අතුරුදන් වෙයි. මොහු පැය 36ක් ඇතුලත සෙවීමට කබීර් සහ ජුනේඩ් නම් පොලිස් නිලධාරීන් දෙදෙනාට භාර වෙයි. මෙම මෙහෙයුමේදී ඔවුන් මුහුණදෙන ත්‍රාසජනක අත්දැකීම් වලින් චිත්‍රපටය සමන්විත වෙයි. ‘Dishoom’ චිත්‍රපටය ‘Dhoom’ චිත්‍රපට මාලාවේ ලක්ෂණ සහිත චිත්‍රපටයකි. මේ නිසා පසුගිය දිනෙක මෙම චිත්‍රපටය ගැන ජෝන් ඒබ්‍රහම් ගෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්න කර ඇත්තේ මෙයද ‘Dhoom’ චිත්‍රපටය ආකාරයේම එකක්ද යන්නයි. ඊට ඔහු පිළිතුරු දී තිබුණේ, මෙය ඉතා ‘තරුණ’ චිත්‍රපටයක් වන අතර චිත්‍රපට 8ක පමණ සමන්විත වූ චිත්‍රපට මාලාවක පළමු වැන්න මෙය විය හැකි බවයි. එක් එක් චිත්‍රපටයේ කබීර්ට සහ ජුනේඩ්ට විවිධ ස්ථාන වල විවිධාකාරයේ ත්‍රාසජනක අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවනු ඇති බවද ජෝන් කියා සිටියේය. කෙසේ නමුත් ‘Dhoom’ චිත්‍රපට මාලාවද ජනප්‍රිය තරු වන රිතික් රෝෂන් සහ අමීර් ඛාන් වැන්නන් සමඟ ඉහළ ජනපි‍්‍රයත්වයක් ලද චිත්‍රපට මාලාවකි. ‘Dhoom’ චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටයේ ජෝන් ඒබ්‍රහම් ‘කබීර්’ යන නමින්ම ප්‍රධාන දුෂ්ටයාගේ චරිතයට පණ පෙවීය. මේ අතර, මෙම චිත්‍රපටය කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට හෝ රටකට අපකීර්තියක් ගෙන නොදෙන චිත්‍රපටයක් බව වරුන් ධවාන්ගේ අදහසයි. කෙසේ නමුත් මෙහි ක්‍රිකට් ක්‍රීඩාවට පසුබිමෙහි ඇති දූෂිත කරුණු ගැන අවධානය යොමු කරන චිත්‍රපටයක් බව ඔහු පවසයි. චිත්‍රපටයට සම්බන්ධ වූවන්ගේ අතීත සාර්ථකත්වය ගැන සලකන්නේ නම්, වරුන් කෙටි කාලයකින් ජනප්‍රිය වූ නළුවෙකි. ඔහු සම්බන්ධ වූ පසුගිය චිත්‍රපට හයම සමස්තයක් වශයෙන් සාර්ථක වාණිජ චිත්‍රපට විය. ජෝන් ඒබ්‍රහම් අවසන් වරට තිරයේ දුටු ‘රොකී හැන්ඩ්සම්’ වාණිජ වශයෙන් එතරම් සාර්ථක නොවූ නමුත් වසර ගණනාවක් තිස්සේ තිරයේ ලද අත්දැකීම් ජෝන් සතුව ඇත. චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය වන ජැක්ලීන් ෆර්නැන්ඩස් විශාල ප්‍රේක්ෂක සමූහයක් සිටින නිළියකි. ‘හවුස්ෆුල් 3’ සහ ‘භාගි‘ යන චිත්‍රපටවල (2016) සාර්ථකත්වය සමඟ සජිඩ් නාදියාද්වාලා ද මේ වන විට සාර්ථක නිෂ්පාදකවරයෙක් බව කිව හැකිය. |