වර්ෂ 2016 ක්වූ ජූලි 28 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය සම්මානය අම්මා උයන කෑම වගේ

සරසවිය සම්මානය අම්මා උයන කෑම වගේ

ඉනෝකා සත්‍යාංගනී

2004 වසරේ සරසවිය සම්මාන උලෙළ වඩාත් සුවිශේෂී වන අයෙක් වෙනුවෙන් අද අධචඤ බධ ර්‍ථපඥඵබඪඨඥ වෙන් කෙරුණා. ඇය චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනි. එදා සරසවිය සම්මාන උලෙළේ ඉහළින්ම සම්මානනීය වූයේ ඇයගේ ප්‍රථම සිනමා නිර්මාණය වූ 'සුළං කිරිල්ලී' චිත්‍රපටය යි. හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය සහ හොඳම තිර රචනයට හිමි සම්මානයද ඇය වෙත පිරිනැමෙන විටදී හොඳම නිළිය, හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය, හොඳම වේශ නිරූපණය, හොඳම ශබ්ද පරිපාලනය සහ හොඳම නැඟී එන නිළිය ලෙසින් එවර සරසවිය සම්මාන උලෙළේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගත්තේද 'සුළං කිරිල්ලී' චිත්‍රපටය යි. එපමණක් නොව මේ දක්වා සිංහල සිනමා ඉතිහාසයේ වැඩිම අන්තර්ජාතික සම්මාන ගණනකට හිමිකම් කියන්නේද 'සුළං කිරිල්ලී' චිත්‍රපටය යි. එදා ඒ සම්මානනීය මතක සටහන් සේම සුළං කිරිල්ලියගේ උපත ඉනෝකා අද යළිත් සිහිපත් කළේ මෙලෙසින්.

* 2004 වසරේ සරසවිය සම්මාන උලෙ‍ළ ඔබට ඉතාමත්ම සුවිශේෂි වූ සම්මාන උලෙළක්?

ඒ වෙනකොටත් 'සුළං කිරිල්ලී' චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන උලෙළ ගණනාවක් නියෝජනය කරලා ලංකාවේ වැඩිම අන්තර්ජාතික සම්මාන ලද ලාංකේය චිත්‍රපටය බවට පත් වෙලා තිබුණත් ලංකාවේ තියෙන පැරණිතම වගේම ප්‍රධානතම සිනමා උලෙළක් වන සරසවිය සම්මාන උලෙළෙන් හොඳම අධ්‍යක්ෂවරයාට සහ හොඳම තිර රචකයාට හිමි සම්මාන ලැබීම විශාල සතුටක් වුණා. ඒක හරියට ලෝකයේ තියෙන හොඳම හෝටලයෙන් කාලා ආවත් ගෙදර අම්මා උයන කෑම වේල එහෙමත් නැති නම් අපි මහන්සියෙන් රහට හදා ගත්තු කෑම වේලක් කෑවා වගේ හැඟීමක්. තමන්ගේ රටෙන් සරසවියෙන් ඒ ඇගයීම ලැබීම ලොකු සතුටක් වුණා. කලින් බොහෝ දෙනා කිව්වේ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ නියෝජනය කරලා සම්මාන ලැබුවත් මේක දේශීය රසිකයාට කොහොම වේවිද කියා විවිධ මත වුණා. එවැනි තත්ත්වයක් මත සම්මාන ලැබීම ගැන කුතුහලයක් වගේම සතුටක් තිබුණා.

එවර සරසවිය සම්මාන උලෙළේ සැම අංශයකටම වගේ 'සුළං කිරිල්ලි' චිත්‍රපටය නිරේදේශ වෙලා තිබුණා. එයින් වැඩිම සම්මාන ගණනක් හිමි වුණෙත් 'සුළං කිරිල්ලි' චිත්‍රපටයට වීම විශේෂයි. මට එහිදී තිබුණු විශාලතම අභියෝගය වුණේ මෙම උලෙළේ මගේ චිත්‍රපටය සමඟින් අපේ සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'වෑකන්ද වලව්ව' චිත්‍රපටයත් ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ 'සක්මන් මළුව' චිත්‍රපටයත් චිත්‍රපට දෙකකුත් අවසන් වටයට පැමිණීමයි. ඒ දෙපළ මට මහා වෘක්ෂයන් දෙකක් වගේ. ඔවුන් සමඟ එකට හිටගන්නවත් පුළුවන් තත්ත්වයක මම හිටියාද කියා සැකයක් ඇති වුණා. මොකද මම ආධුනිකයෙක්. 'සුළං කිරිල්ලී' මගේ පළමු සිනමා නිර්මාණය යි. ඇත්තටම ඒක අනව්‍ය උද්දාමයකටත් වඩා ආධුනිකයෙක් ලද විශාල භාග්‍යයක්. ඒ වගේම ඉදිරියට යන්න ලබා දුන් වරමක්.

* 'සුළං කිරිල්ලී' මේ තරම් සම්මාන හිමිකර ගනිවි යැයි එදා සිතුණාද?

'සුළං කිරිල්ලී' කියන්නේ ජාතික චිත්‍රපට සංවර්ධන අරමුදලින් නිර්මාණය කළ සිනමා කෘතියක්. මගේ මේ චිත්‍රපටය පිටුපස තියෙන්නේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල්. ආචාර්ය තිස්ස අබේසේකරයන් මෙම අරමුදල නැවත පණ ගැන්වූයේ හෙට දවස වෙනුවෙන් දක්ෂ සිනමාකරුවන් පිරිසක් බිහි කරන්නයි. ජාතික මට්ටමෙන් වගේම අපේ සිනමාව තියෙන තැනින් ඉදිරියට ගෙන යන සිනමාත්මක ගුණයෙන් පිරිපුන් කෘති නිර්මාණය කරන්න එතැනදී අපට වගකීමක් තිබුණා. එය එතැනදී මා මෙන්ම ඒ අවස්ථාව ලද අනෙකුත් නිර්මාණකරුවන් සතු වූ අභියෝගයක්. ඒ නිසා මේ චිත්‍රපටයට අත තියන අවස්ථාවේදීම තම ප්‍රථම සිනමා නිර්මාණය කිරීමේද එන වගකීම සහ බරපතළකමට වඩා එහා ගිය වගකීමක්අතේ තිබුණා. රජයේ මුදලින් ආධුනිකයන්ට ලබාදුන් අවස්ථාවක් නිසා මෙය ජාතික මට්ටමෙන් වගේම ජාත්‍යන්තර ලෙසත් යම්කිසි සළකුණක් තැබිය හැකි කෘතියක් ලෙසින් නිර්මාණය කළ යුතුයි කියන අදහස මගේ හිතේ තිබුණා. ඒ නිසා මම මේ සම්මාන සියල්ලම දකින්නේ, ඒ වෙනුවෙන් උපරිමයක් කරන්න උත්සහ කළ විටදී ලද ප්‍රතිචාරයක් ලෙසින්.

තවත් විශේෂ දෙයක් තියෙනවා. ලංකාවට ප්‍රථමවරට තාක්ෂණික අංශයෙන් ජාත්‍යන්තර සම්මානයක් අරගෙන ආවේ සුළං කිරිල්ලී කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය. නිව්යෝක් ස්වාධීන සිනමාකරුවන්ගේ සම්මාන උලෙළේ සිනමා පට දෙසීයක් සමඟ තරග කර ඔහු ඒ සම්මානය අපේ රටට ගෙන ආවා.

* සරසවිය සම්මාන දෙකක් අත් දෙකට අරගෙන මොකද හිතුවේ?

ඇත්තටම සම්මාන අතට ගත් මෙහොතේ දැනුණේ එක දෙය යි. මට මේක ඔසවාගෙන ඉන්න පුළුවනිද කියා සිතුණා. මොකද ඒ සම්මාන හරිම බරයි. අවස්ථා දෙකේදීම සම්මාන අතට අරගෙන ඉදිරි පෙළ අසුන් ගෙන සිටි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ ආචාර්ය සුමිත්‍රා පීරිස් යුවළ වෙත ගොස් සම්මාන සමඟින් මගේ ආචාරය පුද කරලා තමයි මගේ ආසනය වෙත ගියේ. ඒ අවස්ථාව මගේ ජීවිතයේ සුවිශේෂි අවස්ථාවක්. ඉන්දීය සිනමාවේ අග්‍රගණ්‍ය සිනමාකරු අදූර් ගෝපාල ක්‍රිෂ්ණන් වෙතින් ඒ සම්මාන ලබා ගන්න ලැබීම ගැනත් හිතේ තියෙන්නේ ලොකු සතුටක්.

* 'සුළං කිරිල්ලී' රූපයට නැඟෙන්නත් තුඩු දුන් විශේෂ කාරණාවක් ඇති?

ඇත්තටම 'සුළං කිරිල්ලී' පසුපස තියෙන්නේ හද සසල කරවන අත්දැකීමක්. 1998 - 99 දී විතර කාන්තා කාර්‍යාංශයෙන් වෙළෙඳ කලාපයේ සිටින සහෝදරියන් පිළිබඳ වාර්තා වැඩසටහනක් නිර්මාණය කිරීමේ කටයුත්තක් මට පැවරුණා. ඒ වෙනුවෙන් මාස දෙකක කාලයක් පුරා වෙළෙඳ කලාපයේ සහෝදරියන් හමු වෙමින් කළ අධ්‍යයන චාරිකාව අතරතුර මම මුහුණ දුන් සිදුවීමක් මා සුළං කිරිල්ලී නිර්මාණය කිරීමට පෙළඹවූවා. මගේ කතාව අවසන් වෙනවාට වඩා ඒ කතාව වෙනස්. කටුනායක අමන්දොළුව ප්‍රදේශයට ගිය අවස්ථාවකදී හරිම සුරතල් ලස්සන හුරුබුහුටි අවුරුදු පහක විතර දැරියක් එහෙ මෙහෙ දුව පනිමින් සිටියා. ඈ ‍වරෙක මා අසළටත් ඇවිත් සුරතල් වුණා. එම නවාතැනේ සිටි තරුණියකට හමුදා නිලධාරියෙකුට දාව මේ බිළිඳය උපත ලබා තියෙනවා. මේ පුංචි බිළිඳීය එම නවාතැන් පළ හිමිකරුවන් දරුකමට හදාගෙන. බිහිකළ අම්මා තම ගමට පිටත් වෙලා. හැබැයි සැබැ මව බිළිඳයට උපත ලබාදුන් වැසිකිළිය තුළදීම ඝාතනය කරන්නට ගත් උත්සාහය ව්‍යර්ත කිරීම නිසා අද ඇය මෙලෙසින් ජීවත්වන බවත් දැන ගන්න ලැබුණා. 'සුළං කිරිල්ලී' නිර්මාණය පසුපස තියෙන සැබෑ හෘද ස්පන්දනය එය යි.

* තිර රචනය ලිව්වෙත් නළු නිළියන් හිතේ තියාගෙනමද?

ප්‍රධාන වශයෙන් අවශ්‍ය වුණේ මේ චිත්‍රපටයට රතී කියන චරිතයේ තියෙන සැබෑම ලක්ෂණ පෙන්නුම් කරන්නයි. ඒ වෙනුවෙන් නිළියක ලෙසින් කැපී පෙනන කෙනෙක් දැම්මොත් කලාපයේ තරුණියකගේ ස්වරූපය මට ගන්න ලැබෙන්නේ නැහැ. මම ඒ වෙනුවෙන් හෙව්වේ සුරූපි නොවුණත් ආකර්ශණීය ප්‍රියමනාප රංගන ශිල්පිනියක්. තමන්ගේ රූපය චරිතය අතික්‍රමණය කරන්නේ නැති ජීවමාන සාමාන්‍ය පෙනුම තියෙන ගැහැනියක්. මගේ අදහස වුණේ, සිනමාවේ සිටින කෙනෙක් නෙවෙයි ආධුනිකයෙක් හෝ නවකයෙක් ගන්නයි. මුලදී රංගන ශිලිපිණියන් දෙදෙනෙක් හිතේ තිබුණත් යම් යම් හේතු මත මේ වෙනුවෙන් දායක කර ගන්න ලැබුණේ නැහැ. හරි තෝරා ගැනීම හරි තැනදී සිදු වුණා. මම අද විශ්වාස කරන්නේ දමිතා අබේරත්න හැරෙන්න වෙනත් කිසිම කෙනෙක් ඒ චරිතයට ගැලපෙන්නේ නැති බවයි. ඒ වගේමයි ලින්ටන් සේමගේ. ඒ වෙනකොට ඔහු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම වගේම හොඳම නළුවා ලෙසින් සම්මානනීය වෙලා සිටියේ. දමිතා, ලින්ටන් වගේම ජයනිත් මේ තුළ විශාල කාර්යභාරයක් ඉටු කළා.

* අන්තර්ජාතිකව බුහුමන් ලද 'සුළං කිරිල්ලී' ලංකාවේ පිළිගැනිම ගැන විවිධ මත පළ කෙරුණු බව ඔබ සඳහන් කළා. 'සුළං කිරිල්ලී' ලද ප්‍රේක්ෂක ප්‍රතිචාර කෙහොමද?

ලංකාවේ ප්‍රේක්ෂකාගාරය මෙය ඉහළින්ම පිළිගත්තා. සම්මානනීය චිත්‍රපටයක් වීමත් ඔවුන්ට වැදගත් වුණා. ලංකාවේ කලාපවල ඒ කාලයෙත් සහෝදරියන් ලක්ෂ ගාණක් හිටියා. හැබැයි ඔවුන් නම් 'සුළං කිරිල්ලී' වැළඳ ගත්තේ නැහැ. තමන් ගැන නිර්මාණය වූවක් නිසා 'සුළං කිරිල්ලි' ඔවුන්ට කම්පනයක් වෙන්න ඇති. සුළං කිරිල්ලී කියන්නේ සුන්දර නිර්මාණයක් නෙවෙයි. එය කලාපයේ සොයුරියන්ගේ ජීවිතවල තියෙන වේදනාත්මක දෝංකාරයක්.

* නීතිඥවරියක නොවී සිනමාකාරිණියක ලෙසින් පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?

මම මෑතකදි නිර්මාණය කළ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටය ලංකාවේ යම් පිරිසක් ඉතා ආදරයෙන් වැළඳ ගත්තත් තවත් පිරිසක් එය ප්‍රතික්ෂේප කළා. වෙන කෙනෙක් නම් එතැනදීත් මානසිකව කඩාවැටෙන්න ඉඩ තිබුණා. නමුත් මම එයින් සැළුනේ නැහැ. සින්ඩ්‍රෙල්ලා වෙනුවෙන් සුළං කිරිල්ලී නිර්මාණයෙන් පසුව අවුරුදු දහයක් ගත කළා. ඒ අතරතුර කාලය මම නිහඬයි. මම නිතරම විශ්වාස කරන්නේ සිනමාකරුවෙක් කියන්නේ පවතින දේ සමඟින් යන චරිතයක් නොවන බවයි. ඔහු හෝ ඇය අනාගතය දකින පුද්ගලයෙක්. සිනමා කෘතියක් කියන්නේ වසර සිය ගණනක් වුවත් තියා ගන්න පුළුවන් දෙයක්. එවිට අද ප්‍රේක්ෂකාගාරයට පමණක් නෙවෙයි අනාගතය වෙනුවෙනුත් අපේ නිර්මාණ වලංගු වෙනවා. ඒ නිසා මම පැමිණි ගමන ගැනත් ඉදිරි ගමන ගැනත් හොඳ අවබෝධයක් වගේම හොඳ සූදානමක් තියෙනවා. නීතිඥ වෘත්තිය පසෙක දමා පැමිණි ගමන සුන්දර නොවුනත් ඒ කටුකත්වය තුළ මම බලාපොරොත්තු වූ දේ මට ලැබිලා තියෙනවා.

* 'සුළං කිරිල්ලී', 'සින්ඩ්‍රෙල්ලා' ගෙන් පසු ඔබේ ඊළඟ නිර්මාණය තෙක් නරඹන්නන්ට කොපමණ කාලයක් බලාගෙන ඉන්න සිදු වේවිද?

මේ අවස්ථාවේදී නම් දස වසරක් වගේ ලොකු කාලයක් බලාගෙන ඉන්න වෙන්නේ නැහැ. 'සින්ඩ්‍රෙල්ලා - 2' මේ වසර අවසානයට පෙර තිරගත වූ වහාම මම මගේ ඊළඟ නිර්මාණ කාර්යය ආරම්භ කරනවා. එය අනිවාර්යයෙන්ම විකල්ප සිනමා කෘතියක්. ඒ සමඟින් 'සුළං කිරිල්ලී' පියඹා ගිය පාරේම ඊට වඩා දුරකට පියාඹන්න හැකි වේවි යැයි මගේ විශ්වාසය යි.